පාප අන්ධකාරය පළවා හරින දීපාවලිය

නොවැම්බර් 10, 2023

දුක් දොම්නසින් පිරුණු අඳුර ඉවත් කර සතුට සම්පත් හා කරුණාව උදාකොට ආලෝකමත් කරන දීපාවලිය අඥානය දුරුකොට ප්‍රඥාව පහළ කරනු ලබන අතිවිශිෂ්ට වූ පූජා උත්සවයකි. ප්‍රදීප ආවලියක් (පහන් වැටක්) යන තේරුම් ඇති දීපාවලී උළෙල හින්දු බැතිමතුන්ගේ අති පාරිශුද්ධ වූ වැදගත් ආගමික උත්සවයකි. දීපාවලිය පිළිබඳ බොහෝ පුරාණ ග්‍රන්ථවලින් මේ පිළිබඳව තොරතුරු පෙන්වා දී ඇත.

එයින්ද වඩාත් ප්‍රසිද්ධ කතා පුවතක් වී ඇත්තේ නරක අසුරයාගේ කතාවයි. ජීවිත කාලයෙහි පවතින අඳුරත්, ලොවෙහි අඳුරත් දුරුකර ඥාණය නැමැති ආලෝකය ප්‍රාර්ථනා කරමින් දීපාවලිය සමරති. මිනිස් සිතු තුළ පවත්නා අසාධාරණය තුරන්කොට යුක්තිය හා සාධාරණය ආරක්ෂා කිරීමේ උතුම් කාර්යය සිහිපත් කරමින් නිවසින් නිවස, දේවස්ථානයෙන් දේවස්ථානය කෝවිල යන පූජනීය ස්ථානය ප්‍රධාන කොට දීපාවලි ආලෝකමත් කිරීමේ පහන් දැල්වීම පේළියෙන් පේළියට සිදුකරනු ලබන්නේ අඥානය දුරුකොට ප්‍රඥාව ළඟා කරදෙන ලෙස අධිෂ්ඨාන ඇතිකර ගනිමිනි.

දීපාවලි පූජා උත්සවය ලොව බොහෝ රටවලත් භාරතය පුරාමත් මහ ඉහළින් සමරනු ලබන්නේ තම දූ දරුවන් හා වැඩිහිටියන් පෙරටු කර ගනිමිනි. පාප අන්ධකාරයන් පලවා හරින දිනය වශයෙන් සලකන දීපාවලී දිනය ඉන්දියාවේ බොහෝ ජනතාව පහන්් දල්වා පුද පූජා තබා දේවාරාධනා කිරීම පැවත එන සිරිතකි. ප්‍රාග් ඡ්‍යොතිෂ පුරයෙහි අසාධාරණයෙන් රාජ්‍ය පාලනය කරමින් ලොවම අඳුරින් වසාගෙන සිටි තාරක නම් අසුරයාට කෘෂ්ණා වප් මාසයෙහි කෘෂිණා ප්‍රායෝදිසියේදී මරා දමා ආලෝකයට නැවතත් ආලෝකය ලබා දී ඇත. මේ කාරණාව සිහිපත් කිරීම සඳහා ඉන්දියාවේ මෙන්ම ලොව පුරා හින්දු ජනයා තෙල් ගල්වා ගෙන ස්නානය කොට පහන් දල්වා පී‍්‍ර‍්‍රතිමත්වීම සිදු කොට ඇත. තාරක නම් අසුරයා විෂ්ණුට හා භූමා දේවියට දාව උපන් පුත් කුමරුන්ය. භූමා දේවිය නමින් හැඳින්වූයේ මහී කාන්තාවටයි. මෙම තාරක අසුරයා උප්පත්තියෙන් හොඳ පුද්ගලයකු විය.

