මල්වර චාරිත්‍ර හරියටම දැන ගනිමු

ජනවාරි 26, 2024

ගසක මල් පිපිලා සුන්දරත්වය ගෙන දෙන්නාසේ දැරියක තරුණ බවට පත්වන අවස්ථාව මල්වර වීම ලෙස සැලකේ. ඒ මල්වරය යනු ස්ත්‍රියකගේ ප්‍රථමාර්ථවයයි. එම අවස්ථාවේ සියලු කටයුතු ඡ්‍යොතිෂ නියමයන් අනුව ඉටුකිරීම නීරෝගි සමාපත්තියට හේතුවන්නක් සේ සලකයි. දැරියකගේ මල්වර වූ අවස්ථාව නියම වශයෙන්ම දැන ගැනීම අපහසුය. මේ නිසා මල්වරය වූ බව දැනගන්නේ බොහෝ විට පමා වීමෙනි. එහෙත් ඡ්‍යොතිෂයට අනුව සඳු, කුජ දෙදෙනාගේ සංයෝගය හෝ දෘෂ්ටිය ලබන අවස්ථාව මල්වර අවස්ථාවයි. බොහෝ විට සඳු, කුජ දෙදෙනාගේ අංශක ප්‍රමාණයන් සමාන වන අවස්ථාව මල්වර අවස්ථාව වේ. මේ පිළිබඳ කොතෙකුත් නියමයන් ඡ්‍යොතිෂයේ පවතී. දැරියකගේ පළමු ආර්ථවය සිදු වූ අවස්ථාව රුධිරය පිටවීම, දැනගත් වහාම පොදුවේ කරනු ලබන සිරිත් විරිත් පිළිබඳව නම් එදා මෙන්ම අදත් එලෙසින්ම එම චාරිත්‍ර ඉටුකරනු ලැබෙයි.

 

මල්වර වූ දැරිය වහාම පිරිමින්ට හා සතුන්ට නොපෙනෙන සේ කාමරයක සිටීමට සලස්වයි. ඇගේ තනියට වැඩිහිටි කාන්තාවක් හෝ වැඩිහිටි දැනුමක් ඇති තරුණියක හෝ නතර කිරීම වඩාත් සුදුසුයි. තනිකම් දෝෂ ඇති නොවන්නට දියණිය අසලින් යකඩ කෑල්ලක් හෝ ගිරයක් තැබීමත් සිරිතකි. එහෙත් සමහර වැඩිහිටියන් මල්වර වූ දැරියගේ තනියට ළාබාල දැරියන් පවා නවතා සිටින අතර එය එතරම් නුවණක්කාර නොවනු ඇත.

නැකැත් බැලීම

දැරිය කාමරයේ නතර කර මව හෝ නැන්දා කෙනකු හෝ වැඩිහිටි ඥාති කාන්තාවක හෝ මල්වර වූ දැරියගේ ජන්ම පත රැගෙන පෙරවරුවේ දෛවඥවරයකු වෙත ගොස් බුලත් අතක් සමඟ ජන්මපත දී නැකැත් ලබා ගැනීම සිරිතකි. එහිදී දෛවඥවරයා දැරියගේ ජන්මපත දුන් අයගේ දූත ලක්ෂණ හා කතාකරන මුල් වචනයේ මූලාශ්‍රයන් ගෙන බලා ඇඳ සිටි වස්ත්‍රය එහි වර්ණය මල්වර වූ ස්ථානය ආදී කරුණු සැලකිල්ලට ගෙන එහිදී කැවිලි සෑදීම සඳහා තෙල් තාච්චි ලිප තැබීම, නෑදැයින්ට බුලත් දීම, දැරිය නෑවීම සඳහා නැකැත් සාදා දෙයි. ඒ අනුව ඔවුන් ඉදිරි කටයුතු සූදානම් කර ගනී. මේවා පළාත් අනුව වෙනස්වන අවස්ථාද ඇත.

