විවාහයට පෙර මේ ගැනත් සිතන්න

නොවැම්බර් 10, 2023

විවාහයක් සඳහා කේන්ද්‍ර දෙකක් පරීක්ෂා කිරීමේ දී පොරොන්දම්වලට අමතරව බැලිය යුතු ග්‍රහ දෝෂ අති විශාලයි. වැඩි දෝෂ තිබේ නම් පොරොන්දම් ගැළපුණත් විවාහයට හිතකර නැත. බොහෝ කේන්ද්‍රවල විවාහ දෝෂ තිබිය හැකිය. නැත්නම් කීපයක් තිබිය හැකිය. එම නිසා විවාහයකට කේන්ද්‍ර දෙකක් ගැළපීම දුෂ්කරවේ. දෝෂ නැති කේන්ද්‍ර නොමැති මේ සෑම ග්‍රහ දෝෂයක්ම බිඳී යන ග්‍රහ යෙදීම් තිබේ. ඒ නිසා එකී දෝෂ ඇති විට එකී දෝෂ බිඳී යන්නේ දැයි ගැඹුරින් පිරික්සා බැලිය යුතුමැයි. කුජගේ භෞම දෝෂය කේන්දර දෙකේම ඇත්නම් භංග වේ. ගුරුගෙන්ද බිඳී යයි. අනෙක් දෝෂයන්ද එසේ ය.

විවාහයක් සාර්ථකව ගෙනයාමට දෙදෙනාගේම ලිංගික දිවිය අතිශයින් වැදගත් බැව් නොරහසකි. පූර්ණ ඇත්ත මෙයයි. මේ පිළිබඳව විවෘතව කතාබහ නොකිරීමේ ප්‍රතිඵලයක් වන්නේ නොසිතූ අන්දමට දික්කසාද වීමයි.

එක් අයෙක් අතිධාවනකාරී වී අනෙකා මන්දගාමී නම් එතැන ගැටුමකට මුල වේ. කොතරම් පොරොන්දම් ගැළපුණත් විවාහය සාර්ථක නොවේ. සඳු නීච වී කුජගේ දෘෂ්ටිය ලැබීමෙන් යමෙකුගේ කාමය අන්තයට යාම නිසා වන්නේ ගැටලුවකි. සකට යෝගය සෑදීම නිසා විවාහයට අසුබ බවද ශුක්‍ර නීච නම් තම නිවෙසේ මෙහෙකාරිය හෝ මෙහෙකරු මෙන්ම රියැදුරු වසඟයට ගන්නා බැව් ද පෙනේ. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල 5 සහ 7 අධිපති ග්‍රහයන් නවාංශක ගණයට අයත් වී නම් 100% පොරොන්දම් සීහුණත් විවාහය අඩපණ වේ. 7 වැන්නේ නවාංශකය පිහිටීම බහු පුරුෂ යෝගයකි. නවාංශකයේ කුජ ශුක්‍ර පරිවර්තනය වී ඇත්නම් ඔහු හෝ ඇය එක් අයෙකුගේ වින්දනයෙන් තෘප්තිමත් නොවේ. සඳු ශුක්‍ර නීචව පැවතීද බලපායි.

සිකුරු චර රාශියක සිට ලග්නය දැක එයට සඳුගේ සබඳතාවයක් පවතීද එයින් බහු විවාහයකට මඟ පෑදේ. 7 අධිපතියා හෝ විවාහකාරක ශුක්‍ර උභය රැසක වීමද බහු විවාහයේ සලකුණකි.

කුජ සහ ශුක්‍ර, චන්ද්‍ර සහ කුජ, චන්ද්‍ර සහ ශුක්‍ර යන යෝගයන්ද එයට පාදක වේ. එහෙත් සඳු සිකුරු කුජ ශුභයින්ගේ නැකතක නම් එය අතිධාවන තත්ත්වයේ නැත. අද විවාහ දිවියක් නැතිවීමට සම රිසි වින්දනය ද හේතුවේ. 6 වැන්නාධිපති 7 වැන්නේ වීමද එම ග්‍රහයින්ට පාපී පෙනීමද ශුක්‍ර පාපී රැසක වීමද 6 අධිපති සමඟ යෝග වූ 7 අධිපතියා ඉෂ්ට රැසකවීමද 6 අධිපති 6 වැන්නේම සිටියදී 22 දෙර්කානාධිපති සමඟ යෝග වීමෙන් ද මේ තත්ත්වයට මඟ පෑදේ. පුරුෂ කේන්ද්‍රයේ ශුක්‍ර ද ස්ත්‍රී කේන්ද්‍රයේ කුජද එකම රැසක නම් ආකර්ෂණය වැඩි වේ. කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණයක වේ නම් බැඳීම් බලවත් වේ.

දෙදෙනෙකුගේ විවාහය කුජ ශුක්‍ර බලය අනුව තීරණය වේ. 7 අධිපතියා හෝ විවාහකාරකීය ශුක්‍ර ග්‍රහයා අධිපතිගේ නැකතක නම් දෙදෙනාම විරසක වේ. විවාහ කාරක ශුක්‍ර දුෂ්ඨ රැසක වීම හෝ දුෂ්ඨ රාශි අධිපතියෙකු සමඟ යෝග වීම 7 අධිපති ඉෂ්්ඨාධිපතියෙකුගේ නැකතක වීම නිසා යුගදිවියට අශුභ ඵල අත් වේ.

සියයට සියයක්ම ගැළපෙන කේන්ද්‍ර සොයා ගැනීම දුෂ්කරයි. එමනිසා අවශ්‍යම ග්‍රහ ගැළපීම් සංයෝග ඇත්නම් අශුභ තත්ත්වයන් මඟ හැරී භංග වී තිබේ නම් එය යහපත් ප්‍රවණතාවයකි.

කුමන කරුණක් වුවත් දෙදෙනාගේ විවාහයේදී ඉවසීම සාධාරණත්වය අවබෝධයන් සංහිඳියාවත් මානව භක්තියක් ඇත්නම් වඩාම යහපත් වේ. අසුබ ග්‍රහ කිරණ බලවේගවලට නොබියව මුහුණ දී සිය ප්‍රබලතම ආත්ම ශක්තියෙන් යුක්තව බාහිර ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන සාර්ථක යුග දිවියක් ගත කිරීමේ භාග්‍යය ලැබෙනු නිසැකයි. මේ සිදුවන සියල්ලටම ග්‍රහයින් පළි නැත.

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.