හදවතේ කැඩපත මුහුණයි

ඔක්තෝබර් 20, 2023

දේහ ලක්ෂණ විද්‍යාව අනුව ඇයගේ මුහුණ ඇයගේ චරිතය පිළිබිඹු කරන කැඩපතක් බඳු ය. මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් අංග ලක්ෂණ අනුව ඇගේ චරිතය මෙසේ යැයි දේහ ලක්ෂණ විද්‍යාවෙහි සඳහන් කර ඇත. මේ අයුරින් ස්ත්‍රියකගේ මුහුණෙහි පවත්නා විවිධ ලකුණු අනුව පැවසෙන පලාපල විවිධාකාර ලෙස දැක්විය හැකිය.

පැරැණි කවීන් සුන්දර වස්තුවක් ලෙස සලකා චන්ද්‍රයාට හෝ පිපුණු නෙළුම් මලකට උපමාකොට කවි සංකල්පනා මැව්වේ කාන්තාවගේ සුන්දර මුහුණ දෙස බලමිනි. රුවක් ඇති දුවක් වැදුවා යයි මවක් සැනසෙන්නේද සිය දියණියගේ පියකරු මුහුණ බලමිනි. කෙසේ වෙතත් පුරාණ ආචාර්යවරුන් ස්ත්‍රියකගේ මුහුණ බලමින් ඇය සතු ගති පැවැතුම් හෙළිකර ඇත්තේ මේ අයුරිනි. යම් ස්ත්‍රියක් හට මදක් පිරුණ වට වූ පියුමක් සේ පියකරු මුහුණක් පිහිටියේ නම් ඇය හැබෑම වාසනාවන්තියක් වන්නීය. තම ස්වාමියාට සෙනෙහෙබර භාර්යාවක් වන ඇය ගෙදරදොර වැඩ කටයුතු නොපිරිහෙලා ඉටුකරන නිවසට සිරිතක් වැනිය. වාසනාවන්ත දූ පුතුන් ලැබ දිවි ඇති තුරාම සතුටින් විවාහ ජීවිතයක් ගත කිරීමට ඇයට වාසනාව ඇත.

කර්මාන්තයෙහි දක්ෂ අනුන් කෙරෙහි සැක උපදවන, එසේම තම අදහස් පමණක් ඉටුකර ගැනීමට උත්සාහ දරන ස්ත්‍රියකගේ මුහුණ කඩවසම් ගතියෙන් යුක්තය. රළු ගති මුහුණද ස්ත්‍රීනට නැත්තේ නොවේ. එවැනි අය පුරුෂයන් මෙන් රළු ගති ඇති අය වේ. මුහුණේ දකුණු පැත්තේ රතු ඉන්නෙක් හෝ කැළලක් පිහිටියේ නම් එවැනි කාන්තාව හදිසියේම වාගේ ධනවත් වන කරුණාව හා මෛත්‍රියෙන් පිරුණ තැනැත්තියකි.

කාන්තාවකගේ මුහුණේ අලංකාරය වැඩි වන්නේ ඇයගේ නළලේ පිහිටීම අනුවය. උස් වූ නළලක් කෙනෙකුට පිහිටියේ නම් ඇයට සියලු සැප සම්පත් ලැබීමේ වාසනාව ඇති බවද නළල මැද උස්ව ඉහළින් හා පහළින් මස් කඳු දෙකක් මෙන් පිහිටා මැද ගැඹුරු ලෙස පිහිටා ඇත්නම් නොයෙකුත් කර්මාන්තයන්හි දක්ෂ, සැලකීමක් ඇතිව හැම කාර්යයක්ම ඉටුකරන රළු වූ කතා ඇති තැනැත්තියකි.

දුන්නක් ආකාරයෙන් පිහිටි ඇහි බැමි මෘදු නීල වර්ණ රෝමවලින් පිහිටියා වූ ස්ත්‍රිය කාම සම්පතත් හා වස්තු ලබන රාගාධික තැනැත්තියක් වේ. සුදු මැළි මුහුණක් කාන්තාවකට පිහිටියේ නම් ඇය මාංශ භක්ෂණයෙහි ආසා ඇති බවද, බිය සහිත බව ද කියැවේ. රක්ත වර්ණ වූ මුහුණක් පිහිටියේ නම් ශාරීරික දුර්වලතාද, සිහි නුවණ, අඩුබවද, ශරීර ශක්තිය, හීන බවද, රෝග පීඩාවලින් නිතර පීඩා විඳින බවද කියැවේ. මුහුණේ දිග පළල එක සමානව ඇති මසින් පිරීගිය මුහුණක් හිමිකාන්තාව වෙළෙඳ ව්‍යාපාරවලට දක්ෂකමක් පෙන්නුම් කරයි. මුලදී සුළුවෙන් ආරම්භ කරන ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර දක්වා දියුණු කිරීමේ ශක්තිය හා වාසනාව ඇයට හිමිය. සැපවත් නිවාස, දැසි දස්සන්, යාන වාහන පවා ලැබ සතුටින් ජීවිතය ගත කිරීමට ද මෙවැනි කාන්තාවන්ට වාසනාව ඇත. ඉතා කුඩා මුහුණක් ඇති කාන්තාවගේ ජීවිතය එතරම් සාර්ථක නොවේ. අධ්‍යාපන කටයුතු මෙන්ම පවුල් ජීවිතය ද අසාර්ථක ය.

