උපතට පණ දෙන මව්කිරි

සැප්තැම්බර් 22, 2023

දස මසක් පුරා සුරක්ෂිතව මවගේ කුස තුළ වැඩෙන දරුවා මෙළොවට බිහිවීමත් සමඟ පෝෂණය වන්නේ මවගේ කිරිවලිනි. දරුවෙකු මෙලොවට බිහිකරන සෑම මවකටම දරුවා පෝෂණය කිරීම සඳහා මව්කිරි නිපදවීමේ හැකියාව ලැබීම සොබාදහමේ අපූර්වත්වය කියාපාන කදිම නිදසුනක්.

මව්කිරි යනු ආහාරයක් පමණක්ම නොව එය ප්‍රබල ඖෂධයකි. මවගෙන් වෑහෙන පලමු කිරි හෙවත් කොලස්ට්‍රම් මගින් ළදරුවා ආසාදනවලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය වේ.

මවකගේ සිරුර තුළ මව්කිරි නිපදවෙන්නේ කොහොමද?

මවගේ මොළයේ පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය වීමෙන් ස්‍රාවය වන ප්‍රෝලැක්ටින් හෝමෝනය මඟින් කිරි නිපදවීම සිදුවේ. ප්‍රෝලැක්ටීන් හෝමෝනය ස්‍රාවය වන ප්‍රමාණය මත කිරි නිපදවීම තීරණය වේ.

දරුවා කිරි උරා බීම, මවගේ සිරුරේ ස්පර්ශය , දරුවාගේ හැඬීම ආදී හේතුමත ප්‍රෝලැක්ටීන් ස්‍රාවය වැඩිවේ. ඒ වගේම මවගේ වේදනාව, අසතුට, සෘණාත්මක සිතුවිලි මේ හෝමෝනය ස්‍රාවය අඩුවීමට හේතුවේ.

දරු ප්‍රසූතියෙන් පසු පැයක් ඇතුළත ළදරුවාට මව්කිරි ලබා දීම සිදු කිරීම ඉතාම වැදගත්.

අලුත උපන් ළදරුවකු දිනකට වාර 8 - 10 කිරි උරා බොන අතර බොන කිරි ප්‍රමාණවත් බවට හොඳම සාධකය වන්නේ දරුවා වාර හත අටක්වත් දිනකට මුත්‍රා පිටකිරීමයි. එසේම දරුවාගේ වර්ධන සටහනේ බර වැඩිවීම අනුව නිසි පෝෂණයක් සිදුවනවාද යන්න පිළිබඳව දැනුවත් විය හැකියි.

දරුවාට මාස හයක් සම්පූර්ණ වන තුරු මව්කිරි පමණක් ලබාදිය යුත්තේ ඇයි?

අලුත උපන් ළදරුවාට මාස හයක් සම්පූර්ණ වන තෙක් වර්ධනයට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ මව්කිරිවල අඩංගු වේ. හොඳීන් මව්කිරි ලබාදීම මඟින් දරුවාට අවශ්‍ය ජලය ද ප්‍රමාණවත් ලෙස ලැබෙන නිසා දරුවාගේ මුල් මාස හය තුළ ජලය හෝ වෙනත් අමතර දියර වර්ග ලබාදීම කිසිසේත්ම අවශ්‍ය නැත.

මව්කිරිවල සංයුතිය ගැන සඳහන් කළොත් ඝණත්වයෙන් අඩු අවර්ණ ද්‍රාවණයක් ලෙස බිළිඳාට මුලින්ම ලැබෙන මව්කිරි වල 90% ක ප්‍රමාණයක්ම පවතින්නේ ජලයයි. දෙවනුවට ශ්‍රාවය වන සුදු පැහැති කිරි ඝණකමින් යුතු අතර දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය සඳහා මේදය සහ ප්‍රෝටීන සපයයි.

මව්කිරිවල ලැක්ටෝස් සහ ලිපිඩවලට අමතරව ඔලිගොසැකරයිඩ වර්ග අන්තර්ගත වී ඇත. මේ ඔලිගෝසැකරයිඩ සුවිශේෂී සංඝටක වර්ගයක් වන අතරම, ළදරුවාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කිරීමට ද සැමවිටම සහය වේ.

මවගේ රුධිරයෙන් නිපදවෙන ජීවී දියරයක් වන මව්කිරෙහි රුධිරගත රතු රුධිරාණු හැර සුදු රුධිරාණු ඇතුළු අනෙකුත් ජීවී සෛල සියල්ල අන්තර්ගතය.

මවගේ පියයුරෙන් මුලින්ම ශ්‍රාවය වන කොලෙස්ට්‍රම් ළා කහ පැහැති ඝනකම ශ්‍රාවයකි. මෙය ශ්‍රාවය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වුවත් ළදරුවා ඒ හරහා ලබාගන්නා පෝෂණය සහ රැකවරණය ඉතා ඉහළයි.

මව්කිරි දීමෙන් මවට සහ දරුවාට ලැබෙන වාසි මොනවාද?

මව්කිරි දීමෙන් මවත් දරුවාත් සතුටෙන් තබන අතරම මව සහ දරුවා අතර බැඳීම වැඩි කරයි. දරු ප්‍රසූතියෙන් පසු මවගේ රුධිර වහනය අවම කරන අතරම පසු ප්‍රසූති සමයේ මවට ඇති විය හැකි මානසික ව්‍යාකූලතා අවම කරයි.

මවට පසුකාලීනව ඇතිවිය හැකි පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා සඳහා ඇති අවදානම අවම කරයි. ගැබ් ගැනීම් ප්‍රමාද කරයි.

ළදරුවා අධික තරබාරුව, දියවැඩියාව වැනි බෝ නොවන රෝග තත්ත්වයන්ගෙන් වළකින අතර ශාරීරිකවත් මානසිකවත් හොඳ පෝෂණයක් ලබයි. ඒ වගේම ආසාත්මිකතා හට ගැනීමට ඇති අවදානම ද අවම වේ.

විටමින් ඒ බහුල කොලෙස්ට්‍රම් දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කර බෝවන රෝගවලින් ආරක්ෂා කරයි. විරේකයක් ලෙසද ක්‍රියා කරමින් කලු පැහැති මළ සිරුරින් බැහැර වීම ඉක්මන් කර පිත්ත ලවණ අවශෝෂණය කරගැනීමට සහය වේ.

මව්කිරි වඩවන ස්වාභාවික ආහාර මොනවාද?

කිරිදෙන මවක් කෘත්‍රිම ආහාරවලින් තොර පෝෂ්‍ය ගුණයෙන් අනූන ආහාර ගැනීමට නිරන්තරයෙන් උනන්දු විය යුතුය.

ඒ සඳහා කිරි අඟුණ, තිත්ත අඟුණ, ජපන් බටු, කිරිහැන්ද වැනි පළා වර්ගද කරවිල, මුරුංගා, වට්ටික්කා, නෙළුම් අල, කොස්, පොළොස්, කෙසෙල් මුව වැනි එලවළුද බතල, රාජ අල වැනි දේශීය අල වර්ගද සූදුරු, උලුහාල්, කොත්තමල්ලි, කුරුඳු, සුදුළූණු, රතු ළූණු වැනි කුළුබඩුද කොල්ලු, කුරක්කන් , හබල පෙති, කිරි ආහාර, අලුත් මාලු සහ නිවුඩ්ඩ සහිත බත් ඉතාම ගුණදායකයි.

පෝෂණීය ආහාර වේලක් සමඟ ජලය යහමින් පානය කිරීමත් මව්කිරි නිෂ්පාදනය සඳහා ඉවහල් වේ.

 

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.