ඔහුගේ හොඳ ගතිගුණ නිසාම ශිව දෙවියන් වෙත ගොස් ඔහු උපවාස ශීලය රැක්කේය. ශිව දෙවියන්ද තාරකගේ ගති ගුණවලට පැහැදී ඔහු කෙරෙහි මනා විශ්වාසය ඇති කර ගත්තේය. මේ නිසා ශිව දෙවියන් එතෙක් කිසිවකුට නුදුන් බලයක් තාරකට ලබා දුන්නේය. එම බලය ලබාගත් තාරකා කලක් යෑමේදී අනිසි ක්‍රියාවලට යොමු වෙමින් කටයුතු කරන්නට විය. කෝවිල්වල පවත්වන ලද පූජා කඩාකප්පල් කළ අතර, පූජා තැබීමට ඉඩ නුදුන්නේය. පූජා තබන්නට ආ අයට වද හිංසා කළේය. එමෙන්ම යමකු කෝවිලක පූජාවක් තබා අසුවුවහොත් වද හිංසා දුන්නේය. බියට පත් ජනතාව ඔහුගෙන් සැඟවී සිටීමට පවා කටයුතු කළේය. තාරකගේ මේ හැසිරීම නිසා දෙවියෝද, බ්‍රාහ්මණයෝද, සුරයෝද මහත් කනස්සල්ලට පත්ව සිටි බව පුරාණ ග්‍රන්ථවල පවා සඳහන්ව ඇත. මිනිසුන්ට පමණක් නොව දෙවි දේවතාවුන්ටද මහත් වදයක් වූ නරක අසුරයා විනාශකර දැමීමට කිසිවකුටත් බලයක් නොවීය. ඒ ඔහු සතුවූ අසීමිත බලයේ හේතුවෙනි. එහෙත් ඔසු විනාශ කර දැමීමට බලය තිබුනේ නරකයේ පියාවන විෂ්ණුට පමණකි.

එබැවින් නරක අසුරයා විනාශ කරන ලෙස දෙවි දේවතාවුන් ඇතුළු හැම දෙනාම විෂ්ණුගෙන් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීම ඉටුකිරීම සඳහා විෂ්ණු ක්‍රිෂ්ණා අවතාරයෙන් පෙනී සිට තාරකයාට වදහිංසා පමුණුවා විනාශ කර දැම්මේය. විනාශයට පත්වන අවස්ථාවේදී තාරකයාගේ ඉල්ලීමක් වූ ආලෝක පූජාව දීපාවලිය පවත්වන්නට යෙදුණු බවද කියති. කතරගම දෙවියන් ශිව දෙවියන්ගේ නළලෙහි පිහිටි ඇසින් විහිඳුවාලූ තෙදැති රශ්මියෙන් ආරුමුගං දෙවියන් ඉපදී ඇති බවත් විශ්වාස කෙරේ. එම දෙවියන් අදහනු ලබන්නේ ආලෝකයේ දෙවියන් ලෙසයි. දීපාවලී දිනයේදී දහස් ගණන් පහන් දල්වා ආලෝක කොට පූජා කරනු ලබන්නේ මෙම ආරුමුගන් දෙවිදුන්ටය. වික්‍රමාදිත්‍ය රජතුමාගේ මෞලි මංගල්‍යය හා රාජාභිෂේකය සිදුවන දිනය ලෙස සළකා උත්සව පැවැත්වූහ. තවද අලුත් අවුරුදු දිනය ලෙස සළකාද උත්සව පැවැත්වූහ. හින්දු කෝවිල්වල දීපාවලී උළෙල සමරමින් විෂ්ණු පිළිරුව අලංකාර ලෙස සරසා ගම වටේ යමින් තරක අසුරයා වදයට පමුණුවන සිද්ධිය පෙන්වමින් ගමන් කරති.

