මුෂ්ටි නැතිව පවසමි අද තෙලේ බලේ

(නාරානන්දන ශ්‍රී විෂ්ණු රාජ තෛලය)
සැප්තැම්බර් 15, 2023

වසර දහස් ගණනකට වැඩි ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකාද්වීපයේ අතිශය වටිනාකමකින් යුත් බැහැර කළ නොහැකි වූ ශාස්ත්‍රීය විද්‍යාවන්ගෙන් පූරණය වූ නිජබිමක් ලෙස පෙන්වා දිය හැකිය. එවන් වූ හෙළ දීපයේ පැවතී වෛද්‍ය ශාස්ත්‍රය, ගුප්ත ශාස්ත්‍රය සහ සංස්කෘතියට අතිශය වටිනාකමක් තිබූ බව අතීතයේ රජදරුවන් විසින් ලියනා ලද පතපොතවල මෙන්ම ලංකාවට සපැමිණි විදේශිකයන් විසින් ලියනා ලද බොහෝ වර්තාවලට අනුව පෙනී යයි.

දේශිය වෙදකමත්, ගුප්ත ශාස්ත්‍රයත්, සංස්කෘතියත් අතිශය දියුණු මට්ටමක ලංකාව තුළ පැවති බව සඳහන් වීමද අප ලැබූ භාග්‍යයකි.

එලෙස වෛද්‍ය ශාස්ත්‍රයත් ගුප්ත ශාස්ත්‍රයත් එකතුව සැකසුම් ලද බොහෝ වටිනා ඉපැරැණි වර්තමානයේ කිසිවකුත් නොදන්නා ගුප්තමය දිව්‍ය ඖෂධ අදටත් නොනැසි පවතින්නේ ඒවායේ ඇති ආනුභාවයක් නිසා විය හැකිය. එලෙස සැඟව ගිය ලාංකේය ඉතිහාසයේ ජනප්‍රවාද සහ පුරාවෘත්තවලට බොහෝ සේ හිමිකම් කියන “රහස් තෛල භෝක්ශාවලියන්’ ගැන අප විමසුමකට ලක් කර බලමූ.

වර්තමානයේ බොහෝ දෙනකු දන්නා සුප්‍රසිද්ධ මෙන්ම අතිශය වටිනාකමකින් හෙබි රදළ ධනපති පන්තියේ නිතරගයෙන්ම වැජඹෙන “හෙනරාජ තෛලය” සහ “මහා රාජතරංගනී තෛලය” ගැන අප සියලු දෙනාම හොඳින් අසා තිබෙන්නෙ එය එතරම් ජනතාව අතර නිතර කතා බහට ලක්වන ප්‍රචලිත ඖෂධීයමය ගුණයක් මෙන්ම ගුප්තමය ශක්තීන් සහිත තෛලයක් නිසාවෙනි. එහෙත් ඔබ නොදන්නා කරුණක් නම් එම වටිනා යයි කියන දුර්ලභ තෛලයන්ද පරයා යන තෛල වට්ටෝරු රැසක් තවමත් ඉතුරුව ඇති බවය.

උදාහරණයක් ලෙස

* සර්වලෝක චින්තාමාණික්‍ය තෛලය නොහොත් සිතූ පමණින් පැතුම් ඉටුකරන මාණික්‍ය බඳු තෛලය.

* සකල කලා වල්ලභ තෛලය නොහොත් සියලූ කලාවන්ටම උරුමය බඳු තෛලය.

