ඔබේ දෙනෙත් කියන කතාව

ඔක්තෝබර් 6, 2023

ඇස අතිශයින්ම කාහටත් වැදගත් ය. ඇස නැත්නම් ජීවත් වෙලා කුමට දැයි කියැවෙන්නේය. මුහුණට ලස්සන ඇස් දෙකෙන් එයි. ඇසෙහි ලස්සනට වශීව ආවාහුට ඇස ගලවා දුන් උප්පලවණ්ණා මෙහෙණි කතාව මෙහිදී සිහිවෙයි.

පිරිමි පක්ෂයේ ඇස කියාපාන තතු බිඳක් බලමු. යම් පිරිමියකුට ගිනිපුළිඟු වැනි ඇස් වේ නම් ඒ ඉතා නපුරු පුද්ගලයෙකි. පැන පැන පළිගන්නා ක්‍රෝධයෙන් දැවෙන්නෙකි. රකුසකු බඳුය. යම් පිරිමියකුට සිහින් දිග ඇස් වේ නම් ඔහුගේ හදවත ඉතා මොළොක්ය. කරුණාබරය. මෛත්‍රී සහගතය. යම් පිරිමියකුගේ ඇස් දෙක නිල්පැහැ නම් ඔහු ධනවත් වන්නෙකි.

යමෙකුගේ ඇස් සාමාන්‍යයෙන් රතුපැහැ නම් ඔහු තේජස් සහිත අයෙකි. අනුනට අණසක පවත්වන බලයක් ලබන්නෙකි.

ඇතුන්ගේ මෙන් ඇස් වේ නම් ඔහු ද බලවත් අයෙකි. ඉතා ඉහළ තනතුරුවලට පත්වෙයි. මී මැස්සන්ගේ මෙන් ඇස් වේ නම් ධනවත් බවේ ලක්ෂණයකි. යම් පිරිමියකුගේ ඇස් කුඩා මෙන්ම ඇතුළට ගිලුණු ස්වභාවයක් වේ නම් ගතානුගතික අදහස් විනා නව අදහස් උසස් අරමුණු නොමැත්තෙකි. සම්ප්‍රදායානුකූල ජීවිතයක් ගෙවීමට බලවත්සේ පි‍්‍රයය. පහසුවෙන් වංචාකරුවන්ට හසුවේ. යම් පිරිමියකුගේ ඇස් ගැඹුරු ලෙස පිහිටා ඇත්නම් දූරදර්ශීව කටයුතු කරන, සමාජයේ අවධානය යොමු වන බොහෝ දැනුමක් ඇති උට්ඨාන වීර්යයෙන් යුක්ත වූවෙකි. ඇස් විශාල නම් අර්ථාන්විත කථා බහක් නොදනී. වාචාලයකු බඳුය. අවබෝධයක්, දැනුමක් නැත්තෙකි. පරෙවියකුගේ දෙනෙත් වේ නම් ඔහු රාගාධික කාමාධික පුද්ගලයෙකි.

ඇස් අඳුන් පැහැ ගන්නේ නම් ඔහු පොහොසතෙක් වේ. සුදු පැහැති ඇස් ඇත්නම් ඡ්‍යොතිෂය පිළිබඳ බලවත් ආසා ඇත්තෙකි. විචාරශීලි පුද්ගලයෙකි.

කාන්තා පක්ෂයේ ඇස් ගැන බලමු

යම් කාන්තාවකට නිල් පැහැති ඇස් වේ නම් එබඳු කාන්තාව සැමියාට මහඟු සම්පතකි. සැමියාට සෞභාග්‍යය ළඟා කරයි. අඩවන් දෙනෙත් ඇති කාන්තාව සැමියාට දක්වන්නේ පුදුම ආදරයකි.

ඉදිරියට බෙහෙවින් මතුවී ඇස් ඇත්නම් එසේම එය තරමක විශාලනම් ඇය වැන්දඹු බවට පත් වෙයි. සමහර ස්ත්‍රීන්ගේ ඇස් කුඩා සහ අඳුරු පැහැ ගනී නම් ඇය තුළ තන්හාව නිරතුරු ඉස්මතු වෙයි. කාන්තාවගේ ඇස වපර නම් අවාසනාවන්ත ස්ත්‍රියකි. විවාහයකට එළඹීමද අපහසු කරයි. දකුණු ඇස වපර නම් එබඳු ස්ත්‍රියක විවාහ වුවද දරුඵල නොමැති වෙයි. වම් ඇස වපර නම් යහපත් ගතිගුණෙන් දුරුවූ විෂමාචාර ගති ඇත්තියකි.

නිතරම සෙලවෙන චලනය වන කරකවන ඇසින් බලන ස්ත්‍රින්ද යහපත් උදාර ගතිගුණ දක්නට නොමැති විෂමාචාර ගති පැවැතුම් ඇත්තියකි. උස් තියුණූු ඇස් ඇති ස්ත්‍රීය නිරන්තරයෙන් කෝප සහගත චේතනාවෙන් පසුවෙන්නීය. සිහින් දිගු ඇස් වේ නම් ඇය ඉතා කාරුණිකය. මුදුමොළොක් ගතිගුණවලින් හෙබිය. කොබෙයියන්ගේ ඇස් මෙන් වේ නම් ඇය නිරතුරු ස්වාමිපුරුෂයා රවටන්නීය. ප්‍රයෝගකාරීය. ඇස පතුලට ගිලුණු ස්වභාවයක් වේ නම් ඇය තුළ ඇත්තේ මහා දුෂ්ට ගතිය. ඇස ඉහළට උස්වූ සේ නම් අන්‍යයන්ගේ කවරම අදහසක් නොඉවසන, තමන්ගේ අදහසම මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියා කරන්නියකි. රතු පැහැ යුතු ගිලුණු ස්වභාවයේ ඇස් ඇති ස්ත්‍රිය ස්වාමිපුරුෂයා සමඟ විසුවද ඔහු පි‍්‍රය නොකරයි. ස්වාමි පුරුෂයා නැසීමට පවා කල්පනා කරන්නියකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.