හැම දෙයකටම බාධා එල්ල වෙයි.

දිගටි මුහුණක් හිමි කාන්තාව ඉතා අහංකාරය. නිතර අන් අයගේ දෝෂ දර්ශනයට ලක්වෙයි. එහෙත් සමාජයේ ඉහළ තනතුරු ලැබීමට වාසනාව ඇත. විවාහ ජීවිතයේ දී ද සැමියාට වඩා ප්‍රබලව නැගී සිටියි. දුෂ්චරිතයට බරවේ. සතරැස් මුහුණක් ඇති කාන්තාව දුරදිග බලා කටයුතු කරයි. ඉතිරි කිරීමට හා දියුණුවට සැමියාට අත් වැලක් සේ ක්‍රියා කරන්නීය. නළල දික්ව පිහිටි ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා අකාලයේ මිය යාම නැතහොත් වෙන්වීම බොහෝ විට සිදු වන්නේ ය. නළල කෙලවර ගැට සහිතව පිහිටියේ නම් ඇය සොර සිතක් ඇති සල්ලාල ගැහැණියක් හැටියට සැලකේ. අලංකාර ලෙස දික්ව කෙලින් පිහිටා ඇති නාසය ඇති කාන්තාවට නොයෙක් විදියේ සුබ පලදෙයි. යන එන හැම තැනකදීම මුල් තැන හිමිවෙයි. එබඳු කාන්තාවක් ඉතා වාසනාවන්තය. සැප සම්පත් හිමි යහපත් සැමියෙකු මෙවැනි කතුන්ට හිමිවෙයි.

යම් ස්ත්‍රියකගේ දෙකන් එල්ලෙන ස්වභාවයෙන් හා වටවූ ආකාරයෙන් පිහිටියේ නම් සුභපල අධික වන්නේ ය. වැහැරුණ කන් පිහිටියේ නම් අශුභ බව පෙන්නුම් කරයි. මධ්‍යම ප්‍රමාණයේ ඝනව, දිගටිව පිහිටා ඇති වරලස ඇයට මහඟු ආභරණයකි. එවන් ලස්සන වරලසක් හිමි ස්ත්‍රිය බොහෝ සැප සම්පත් ලබන අතර තම උත්සාහය තුළින් ජීවිතය ජය ගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. ලේඛන කලාව හා මාධ්‍ය අංශවලටද සම්බන්ධවන මොවුන් හොඳ සංකල්පනාවන් බිහි කිරීමට සමත් වන්නීය.

කාන්තිමත් පෙනුමකින් යුත් නිල් පැහැති ඇස් යුවලක් හිමි කාන්තාවද බොහෝ සම්පත් ලබයි. දිලිසෙන කුඩා ඇස් ඇත්තාවූද, මධ්‍යම ප්‍රමාණයේ සියුම් ඇහිබැමි හා ඇහි පිහාටු හිමි කාන්තාවද වාසනාවන්තය. පෙනෙන නොපෙනෙන තරමේ වපරය ඇති කාන්තාවද යහපත්ය. විවාහයෙන් පසු සැමියා ධනවත් වේ. පිඟුවන් ඇස් හා සිනාසෙන කල්හි වළ ගැසෙන දෙකොපුල් ඇති අයද රළු, පරළුහඬ, රළු ඇස් හා නාසිකා, අතිශයින් තුනී වූද දත් පිහිටීම යන මෙම ලකුණු ඇති ස්ත්‍රීන්ට ආයුෂ හා ධන සම්පත් හීනවේ. කාන්තාවන්ගේ දසන් කවියෝ මුතුවලට සම කළහ. සුදු පැහැති එවන් ලස්සන දත් දෙපළක් ඇති ලලනාවන්ගේ සුදුසු සිනහව සෞභාග්‍යයේ සංකේතයක් වෙයි.

 

 

ඡ්‍යොතිෂවේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.