නිවුන් දරුවන් එකිනෙකාට වෙනස්වන අයුරු හරියටම කියන කුලර් පද්ධතිය

ජනවාරි 12, 2024

 

ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා වසර ගණනාවක් තුළ කරන ලද පරීක්ෂණවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය බිහි විය. ඒ අනුව එතුමා, ග්‍රහයකුට තනිව ක්‍රියා කළ නොහැකි බවත්, ග්‍රහයෙකුගේ බලය එම ග්‍රහයාගේ නැකැත සහ උපස්ථානයට දක්වා බෙදී යන බවත් පෙන්වා දුන් අතර, ඒ තුළින් සාර්ථක අනාවැකි කීමටද හැකියාව තිබුණි.

මේ වන විට අප රටෙහිද ඡ්‍යොතිර්වේදීන් ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව පලාඵල කියනු ලැබේ. ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා දකුණු ඉන්දියානුවෙක් වුණත් මේ ක්‍රමයෙහි ඇති සාර්ථකත්වය අනුව උතුරු ඉන්දියාවටද ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය පැතිරුණි.

මේ අතර ඒ වන විට ඉන්දියාවේ ඡ්‍යොතිර්වේදියෙකු වන එස්. පී. කුලර් තුමාද ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය, පැරණිවේදිය ඡ්‍යොතිෂය සහ ඒවාට අදාළ ශ්ලෝක ඇතුළු සියලුම ඡ්‍යොතිෂ ක්‍රම හදාරා ඉන්දියාවේ නාඩි සිද්ධාන්තද ඉතා ගැඹුරින් හදාරා වසර ගණනාවක් තුළ කරන ලද පරීක්ෂණ සාර්ථක කරගත් අතර, ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා රාශි චක්‍රය 249ත් දක්වා උපස්ථාන බෙදා වෙන්කළ අතර කුලර්තුමා උප උපස්ථාන වශයෙන් (sub sublord) රාශි චක්‍රය කොටස් 2193ට සියුම් කරන ලදී. එය ඉතාමත් සංකීර්ණ සියුම් ක්‍රමයකි. එය K.CIL System ලෙස හැඳින්වේ. එනම් කුලර් අන්තර්භාව සම්බන්ධතා පද්ධතිය නම් වේ.

S.P.khullar තුමා උතුරු ඉන්දියාවේ ජලන්ධාරි ප්‍රදේශයේ, පන්ජාබ් ප්‍රාන්තයේ උපත ලබා ඇති අතර ඔහු වෘත්තියෙන් ඉන්දියානු රජයේ විදුලිස ංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරුවරයකු ලෙස සේවය කර ඇති බැවින් ඔහුට තාක්ෂණය සම්බන්ධද හසළ දැනුමක් තිබී ඇත. ඔහු තමාගේ රැකියාව කරන අතරතුර ඡ්‍යොතිෂයට ඇති කැමැත්ත අනුව තමාගේ දැනුම භාවිතකර True Astrology Software  නමැති මෘදුකාංගය නිපදවා ඡ්‍යොතිෂයට අදාළ සියලුම පද්ධතීන් ඇතුළත් කරන ලදී. මේ වන විට අප රටෙහිද බොහෝ ඡ්‍යොතිර්වේදීහු මේ මෘදුකාංගය භාවිත කරති.

ඔහුගේ පරීක්ෂණවලින් සොයාගත් උප උපස්ථාන 2193 ද මේ පද්ධතියට ඇතුළත් කර ඇත. මෙය ඉතාමත් සියුම් ක්‍රමයකි. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමාගේ උපස්ථානයක් මිනිත්තු 3 සිට 9 දක්වා කාලපරාසයක් තුළ පවතී. එනම් විම්ශෝත්තරී දශාව පදනම් කරගෙන වැඩිම කාල පරාසයක් ඇති සිකුරුගේ උපස්ථානයක් මිනිත්තු 9ක් බැවින් ඒ තුළ නිවුන් දරුවන් කිහිපදෙනකු උපත ලද හොත් වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ කර්ම මූල හඳුනා ගැනීමට තරමක් අපහසු බවත්, ඔවුන් සියලුම දෙනාගේ එකම දෛවය නොවන බවත් වටහා ගත් කුලර්තුමා මේ කාල පරාසය තවත් සියුම් කිරීම සඳහා උප උපස්ථාන දක්වා කුඩා කර ඇත. ඒ අනුව ලග්න භාවයේ උප උපස්ථානයට රවි පැමිණියහොත් තත්පර 2ක් වැනි ඉතා කෙටි කාලයක් පවතින බැවින් හා විම්ශෝත්තරී දශාවට අනුව වැඩිම දශා කාලයක් ඇති සිකුරු ග්‍රහයා උප උප වශයෙන් ලග්නභාවයට පැමිණියහොත් පවතින්නේ තත්පර 29ක් වැනි මිනිත්තුවකට වඩා අඩු කාලයකි. එබැවින් බොහෝ දුරට තත්පර 3ක් හා තත්පර 29ක් තුළ එක් දරුවෙකුට වඩා උපතක් දිය නොහැකිය. යම් උපතක් සිදුවන විට එම ස්ථානයට දේශාංශ, අක්ශාංශය සහ උපන් රට අනුව උපන් රෝහල හෝ ස්ථානය අනුව (එකම වේලාවකදී උපතක් ලද නමුත්) උප උපස්ථාන එක සමාන නොවේ. එකිනෙකාගේ ඇඟිලි සලකුණු එක සමාන නොවන්නේ කෙසේද, එලෙසම උප උපට අනුව අප එකිනෙකාගේ දෛවයන්ද වෙනස් වේ. මිනිස් ජීවිතයේ සෑම කරුණක්ම භාව 12 උප උපස්ථාන අනුව මෙම පද්ධතියෙන් විග්‍රහ කළ හැකිය.