කළස් තැබීම

දැරිය සිටින කාමරයේ නැවුම් කළයක් තබා එහි වටේට විහිදුවාලු පොල්මලක් ද තබයි. සමහර වැඩිහිටි අය ඒ පොල්මල මත පොල්තෙල් පහනක් ද දල්වා තබන අතර පොල්මලේ අට්ටිගණන් කොට අනාගත දරුවන් ගැන ද අනාවැකි පළ කරති. තවද තරමක් ලොකු කළයක්ද අමතර වශයෙන් කාමරයේ පැත්තකින් තබයි. එම කළයට මල්වර වූ දැරියගේ අපිරිසුදු වූ මුල් ඇඳුම් ගලවා දැමීමත් සිරිතක්. තවද පැවැතෙන මුල් චාරිත්‍ර ලෙස සමහර පළාත්වල දැරිය ස්නානය කෙරෙන තෙක් පිරුවට ඇන්දවීම සිදුකරනු ලබන්නේත් රෙදි නැන්දා විසිනි. ඒ වෙනුවට අද බොහෝ විට එම කටයුතු සිදුකරනු ලබන්නේ මව හෝ වැඩිහිටි කාන්තාවක හෝ විසිනි.

නොකළ යුතු දේ

මල්වර වූ දැරිය කාමරය තුළ සිටින අවස්ථාවේදී පියා හෝ වෙනත් පිරිමියකු දෙස හෝ සතුන් දෙස බැලීම තහනම් වන අතර ශබ්ද නඟා කතා කිරීම , කොක්හඬලා සිනාසීම, දත්මැදීම. සුවඳවිලවුන් ඇඟ ගැල්වීම ආදිය නොකළ යුතුය. තෙල්කෑම මස්, මාළු, බිත්තර, රසකැවිලි, බැදුම්, පිලිස්සුම්, කිරිපැණි ජාති ද තහනම්ය. මිරිස් හොදි හෝ දියකිරෙන් උයන ලද ගිනියම් නැති එළවළු කෑමට ලබා දෙයි. සිත දූෂ්‍යවන සිනහගන්වන කතා නොඇසිය යුතුය. දහවල නිදා ගැනීම, සින්දු කීම, විනෝද වීම්ද නොකළ යුතුය.

කතා කරපන්න අන්හට නො ඇසෙන් න

දතා නොම දින්න ගහතරු නො ඇසෙන් න

නෙතා අඳුන් ගාගෙන නොම සැරසෙන් න

ගතා නොහෙල් විය යුතු තෙල් මුදු වෙන් න

 

ස්නානය කිරීම

මල්වර වූ දැරිය සිවු දිනකින් හෝ පස් දිනකින් ස්නානය කළ යුතු බව ඡ්‍යොතිෂ මූළික ග්‍රන්ථවල සඳහනි. එහෙත් තවත් ග්‍රන්ථවල ඇදුරු මතයට අනුව ඔසප්වී දින ගණන් අනුව පලාපල සඳහන් කර ඇත. සමහර නැකැත් අනුව හතරවන දවස සමපල බවත් හය වන දවස සුබපල බවත් පෙන්වා දී ඇත.

දැරියට ස්නානය කිරීම සඳහා කිරිගහක් යට හෝ කිරිගහක අත්තක් සිටවූ ස්ථානයක හෝ කාටත් නොපෙනෙන ලෙස ආවරණය කරන ලද ස්ථානයක දී නැකැත් ප්‍රකාරව ස්නානය කළ යුතුව ඇත. ස්නානය කර වීම සඳහා ජලය පිරවූ භාජන දෙකක් සූදානම් කළ යුතු වේ. එම ජලයට සුදුහඳුන්, රත්හඳුන්, විෂ්ණුක්‍රාන්ති, දේවදාර, අමුකහ, වදකහ, කලාදුරු අල, සුවඳකොට්ටන්, වෙනිවැල්, ඊතණ, සමන්පිච්ච මල්, මුරුවාමුල් සහ ගල්සෙවෙල් යන ඖෂධ වර්ග ද එක් කරති. එය වෙනම නැවුම් කළයකට දමා ජලය සමඟ පෙරා ගත යුතු වේ. නැකැත් චාරිත්‍ර අනුව දැරිය නාවා පසුව ඖෂධීය ජලය පිරවූ කළයෙන් නෑවිය යුතුය. සමහර පළාත්වල ඖෂධීය කළය දසදිය පිරිතෙන් පිරිත්කර නෑවීමේ සිරිතක් ද පවතී.