* තිලෝගුරු මුණිභද්‍රරු ඝටක තෛලය

* හෙන දසඅට තෛලය

* රජත මහා රවුළු රාජ තෛලය

* හෙනරාජ තෛලය

* රාජතරංගනී තෛලය

* රාජ හත නොහොත් රාජ කේතකී තෛලය

* බ්‍රහ්ම රාජ තෛලය

* නාරනන්දන ශ්‍රී විෂ්ණු රාජ තෛලය

* මහා බල විෂ්ණු රාජ තෛලය

* ඊශ්වර පාද තෛලය

* වෙසමුණි රාජ තෛලය

* සත්දිව්‍ය රාජ තෛලය

* දේවරාජ තෛලය

* ගුරුළු රාජ තෛලය

* යක්ෂ භූත තෛලය, යක්ෂ දූවිලි තෛලය, මහා මාතාංගේශ්වරී තෛලය, මහා සරස්වතී තෛලය, බ්‍රහ්ම සරස්වතී තෛලය වැනි නම් නොකියූ එහෙත් බොහෝ දෙනා වර්තමානයේ නොදන්නා වටිනා දිව්‍ය ඖෂධ තෛල වර්ග රැසක් තවමත් නිරුපද්‍රිතව පවතී. එලෙස වට්ටෝරු සහ තෛලයන් පිළිබඳව එකින් එක සියලු ලංකා වාසීන්ගේ දැනීමටත් දේශීය වෛද්‍ය චිකිත්සාවේ මතු උන්නතිය උදෙසාත් සියලු දෙනාගේ ඉගෙනීමටත් බාහිර දැනුමක් එකතුකර ගැනීමටත් අතීතයේ ලාංකේය සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ දැනුමක් ලබා ගැනීමටත් මේ කරුණු කාරණා ඉතාමත් භක්ත්‍යාදරයෙන් සුබසෙත වෙත පුද කරලන්නෙමි.

එලෙස මේ තෛල ඛාණ්ඩයන්ගෙන් අදටත් නොනැසුණු සම්බුද්ධ ශාසනය රකිනු ලබන මාතර දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ මහානූභාව සම්පණ්න නාරනන්දන ශ්‍රී විෂ්ණු රාජ තෛලය උන් වහන්සේට උපහාරයක් පිණිස පළමු කොට ලියා පළ කරලන්නෙමි.

දකුණු පළාත ගත් කල, මාතර දෙවිනුවර ප්‍රදේශය ඉතාමත් ප්‍රසිද්ධ වනූයේ වෙද හෙදකම, යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර, සහ කෘෂිකර්මාන්තය වැනි ශාස්ත්‍රයන්ටය. ඒ වාගේම ඓතිහාසික වශයෙන් ද පෙර විසූ ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කළ වීරෝදාර හෙළ දරුවන් සහ ප්‍රාදේශීය පාලක දෙවිවරු ජනිත වී ඇත්තේද මේ ප්‍රදේශයෙන්ය. ලක්දිවට වැඩම කළ උතුම් දෙවිවරුන්ද පළමුව ගොඩ බැස ඇත්තේ මේ ප්‍රදේශයන්ට වීම මහත් පුදුම සහගත කාරණාවක් වන්නේ “ දෙවියන්ගේ අගනුවර නොහොත් දෙවියන්ගේ දොර සහිත නුවර දෙවුන්දර, දෙවිනුවර නමින්ද මේ නුවර ව්‍යවහාර වන නිසාවෙනි. මෙලෙස පෙර විසූ හෙළ දරුවන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේත් කතරගම දෙවියන්ගේත් විවිධ දෙවි දේවතාවුන්ගෙත් සහ යක්ෂයන්ගෙත් උදවු උපකාර ලබාගත් බව අප විවිධ කතාවලින් අසා ඇත. එයට උදාහරණ ලෙස (දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ බෑණනුවන් වන වීරබාහූ කුමාරයා) ක්‍රි.ව.1247දී ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණි මැලේ ජාතික චන්ද්‍රභාහු නම් ආක්‍රමණිකයා සමඟ යුදවැදී. යුද්ධය දිනීමටත් උත්පලවර්ණ දෙවියන්ගේ නොමඳ සහාය ලබාගෙන ඇත. පණ්ඩිත පරාක්‍රමබාහු රජූ ඒ වනවිටත් වික්කල කක්කල් රෝගයකින් නොහොත් උගුරේ ගොතයකින් පීඩා විදි අතර “දෙල්ගස්ගමුවේ දුකේවතු වංශාභිජාතක දේවපතිරාජ”මහා සෙනෙවි යවා වික්කල රෝගය සුව කරන ලෙස උත්පලවර්ණ දෙවියන්ට භාරයක් වූ අතර උත්පලවර්ණ දෙවියන් සිහිනෙන් දේවපතිරාජ සෙනවි හට පෙනී සිටමින් “කෙකටිය මලේ වක දිග හැරියද රජුන්ගේ වික්කල රෝගය සුව නොවනු ඇති බව” ප්‍රකාශ කළ අතර රජුන් තමාට ඇත්තේ කර්මානුරූපි රෝගයක් බව තේරුම් ගෙන තමන් කෙරෙහි උපුල්වන් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බව දැන දෙවියන් තමා වෙනුවෙන් පෙනී සිටි බැවින් සතුටට පත්විය. එයට තුටු පඬුුරු පූජා වශයෙන් උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් හට එම වසරේ ඇසළ පූජා මංගල්‍යය රජුන්ගේ අනුග්‍රහයෙන් කරවූ බවත් එංගලන්ත කෞතුකාගාරය සතු හියුනෙවිල් විසින් ගෙන යන ලද “අලුත් නුවර දේවාලය කරවීම” පුස්කොළපොත චාල්ස් ගොඩකුඹුරේ මහතා විසින් කියවා ඇති ලේඛන වාර්තාවේ මෙසේ සඳහන් වේ.

