ඡ්‍යොතිෂයේ ඇසූපිරූ තැන් ඇති ශාස්ත්‍රඥයා ඡ්‍යොතිෂ රත්න කේ. එච්. ධනපාල

ඔක්තෝබර් 20, 2023

ඕනෑම ශාස්ත්‍රයක එක් පැතිකඩක් නොව විවිධ පැතිකඩයන් දැන සිටීම අතිශය වැදගත් වන්නෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ද එසේ ය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේද නොපෙනෙන පැති රැසකි. ඒවා තමාගේ නැණ නුවණ මෙහෙයවා නව න්‍යාය ධර්මයන්හි පිහිටුවමින් ප්‍රගුණ කරන්නට හැකි නම් ඔහු හෝ ඇය එම ශාස්ත්‍රයේ පරතෙරට යන ප්‍රවීණයකු වන්නේය.

අපගේ කතා නායකයා ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ හසළ දැනුමැත්තෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ විවිධ පැතිකඩ හඹාගිය අයෙකි. ඔහුගේ චරිතය සියුම් ලෙස විග්‍රහ කර බැලීමේ දී අද අප අතර ජීවමානව සිටින ප්‍රවීණ ඡ්‍යොතිෂවේදීන් අතළොස්ස අතරට ඔහුද එක් වන්නේ නිතැතිනි.

වැලිගම පිටදූව ග්‍රාමයේ දිවි ගෙවූ දක්ෂ ගොවි මහතකු වූ උතේරිස් අප්පුහාමි මහතාටත් අප්පුහාමි මහත්මියටත් දාව 1945 ඇසළ මස 29 වැනි දා මෙලොව එළිය දුටු සුරතල් බිළිඳාට නම් තැබුණේ කේ.එච්. ධනපාල ලෙසයි. සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් යුතු පවුලක 7 වැන්නා ලෙස මෙලොව එළිය දුටු කුඩා ධනපාල බිළිඳා උපත ලබන විට නැඟෙනහිර ක්ෂිතිජයේ උදාව පැවතියේ මේෂ රාශියයි. උදාව පැවැති ග්‍රහ බල අනුව රටේ ප්‍රසිද්ධ විද්වතකු වන බවට ධනපාල පුත් රුවනගේ කේන්දරය පරීක්ෂා කළ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයාගෙන් අනාවැකි පළවිණි. අද ඒ අනාවැකිය සත්‍යයක් බව පත්ව ඇත්තේ ය. වැලිගම භූත වෛද්‍ය ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කේ.එච්. ධනපාලයන් ගැන මෙරටේ නොදන්නේ කවරෙක් ද?

 

පාසල් අධ්‍යාපනය

මූලික අධ්‍යාපනය සඳහා වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුළත් වන ධනපාල දරුවා එහි දී තම මූලික අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළේ ය. අනතුරුව ද්විතීක අධ්‍යාපනය සඳහා වැලිගම ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වන ඔහු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරන සමයේදීම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ මහා ඇල්මක් ඔහු සිතෙහි ඇතිවන්නට විය. ඒ අනුව ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමට ඔහු යොමුවන්නේ වයස අවුරුදු 14 දී පමණය.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම

තම මුත්තණුවන්ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ හසළ දැනුමැත්තෙක් වූ නිසාම ඔහු අඩිපාරේ යාමට මේ නව යොවුන් තරුණයාට සිත් විය. තම මුත්තණුවන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් ගුප්ත ශාස්ත්‍රයත් මනාව හසුරුවමින් එහි එන ශ්ලෝක, ගාථා, කවි හඬ නඟා තාලයට ගායනා කරන අයුරු පමණක් නොව සෙත් ශාන්ති, යාග හෝම, බලි තොවිල් පවත්වන අයුරු සේම භූත විද්‍යාවෙන්ද මහත් වැඩ ගන්නා අයුරු කුඩා ධනපාල යෞවනයා බලා සිටියා පමණක් නොව මුත්තනුවන්ට අවශ්‍ය විට තම සේවයද ලබාදීමට ඔහු දෙවරක් නොසිතුවේ ය. මුත්තණුවන්ගේ අත්වැල වෙමින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අත් පොත් තබන්නට ධනපාල තරුණයා වාසනාවන්ත වූයේ තම පරම්පරාවේ නාමය ද බබළවමිනි.