දැරිය නෑවීමට රෙදි නැන්දා නොමැති වීමේදී සිය මව විසින් හෝ නැන්දා කෙනෙකු හෝ වැඩිහිටි කාන්තාවක් විසින් ද කරනු ලබයි. එසේ ස්නානය කරනු ලබන දැරිය සුදු රෙද්දකින් වසා මන්නා පිහියක් හෝ කැත්තක් ගෙන ස්නානය කළ ස්ථානයේ පිහිටි කිරිගහට හෝ සිටුවන ලද කිරිගහක අත්තට හෝ පිහියෙන් ගසා කිරි වැගිරෙන දිසාව දැරියට බලා සිටින්නට සලස්වන්නේ වස්දොස් ඉවත්වීමේ අධිෂ්ඨානය ඇතිවය.

ඉන්පසුව පිරුවට අන්දවා මොට්ටක්කිලියක් බැඳ අතට සුදු පීරිසියකට පහන්තිරයක් දමා පොල්තෙල් දමා ආලෝක කරන ලද පහනක් මෙන් දර්ශනය වන පීරිසියක් දී එයින් මුහුණ බලන්නට දී නිවසට කැන්දාගෙන එන අතර දැරිය නිවසට ඇතුළු කරන අවස්ථාවේදී මල් දැමූ වතුර භාජනයකින් තම මුහුණ බැලීම සිදු කරන අතර සතයේ කාසියක් තැබූ පොල් ගෙඩියක් බිඳිනු ලැබීමේ චාරිත්‍රයක් ද පවතී.

කළ බිඳීම

සමහර පළාත්වල චාරිත්‍රයක් වන්නේ නා පිරිසුදු වී නිවෙසට ඇතුළුවන දැරිය නිවෙසේ, ප්‍රධාන දොර උළුවස්ස දෙපස තබා ඇති පොල්මල් දමා ඇති කළ දෙක බිඳීමයි. ඉන් අනතුරුව උළුවස්ස මැද තබා ඇති පොල්ගෙඩියට මන්නා පිහිය හෝ කැත්ත ගෙන වැරෙන් පහරක් දී බිඳීමයි. එයද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් අයුරින් සිදු කරනු ලබන චාරිත්‍රයකි.

සංග්‍රහය

නිවෙසට ඇතුළුවන දැරිය නැකැත් චාරිත්‍රානුකූලව දී ඇති වර්ණ උපයෝගී කරන ලද අලුත් ඇඳුමින් හා රන් භාණ්ඩවලින් සැරසී බුලත් අතක් රැගෙන පැමිණ පළමුව පියාට, මවට හා අනෙකුත් වැඩිහිටි කාන්තාවන්ට හා ඥාතීන්ට වැඳ නමස්කාර කොට ගෙයි මැද සාලයේ සූදානම් කර ඇති පැදුරක් එලා ඒ මත කෙසෙල් කොළ එළා කැවුම් කිරිබත්, කෙසෙල් ගෙඩි, කැවිලි ජාති හා හාල් සේරු දෙකක් ද මැටි පහන් හතක් හෝ එක් මැටි පහනක් ද තබා ඇත. එදා පැවැති චාරිත්‍රය වූයේ සංග්‍රහ පැදුරේ වටේ ඇති මැටි පහන් හත ආලෝක කිරීම රෙදි නැන්දා විසින් සිදුකිරීමයි.

මේ චාරිත්‍රය අනුව එක් පහනක් දැල්වීමේ දී එම දැරිය පැදුර වටා හත් වාරයක් ගමන්කොට දෙඅත් එක්කොට පහන නිවා දැමීමෙන් පසු දැරිය සමඟ ඥාතීන් සංග්‍රහය ගැනීම සිරිතකි. මේ වන විට පහන් හත හෝ එක් පහනක් ආලෝක කිරීම මව හෝ වැඩිහිටි කාන්තාවක විසින් සිදු කිරීමයි. එමෙන්ම සංග්‍රහ පැදුර වෙනුවට සංග්‍රහ මේසය චාරිත්‍ර අතරට එක් විණ.

(මේ චාරිත්‍ර විවිධ ප්‍රදේශ අනුව යම් යම් වෙනස්කම් සිදුවිය හැකිය.)

ඡ්‍යොතිෂ් ප්‍රභාෂ්වර

මොරටුවේ තිස්ස මහානාම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.