“කෙකටිය මලේ වක හැරුණත් තොපගේ රජ්ජුරුවන්ගේ බසෙහි වික්කලූ නොහැරෙයි.......”

“අපගේ පූර්ව ජාතියෙහි විපාක දී ශේෂව සිටි අකුශලය දැන් කොයි පනතේ උත්සාහ කළත් සාන්ත නොවන රඟ දෙවිරජ්ජුරුවාණන් වහන්සේ පෙන්නුවා මහත් වූ උපකාර යෙහෙකැයි වැඩිමනත් පැහැද.....”

“එම අවුරුද්දේ ඇසළ පූජාවේ පෙරහර පුද ඕලොක්කම් ආදී වූ සියල්ලක්ම අපගේ නාමයෙන් පවත්වාලයි දෙවිනුවර ගමන් කරවූ.....” ලෙස සඳහන්ව ඇත.

ඒ වාගේම,

ක්‍රි.ව 1344 - 1359 යන කාල සීමාවේ ගම්පොළ රාජධානියේ සිට ශ්‍රී ලංකාද්වීපයේම රාජ්‍ය පාලනය කළ දැතිගම්පුර පස්වැනි පැරකුම්බා රජු දවස තිසර සංදේශ නිර්මාණය වන අතර රජු තම මවත්, ඇමති මණ්ඩලයත් ආරක්ෂා කරවා දෙන ලෙස ඉල්ලා දෙවිනුවර වැඩ වසන උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලීම උදෙසා තිසර සංදේශය කරවීමද,

එම 14වැනි ශතවර්ෂයේදීම රචිත මයුර සංදේශය තුළින් ශාසනය රැකුමටත්, සතුරන් පරාජය කොට 5වැනි බුවනෙකබා රාජයන්ද එතුමාගේ දේවියද, අලගක්කෝනාර-වීරබාහු-දේවමන්ත්‍රී යන තුන්බෑයන්ද අගම්පඩි සෙනඟගු-නගරම් සිටු- ගජනායක මැති- සනහස් මැති හා ධර්මකීර්ති මාහිමියන් ඇතුළු මහා සංඝයාද රක්නා ලෙස මයූරයා ලවා උපුල්වන් දෙවිඳු අයැද සිටීම යන කාරණා රැසකට උපුල්වන් දෙවියන්ගේ උදවු ඉල්ලා ගුත්තිල පඩිතුමන්ගේ ගෝලයකූ වූ කවීශ්වරයාණන් විසින් මයුර සංදේශ කරවීමද,

ක්‍රි.ව 1440 - 1480 අතර ශ්‍රී ජයවර්ධනපුර රාජ්‍යයේ වැඩවසමින් ලංකාද්වීපය පාලනය කළ ආර්‍ය චක්‍රවර්තී රජුන් පරදා ජයගත් සපුමල් කුමාරයා තම රට වැසියනුත්, ඇමති මඬුලු, සේනාවටද සන්හස් බෝදිනායිනා කැමිඳුනට උපුල්වන් දෙවියන්ගේ ආරක්ෂාව ලබා දෙන්නයි ඉල්ලා ඉරුගල් තිලක පරිවෙනාධිපති හිමියන් විසින් රචිත කෝකිල සංදේශය කරවීමද,

ක්‍රි.ව1430-1440ත් යන කෝට්ටේ රාජධානි සමයේ ලංකාද්වීපය පාලනය කළ සයවැනි පැරකුම්බා රජු විසින් තම දියණිය වන චන්ද්‍රාවති දේවියට ගුණ ගරුක ස්වාමී පුරුෂයකූ සොයා දෙන්නැයි කියා ඉල්ලීමක් උපුල්වන් දෙවියන්ගෙන් සිදු කරන අතර රාහුල ස්වාමීන් විසින් විසින් එය අල්ලා පරවි සදේශය රචනා කරවීමද, යන කරුණු කාරණා මඟින් දෙවිනුවර වැඩවසන උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ආනුභාවය රාජ රාජ මහාමාත්‍යාදින්ද නිතොර දීම ලැබූවායි පෙන්වා දිය හැකිය.

