සාර්ථක විවාහයට සුබම සුබ නැකත යොදා ගන්න

ඔක්තෝබර් 27, 2023

ඡ්‍යොතිෂය ගැන වැඩි විශ්වාසයක් නොමැති අය ද තම විවාහය සිදුකරන විටදී, නිවෙසක් සාදන කල්හි දරු උපතකදී ඡ්‍යොතිෂයේ පිහිට ලබති. අද අපි කතා බහේ යෙදෙන්ට සූදානම් වනුයේ විවාහ මංගල උත්සවයකදී අනුගමනය කරන ක්‍රියාකාරකම් පිළිබඳවය. හෝටල් සංස්කෘතිය තුළ එකී හෝටල් හිමිකරුවාගේ තීරණය මඟින් ජීවිතයේ වැදගත්ම අවස්ථාව සිදු කිරීමේ කලාවක් අනුගමනය කරන ක්‍රමවේදයක් බිහි වී තිබීම විශේෂ සිද්ධියකි.

සමහර විට අඟහරුවාදා, සෙනසුරාදා, ඉරිදා දිනයන්හිදී මෙවැන්නක් කරන බවද පෙනේ. මේ දිනවල හැසිරෙන ග්‍රහ චාරයන් පංචාංගයත් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් ය. සමහර විට එදිනට අශුභ මර යෝග යෙදී තිබෙන්නට පිළිවන් නිසා ඒ ගැන විමසා බැලීමද වැදගත් වේ.

එසේ නොවී පංචාංගය ශුද්ධිය නොවූ දිනයක විවාහය සිදු කිරීම අර්ථ විරහිතයි. දෙදෙනාගේ ජන්ම නැකත්වලට පාදක වන ධනාත්මක සුබ හෝරාවන් තෝරාගත යුතුªමය. දෝෂ රහිත කිසිවක් මේ මිහිපිට නොමැති වුවත් විවාහයේදී මුල්වන කරුණූ මෙසේ ය. විවාහය ලියාපදිංචි කිරීම, මහල් මඩුවට කණු සිටුවීම, බුලත් දීම, තෙල් වළං ලිප තැබීම, සුබ දිනයේ මනාලියගේ හිස් පලඳනාව තැබීම, දෙදෙනාම උඩරට ඇඳුම්වලින් සැරසෙන්නේ නම් තැල්ල හා තුප්පොට්ටිය තැබීම විවාහයට හෝටලයකට නම් සුබ නැකත් ගැනීම, පෝරු චාරිත්‍රය මංගල මේසය ඉඳුල් කිරීම, ආදී වැදගත්ම අංගයන් ඉතාම සුබ මුහුර්තයකින් කිරීම අනිවාර්ය වන්නේ ය.

මංගල උත්සවයේ නිමාවෙන් පසු දෙදෙනාම මධුසමය සඳහා පිටත්වීමට ඉතාම සුබ මුහුර්තයක් අවශ්‍ය වේ. පෝරු චාරිත්‍රයෙන් අවසන් වී එදින පසුදිනට පහන් වනතුරුම ඉතාම සුබ නැකත් ගත යුත්තේ එදින රාත්‍රියේ දරුවෙකු පිළිසිඳ ගන්නේ නම් මුළු රාත්‍රිය පුරාම යහපත් නැකත් තිබීම සුවිශේෂයි.

මංගල කටයුතුවලට මුහුර්ති සෑදීම සඳහා පංචාංග ශුද්ධ දිනයක් හිරු උත්තරායන තුළ ගත කරන කාල පරාසයන් වඩා සුබයි. වෙසක්, පොසොන්, ඇසළ තෙමස ඉතාම යහපත්ය. රෙහෙණ, මුවසිරස, උත්‍රපල්, සා, හත, අනුර, උත්‍රසල, උත්‍රපුටුප, අස්විද, මා මුල, රේවතී නැකත් වඩාම සුබදායක වේ. සුබ තිථියන් වූ පුරපස 2, 3, 5, 7, 10, 11, 13 යහපත් වේ. මංගල කටයුතු කරන දින රවි සිටි නැකතින් 5, 6, 7, 8, 9, 10 සහ 20, 21, 22, 23, 25 නැකත් වීම යහපත් වේ. සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යහපත් වන අතර බ්‍රහස්පතින්දා යොදා ගැනීමෙන් හෝරා තෝරා ගැනීමද පහසු වේ.