මිරිස්සේ උඩුපිල දහම් පාසලේ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් දහම් දැනුම දරු දැරියන්ට බෙදන්නට නිතර දෙවේලේ පන්සලට යාමට ධනපාල තරුණයාට සිදුවිය. එසේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටින අවධියේ ඡ්‍යොතිෂවේදය මැනවින් දැන සිටි මිරිස්සේ සාරාමේධ නා හිමිපාණන් වහන්සේගේ ඇසුරින් ඡ්‍යොතිෂය සරලවම හදාරන්නටත් ඡ්‍යොතිෂය පිළිබඳ නොදත් බොහෝ කරුණු කාරණා දැන කියා ගැනුමටත් ධනපාල තරුණ ගුරුවරයාට හැකි විය.

සාරාමේධ නා හිමියන් නිසාම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය තවදුරටත් ප්‍රගුණ කළ යුතු බව ඔහුට වැටහිණි. මේ ඡ්‍යොතිෂය දැනුම් පිපාසය නිසාම එවකට රටේ නමක් දිනූ තම ගම්පියසේ ප්‍රකට ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු වූ “ජීවිතය සහ ග්‍රහයෝ” කෘතියේ කර්තෘ වූ ඉමදූව වල්පොල හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතා සොයා ගියේ ය. ඔහුගෙන් වසර කීපයක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කළ ධනපාලයන්ට ඡ්‍යොතිෂය පිළිබඳ මනා අවබෝධයක් ඇති විය. ඒ අනුව තම ඡ්‍යොතිෂ අනාවැකි රටපුරා මුදා හැරුමට ඔහු පුවත්පත් සඳහා ජනතාව දැනුම්වත් කරමින් ලිපි ලියන්නට විය. මේ වන විට ධනපාල තරුණයා කේන්දර පලාපල පැවැසීම පමණක් නොව ජන්මීන්ට ඇති අපල උපද්‍රව මොනවාද ඒ සඳහා කළයුතු ප්‍රතිකර්ම මොනවාද? පැලැඳිය යුතු යන්ත්‍ර, ශාන්ති කර්ම, කෙම් ක්‍රම, සෙත් කවි, වාස්තු විද්‍යාව පමණක් නොව හස්ත රේඛා දැනුමින්ද සන්නද්ධ ව සිටියේ ය. භූත විද්‍යාව ද ඔහුගේ අධ්‍යයනයේ තවත් සුවිශේෂී පැතිකඩක් විය. ළාබාල වියේදී ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීම ආරම්භ කළ ඔහුගේ ඡ්‍යොතිෂ දිවියට මේ වන විට අවුුරුදු 52 කි. ඒ අතීතය පිළිබඳ ඔහුගේ මතකය සුන්දරය. ඔහු ඒ පිළිබඳ වරක් පුවත්පතකට මෙලෙස පවසා තිබුණි.

“මම හා හා පුරා කියලා 1982 මාර්තු හය වැනිදා සුබසෙත පුවත්පතට ලිපියක් ලිව්වේ, ඒ වැලඳ ගැනීම් යෝග උදාවෙන් මංගල සීනු හඬ පැතිරේ” නමින්. එදා සිට අද දක්වාම සුබසෙත පුවත්පත මගේ ජීවිතයෙන් ඈත් වුණේ නැහැ. මට ලොකු සහායක් වුණා එවකට සුබසෙත පුවත්පතේ කර්තෘවරුන් සියලු දෙනාම අඹුවන්ගල මහත්මයා, ජයසූරිය මහත්මිය, ඉතාම හොඳ සහයෝගයක් මට ලබා දුන්නා. ඇත්තටම මම තව දෙයක් සිහිපත් කළ යුතු යි. මගේ මුත්තණුවන් ගුප්ත විද්‍යාව පිළිබඳ නම් දැරූ අයෙක්. අද මේ ශාස්ත්‍රය රැක ගන්නට මා පමණයි පරම්පරාවෙන් ඉතිරිවී ඇත්තේ. මම අදටත් ඒ ශාස්ත්‍රය රැකගෙන ඉදිරිපරම්පරාවට දෙන්නට උත්සාහ කරනවා. ඔහු පවසන්නේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ වූ භක්තිමත් හැඟීමෙනි.