එලෙස දෙවියන්ගේ පිහිට ලැබූ බොහෝ රජවරුන් මාහාමාත්‍යාදීන් සහ බොහෝ අයවලුන්ද ඉතාමත් රහසිගත ලෙස විවිධ ශාස්ත්‍රීය ක්‍රම ඔස්සේ උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ උපකාර ලබා ගෙන ඇත. ඒ ලෙස පෙර විසූ මහා රජ වරුන් රහසිගතව භාවිත කළ විෂ්ණු දෙවියන්ගේ ගුණබල සහ සම ඇති මහානූභාව ශ්‍රී විෂ්ණූ රාජ තෛලයද මේ ඉතිහාසය අතර රහසේ වර්තමානය දක්වා දිව එන්නට විය.” විෂ්ණූ දෙවියන්ගෙන් උපකාර ලබා ගැනීමට” රජවරුන් විසින් මේ තෙල භාවිත කළ හෙයින් මෙය විෂ්ණු “(රාජ) තෛලය”ලෙස හදුන්වා දී ඇත.

මේ කාරණා සඳහන් පෞරාණික පොත පතෙහි (බේබිසිංඤෝ මහතාගේ පුරාණ දෙවිනුවර පොත සහ දෙවිනුවර පාරම්පරික පුස්කොලපොත් වල)ද මේ කාරණා මනා ලෙස සංග්‍රහ කර ඇත.

“මේ තෛලය ළඟ ඇති අයෙක් වී නම් ඒ තොමෝ දෙවියන් හා සමාන වන්නේය, දෙවියන්ගේ මහා බැල්ම ලැබෙන්නේය, දේව/නර/යක්ෂ/ඇත්/අස්/ගව/මහීශාදීහූන්ද මෙම තෛලය ඇති අය ඉදිරියේ හිස නොඋස්සන්නේය. යුදයට රණ වික්‍රමයා වැනි, අසුරයන්ට ගිනි මෙනි, විනයට දුහුල් වැනී, බලයට රජ වැනි බලයක් වන්නේ හෙතෙම මේ තෛලය දෙවිනුවර ශ්‍රී විෂ්ණු දෙවියන්ගේම වන බැවිනි යන්නයි” ඒ වාගේම දේශීය වෛද්‍ය විද්‍යාවට අයත් බෙහෙත් තෙල් වර්ගත් ශ්‍රී විෂ්ණු දෙවියන් නමින් හඳුන්වා ඇත. වටිනා දුර්ලභ තෛලවල උඩින්ම ඇති “රාජ තෛල ඛාණ්ඩයේ” ඉතාමත් වටිනා උසස්ම තෛලය ද මෙය වේ. දෙවිනුවර පෞරාණික පරම්පරාගත වෛද්‍යවරුන් හා භූත වෛද්‍යවරුනුත්,කරන්දෙණිය මහදුරගේ අප පරම්පරාවත් අතර අති රහසිගතව තබාගෙන පාවිච්චි කළ අති දුර්ලභ තෙල් වට්ටෝරුවකි.

නාරනන්දන ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජ තෛලය

මේ තෛලයේ බල අපමණය මෙමඟින් යකුන්ගෙන්ද වැඩ ගැනීමට හැකිතරම් බලවත් බව දැන ගත්තේ ඉපැරැණි ලේඛනවල ඇති සටහන් වලින්ය. මේ වන විට විවිධ පොත පතෙහි විවිධ ආකාරයෙන් මේ තෛල වට්ටෝරු ලියා සදහන් කර ඇත. එහෙත් බොහෝ ඒවා සමාන වුවත් බොහෝ වෙනස්කම්ද ඇත. එලෙස සදහන් වූ මේ තෛලය හුදෙක් තවත් එක් ඉතිහාසයක්ම වීමට නොදී එය එලෙසම පුස්කොළ පතෙහි තිබු ආකාරයටම ලීවීමට සිතා ගත් හෙයින් මෙය උතුම් ශ්‍රී විෂ්ණූ දෙවිදුන්ට ඇති දැඩි භක්තය නිසාවෙන් මෙලෙස සියලු ලෝ සතුනට පූජා කරන්නෙමු. ඒ වාගේම මෙහි එන තෛලය මිස එහි බල ගැන්වීම් පිළිබඳව, ඖෂධ ලබා ගන්නා ආකරය හෝරාවන් නැකත් මාරණ සීට්ටූ කාලයන් පිළිබඳ නොලියන අතර එය ඉදිරි ලිපිවලින් ලබා දෙන්නෙමි. එලෙස කිරීමට සිද්ධ වනුයේ පළමුව සුළු හෝ දැනුම් පද්ධතියක් සැකසී තිබිය යුතු නිසාවෙනී. මෙය ඓතිහාසික රහසිගත කරුණක් හෙයින් රහසිගත ආකාරයටම එය ලියන්නෙමු. (මෙය හුදෙක් එක් ශාස්ත්‍රීය කරුණක් මිසක අත්හදා බැලිමක් නොවන බව තරයේ පැවසිය යුතුය.