රික්තා තිථි 3ක් ද පෝය තිථි 4ක් ද අසුබයි. මිථුන රවි ඇසළ මාසයේ පුර තිථි 4, 8, 9, 14, 15 සහ අව පක්ෂයේ තිථි සුබ නැත. මා නැකතේ සහ මුල නැකතේ 01 පාදයද රේවතී නැකතේ 4 වැනි පාදයද එතරම් සුබ නැත. මේෂ රවිය බක් මාසයද වෘශ්චික රවිගේ ඉල් මාසයද මකර රවිගේ දුරුතු මාසයද නොගැළපේ. කෝණ මාසවලද අග දින 15 සුබ නොවේ. පවුලේ වැඩිමහල් දරුවා ඔහු උපන් චන්ද්‍ර මාසය යෙදෙන කාලයද මඟ හරවා ගත යුතුයි. වෙසක් මස උපන් දෙදෙනෙකුට එම මස විවාහයට සුදුසු නැත. ජන්ම නැකත ජන්ම දිනය ජන්ම මාසයද යෝග්‍ය නොවේ.

මංගල නැකත ඉතාම වැදගත් අවස්ථාව වනුයේ දෙදෙනාම මධුසමය ගත කරන අවස්ථාවයි.

එය පංචාංග ශුද්ධිය වන රාත්‍රී 8.00 සිට අලුයම 4.00 දක්වා කාල පරාසයි. මේ කාලය අතරතුර ගුරු හෝරා පංචමය හා සූක්ෂමය තෝරා ගැනීමට හැකිනම් වඩාත්ම යහපත් වේ. විවාහ දිනයේදී දෙදෙනාම ලැඟුම්හලේදී ස්නානය කර පවිත්‍ර වී පසුව ආගමික වතාවත්වල යෙදීම ඉතාම යහපත්ය. සුවඳ විලවුන් ඇඟ ගල්වාගෙන් සිනිඳු වස්ත්‍රයකින් මනාලිය සැරසී යහන් ගතවීම මැනවි. ප්‍රත්‍ය ශතකයේ සඳහන් අයුරින් ස්ත්‍රී සයනයේ වෛශ්‍යා නම් යනුවෙන් දක්වා ඇති පරිදි දෙදෙනා අතර ආදරය සෙනෙහස උපරිම තත්ත්වයෙන් කුළු ගන්වා ගැනීමට පෙරහුරුවක් තිබිය යුතු වේ. ( සඳු, සිකුරු) යෝගය මෙන්ම දෙදෙනා එක්වීම අනිවාර්ය වන්නේ ය. විශේෂයෙන් ම මනාලයා මත්පැන් පානය කර සිටීම ඉතාම අසුබ බැව් දක්වමු. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංචමහා සම්පත්තියෙන්ම අනූන දරු සම්පතක් හිමිකර ගැනීමට දෙදෙනාටම ගැළපෙන සුබ නැකත් වේලාවන් යොදා ගැනීම අතිශයින්ම වැදගත් කාර්යයක් වන බැව් සනිටුහන් කරමු. ජීවිතයේ දෙවැනි උපත වන විවාහය රිසි ගුහාවක් කර ගැනීමත් දිවි ඇතිතෙක්ම දෙදෙනාම එක් වහලක් යට සාර්ථක යුග දිවියක් ගත කිරීමටත් හැකිවනුයේ සුබම දිනයක් සුබම නැකතක් යොදා ගැනීමෙන් බැව් අවසන් වශයෙන් දක්වා සිටිමු. තමාට හිතුමතේට අයහපත් දින නැකත්වලට ගොදුරු වී විවාහ වීමෙන් වන විවාහ ජීවිතය අකර්මණ්‍ය වන බව නම් ඇත්තෙකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.