 

ගුරුවරයෙක්

පුෂ්කර යේගය, ගජ කේශරී යෝගය හා වීණා යෝගය යන බලවත් ග්‍රහ යෝග තුනක් සහිතව උපත ලද ධනපාල මහතා බලවත් කේන්දරයක හිමිකරුවෙකි. ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වන්නෙකි. කැපී පෙනෙන නායකත්වයක් ඇතිව කටයුතු කිරීමේ ශක්තිය ඔහුගේ උපන් ජන්ම කේන්දරයෙන්ම ලැබී ඇත්තේ ය. වයස අවුරුදු 25 සිට ඡ්‍යොතිෂ කටයුතුවල නිරත වෙමින් ඡ්‍යොතිෂ අධ්‍යාපනය ලබා දෙමින් මේ වන විට ඡ්‍යොතිෂවේදීන් විශාල පිරිසක් බිහි කරන්නට ඔහු තම දායකත්වය නොමසුරුව ලබා දී ඇත. වසර 25 ක් මුළුල්ලේ ඡ්‍යොතිෂ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් අද වන විට ශ්‍රී ලංකා ඡ්‍යොතිෂ සංගමයේ උප සභාපති ලෙස ඔහු කටයුතු කරයි. වර්තමානයේ එහි සභාපති ආනන්ද සෙනවිරත්න මහතාය.

සමාජ සේවය වෙනුවෙන් කැපවී කටයුතු කරන ධනපාල මහතා වැලිගම ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයකු ලෙස ද කටයුතු කරයි.

ශ්‍රී රෝහණ සංඝ සභාවේ සම්මාන සාමාජිකයකු ලෙස ද ධනපාල මහතා පත්කොට තිබේ. කලාභූෂණ රාජ්‍ය සම්මානලාභි හා ඡ්‍යොතිෂ රත්න රාජ්‍ය සම්මානද, කීර්ති ශ්‍රී ලංකාභිමානී, දේශබන්දු භූත විද්‍යා විශ්ව කීර්ති සම්මාන හා මුළු දිවයිනටම සාම විනිසුරු පදවියෙන්ද ධනපාල මහතා පිදුම් ලබා ඇත්තේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ උන්නතිය උදෙසා සිදුකරන ලද මෙහෙවර හේතුවෙනි.

වාසනාවන්ත බිරිඳක් සේම දරුවන් පස් දෙනකුගේ දයාබර පියකුව ධනපාල මහතා ගෙවන දිවිය සරලය. චාම්ය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් කැපවී කටයුතු කරන ධනපාල මහතා වාස්තු විද්‍යා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත හසළ දැනුමැත්තෙකි.

ආරෝහ පරිනාහ දේහයත් කඩිසර බව හා කතාවේ සිත් ඇද ගන්නාසුලු බවත් නිසාම ධනපාල මහතා ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් අතර කැපී පෙනෙන්නෙකි.

තමා සතු ඡ්‍යොතිෂ දැනුම කිසිදු පැකිළීමකින් තොරව රට වැසියාට ලබාදීම තම ඒකායන්ත අරමුණ කරගත් ධනපාල ඡ්‍යොතිෂවේදියාණන්ට තවත් බොහෝ කල් ඡ්‍යොතිෂය නැමැති තෙරක් නොපෙනෙන විශ්ව ශාස්ත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව හා නීරෝගිතාවය ලැබේවා යනු සුබසෙත අපගේ පැතුමයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.