ඒවාගේම මෙවැනි තෛල අත් හදා නොබලනා ලෙසත් එයින් විපාක තමාටම අත් විදිය හැකි බවත් එම පත පොතහි ගුරුන් විසින් ලියා තබා ඇත.

මෙහි ගුණනම්,

*දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ලැබේ.

*රාජ ශ්‍රීයාව ඇතිවේ.

*ශරීරය පුෂ්ඨිමත් වේ. වෛශ්‍යා සම්පත්‍ති වේ.

*නඩුහබ දිනීමටද ජයග්‍රහනයන්ටද සුබ පල වේ.

*අණවින,කොඩිවිණ,රුපුරු යක්ෂ,ප්‍රේත,පිසස් බහිරවාදී දොස් දුරු කිරීමටද.

*ඇස්වහ,කටවහ හෝවහ නොම වේ.

*දියුණුව,ශ්‍රියාව,වෛශ්‍යා,කල එළි වේ.

*වින බන්ද දොස් කිරීමට නොහැකි වේ.

*ලෙඩ දුක් පහ වේ.

*නවග්‍රහා දෝෂ දුරුවේ.සෙනසුරු සහා රාහුගේ නීච අපලයන්ට සූර්‍යා මෙනි.

*ආරක්ෂාව ඇති වේ.

*දේව දෝස විරසක දේව භය නොම වේ.

*ඉගෙනීමට බුද්ධිය වැඩීමටද වික්කල(ගොතයට) යහපති.

*වා පිත් ශ්ලෙශ්මලාදී තුන් දොසෙන් ආ රෝග නිවාරණයට අතිශ්‍ය යෝග්‍ය සම්පන්න වේ.

බොහෝ දේට යහපත් වේ.

(දෙවිනුවර කරන්දෙණිය මහදුරගේ වෛද්‍ය පරම්පරාව සහ වික්‍රමසිංහ මහමුදලි පරම්පරාව සතුව ඇති පෞරාණික පුස්කොළ ග්‍රන්ථවලත්, කරන්දෙණිය මහදුරගේ ඉන්දෝරිස් මහාමුදලි නොහොත් මාතර මහා යක්දෙස්සා ගුරුන්නාන්සේගේ අත් පිටපත් සහ දින පොත් වාර්තා වලත්,බේබිසිංඤෝ මහතා විසින් රචිත “දෙවිනුවර පුරාණය” නම් පොතෙනුත්, දෙවිනුවර සමරසේකර අබේගුණවර්ධන වෙද පරම්පරාවේ අත්පිටපතෙනුත් ඇසුරෙන් හොදින් සෝදුපත් කියවා උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවිදුන් වහන්සේටත් පරපුරේ සියලුම දෙනාට පිං ප්‍රාර්ථනා කොට මේ තෛල වට්ටෝරුව ගුරුමුෂ්ටියකින් තොරව ලියන ලදී. මේ තෛලය සැකසීමේදී එයටම අදාළ මන්ත්‍ර දිෂ්ටි ප්‍රාණ බන්ධන ජීවම් සහා ඖෂධ ගන්නා දින වේලා නැකත් මාරණ සීට්‍ටුවලියක් ඇති අතර එය පිළිබඳව නුදුරේදීම ලිපියකින් සම්පූර්ණයෙන් කියා දෙන්නෙමු. මෙකී දේවල්ද නොමැතිව තෛලය සම්පූර්ණ නොවේ.

 

මෙවැනි අතිශය වටිනා තෛලය වට්ටෝරු සහිත ඉතිහාස කතා පුවතක් ලබන සතියේද බලාපොරොත්තු වන්න.

 

 

 

දේශීය පාරම්පරික ආයූර්වේද වෛද්‍ය (ශිෂ්‍ය) කරන්දෙණිය මහදුරගේ

පසිඳු දේශාන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.