යහපත් අය ආරක්ෂා කරන්ටත් අයහපත් අය විනාශකරන්ටත් ධර්මයෙන් කරුණු අවබෝධ කිරීමට දීපවාලී දිනය මහඟු ආදර්ශයක් ගෙන දී ඇත. බෙංගාල දේශයේ දීපවාලි දිනය සමරනු ලබන්නේ වෙනත් රටවලට වඩා වෙනස් අයුරිනි. ඔවුන් මළවුන්ගේ දිනය දීපවාලී දිනය ලෙස සළකති. මරණයට පත්වී අඳුරේ ගිලී සිටින ප්‍රාණකාරයින් ගලවා ගැනීම සඳහා බෙංගාලි දේශයේ පිහිටි විශාල කුළුණු මුදුනේ පහන් දල්වා ආලෝක කිරීම සිදු කරයි. ඒ මෙදින කෘෂ්ණ දෙවියාටත් ගෝවර්ධන කන්දටත් පූජා සංග්‍රහය පවත්වමිනි. දීපවාලි දිනය සූදු ක්‍රීඩා කරන්නන් විශේෂ දිනයක් ලෙස සලකති. එක් යුගයක ශිව දෙවියන් තම පි‍්‍රයම්බිකාව වූ උමා දේවිය සමඟ සූදු ක්‍රීඩාවේ යෙදී සියලු වස්තුව පරාදවීමෙන් පරාජිතයකු බවට පත්විය. ඒ දුකින් ගංගානම් ගඟේ සුදුවැලි තලාවක ඉතා දුක්මුසු විලාසයෙන් සිටි ශිව දෙවියන් දුටු කතරගම දෙවියන් උපායක් සිතා උමා දේවිය සමඟ සූදු ක්‍රීඩාවේ නිරතව තම පියා විසින් පරාදවූ සියලු වස්තුව නැවත ලබා ගත්තේය. මේ නිසාත් දීපාවලි දිනය ද සූදු ක්‍රීඩාවට යෝග්‍ය දිනයක් ලෙස සැලකේ.

වනවාසයෙන් මිදී දාහතර වසරකට පසුව අයෝධ්‍යා නගරයට රාම පැමිණීමේ සතුට සැමරීම සඳහාද එරට ජනයා සුරන්බු ගංගා තීරයට පැමිණ ජල ක්‍රීඩා කොට ස්නානය කර අලුත් ඇඳුමින් සැරසී රසකැවිලි බෙදා හදා ගනිමින් දීපවාලී උත්සවය සමරති. දීපවාලී උළෙල සැමරිමේදී නොයෙකුත් විදියේ පූජා විධි අනුගමනය කරති. දීපාවලිය උදාවන රාත්‍රියේ නෑදෑහිත මිතුරන් හා එක්ව ස්නානය කොට පිරිසුදු වී තලතෙල් ඇඟ ගල්වා නුග, බෝ, අට්ටික්කා යන ගස්වල පොතු තම්බා නානු වර්ග සාදා එම නානු ගා උණුදියෙන් ස්නානය කොට පුද පූජා පැවැත්වීමට ද සූදානම් වේ. දීපාවලී පූජාවේදී ලක්ෂ්මී දේවිය හා ශිව දෙවියන් පිදීමද වේ. මේ වෙනුවෙන් දින හතරක්ම පූජා පැවැත්වේ. පළමු දින ලක්ෂ්මී දේවිය වෙනුවෙනුත් දෙවන දින තාරක අසුරයා මරණයට පත්වීමේ දින වෙනුවෙනුත් සතුට සඳහාත් පූජා පැවැත්වෙන අතර, තුන්වන දිනය නානු හිස හා ඇඟ ගල්වා ස්නානය කිරීමටයි පසුව පහන් පේළි දල්වා පූජා පවත්වති. හතරවන දිනය නෑදෑ හිතවතුන්ට හා අනෙකුත් අයට සංග්‍රහ කිරීමෙන් හා තෑගිභෝග ලබාදීමෙන් හා තෑගිභෝග ගැනීමෙන් මෙම පුණ්‍ය දිනය අවසන් කෙරේ.

 

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

 

සටහන. මාධ්‍යවේදී - බී. ඇල් ප්‍රේමරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.