ඒ අනුව True Astrology මෘදුකාංගය පරිහරණය කිරීමට හැකියාව ඇති ඕනෑම කෙනෙකුට මේ ක්‍රමය උගත හැකිය. එතරම් සූක්ෂ්ම ලෙස මෙතුමා මේ මෘදුකාංගය පරිගණක ගත කොට ඇත. මෙය හැදෑරීමට සාමාන්‍ය ඡ්‍යොතිෂ දැනුමක් පමණක් ප්‍රමාණවත් වේ. යම් ග්‍රහයකු තමාගේ නැකතෙන්, උපස්ථානයෙන් සහ උප උපස්ථානයෙන් අදාළ කරුණට අයත් නිවේදන භාව 12න් පෙන්නුම් කරයි නම් එම කරුණු ඉටුවේ. උදාහරණයක් ලෙස, විවාහයට අදාළ මූලික භාවය වන 7වැනි භාවයේ උප උපස්ථානාධිපති තමාගේ නැකතෙක් 7වැනි භාවය සම්බන්ධ කර විවාහයට අදාළ ආධාරක භාවවන 5 වැන්න සහ 11 වැන්න, එම භාව තුළින් පෙන්නුම් කෙරේ නම් එම තැනැත්තාට විවාහයක් ඇත. නමුත් ලග්න භාවයේ උප උපස්ථාධිපති තමාගේ කර්ම මූලයෙන් විවාහයට අදාළ භාව කිව යුතු වේ. ඒ අනුව එම තැනැත්තාට ස්ථිර වශයෙන් විවාහයක් ඇත. මෙම ක්‍රමයට නෛසර්ගික පාපි ග්‍රහයෙක් වුනත් ඉහත සඳහන් පරිදි විවාහයට අදාළ භාව කියයි නම් සා දශාවෙනුත්, එම භාව කියන දශා අධිපතියකුගේ කාල වකවානුවේදී විවාහය සිදුවේ. එහිදී දශා අධිපති නෛසර්ගික පාපි ග්‍රහයකු වුණත් අදාළ භාව කියයි නම් විවාහය සිදුවේ. ඒ අයුරින් ජීවිතයේ සෑම කරුණක් සම්බන්ධ ඉතා සාර්ථක ලෙස අනාවැකි කීමේ හැකියාව මේ පද්ධතියට හැකිය. මේ වන විට මුළු මහත් ඉන්දියාව පුරාවටම ඉතා ශීඝ්‍රයෙන් මේ ක්‍රමය ප්‍රචලිත වන බව ඔබට අන්තර් ජාලයට ඇතුළු වුවහොත් දැක ගත හැකිය.

ඉන්දියාවේ මෙවැනි අගනා ක්‍රමයක් හඳුන්වා දුන් කුලර්තුමා අවු 82ක් ආයු වලඳා 2023 පෙබරවාරි 12 වනදා අප අතරින් සඳහටම සමුගත්තේය.

එතුමා ජීවමානව සිටියදී එතුමාගේ දේශනාවලට සහභාගිවීමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සලකමි. එතුමා මිය යාමට මාස කිහිපයකට පෙර අවසානයට පැවැත්වූ දේශනයට සහභාගි වීමටද අවස්ථාව ලැබුණි. එතුමා බොහෝ නිහතමානීය.

එතුමාගේ කුලර් පද්ධතිය උගත් අයෙකු හැටියට එතුමාට අනුව මා හට කිව හැකි වන්නේ සියයට සියයක් පලාඵල කිව හැකි වන්නේ ඍෂිවරුන්ට පමණක් බවත්, අපට කළ හැකි වන්නේ යම් අයෙක් මෙලොවට කර්මානුරූපව රැගෙන ආ කුසල් අකුසල් විග්‍රහ කිරීම සහ පෙර කරන ලද, යම් අකුසල් නිසාවෙන් සිදුවන අපල කරදර දුරුවීමට අවශ්‍ය උපදෙස් දීම සහ ඉදිරියට සිදුවීමට නියමිත අපල උපද්‍රව වළකා ගැනීමට අදාළ ප්‍රතිකර්ම නිර්දේශ කිරීම පමණි. ඒ සමඟම යම් අයකුගේ ඉදිරිය සියුම්ව විග්‍රහ කිරීමට මේ පද්ධතියට හැකියාව පවතී.

අප රටෙහි මෙවැනි සාර්ථක ක්‍රමයක් මඟින් නිවැරැදි ඡ්‍යොතිෂ විග්‍රහයක් ඉදිරියට රැගෙන යෑමේ අරමුණින් යුතුව අපට හැකි පමණ මෙය ප්‍රචලිත කළ යුතුයැයි විශ්වාස කරමි.

 

ඡ්‍යොතිර් ශිරෝමණී

ඡ්‍යොතිර් පඥා

සුනීතා සමරසේකර 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.