මුහුණ රහස්

සැප්තැම්බර් 15, 2023

පිරිමියකු හෝ ගැහැනියක දෙස බලන කල්හි පළමුව නෙත දිව යන්නේ මුහුණ දෙසටය. සුරූපී ප්‍රසන්න මුහුණක් වී නම් ඔහු හෝ ඇය වෙත වඩ වඩාත් ආකර්ෂණීය ලෙසින් නෙත් යොමනු ඇත. විරූපී මළානික මුහුණක් නම් එබන්දකු දකින්නට අකැමැතිය. මේ නිසා කවුරුත් මුහුණ ලස්සනට තබා ගැනීමට උත්සුක වෙති. පුරුෂයකු හෝ කාන්තාවකගේ ගති ලක්ෂණ මුහුණෙන් කිව හැකිය. ඔබගේ චරිතය මුහුණ දැක්කම කියන්න පුළුවන් යනු කතාබහේ වඩාත් ප්‍රචලිතය.

 

පිරිමි මුහුණ

 

සාමාන්‍ය ප්‍රමාණයට වඩා පළල් වූ මුහුණක් ඇති පුද්ගලයා අන්‍යයින්ගේ උපදෙස්, අවවාද පිළිබඳව කිසිදු තැකීමක් නැති හිතුවක්කාර ගතිගුණවලින් හෙබි චරිතයකි. තමන් සතු කරගන්නේ යමක් ද ඒ කරා ළඟාවීමට ඕනෑම දෙයක් කරන හිතුවක්කාර චරිත ලක්ෂණ පළල් මුහුණක් ඇත්තා තුළ වෙයි. ලාභ ප්‍රයෝජනව පිළිබඳව සිතන්නේ ය.

බොහොම ලස්සන වටකුරුව මනාව පිරුණු මුහුණක් ඇති පුද්ගලයා කරුණා, දයා මුදු මොළොක් ගතිගුණවලින් හෙබිය. සමාජශීලි කාගේත් පි‍්‍රයශීලිත්වයට ගෞරවයට පාත්‍ර වන මොහු පොත පත කියවීමේ ළැදියෙකි. බොහෝ දැනුම් තේරුම් ඇත්තෙකි.

යම් අයෙකුගේ මුහුණ සාමාන්‍යයෙන් දිගටි ස්වරූපයක් පෙන්වයි නම් එම චරිත ස්වභාවය ප්‍රබල ආත්ම ශක්තියක් ඇත්තෙකැයි දනවයි. බොහෝ සේ සිතා මතා ඉතා දූර දර්ශීව කල්පනා කොට තීන්දු තීරණ ගන්නා මොහු ඕනෑම අභියෝගයකට මුහුණදීමේ අපූර්ව ශක්තියෙන් හෙබිය. බොහෝ කරුණු කාරණා දත් මෙවැන්නෝ ආගම දහමට පි‍්‍රය වෙති. සමාජයට වැඩදායි පුද්ගලයකු විනා සමාජයට කරදරකාරී නොවන්නෙකි. ඇතැම් අයකුගේ මුහුණ සාමාන්‍ය ප්‍රමාණයට වඩා බොහෝ කුඩාය. එබන්දෝ ඉක්මන් ක්ෂණික තීරණ ගනිති. දුරදිග නොබලා ක්‍රියාකරන මොවුහු ගන්නා අදූරදර්ශී තීරණ නිසා අපහසුතාවට ලක් වෙති. අනාගතයක්, ඉදිරි කාලයක් ගැන නොසිතන මොවුහු ජීවිතයක් සාර්ථකව ගෙන යන්නේ කෙසේද යන්න ගැන වැටහීමෙන් තොර වූවෝ ය.

සමහර විට පිරිමි මුහුණ කම්මුල් වල ගැසුණු ඇතුළට එබුණු ස්වභාවයක් වෙයි. කතා කරනවිට සිනාවනවිට කම්මුලේ වළ ගැසුණු ස්වභාවයක් පෙනේ. මෙබඳු මුහුණු එතරම් පි‍්‍රය නැත. තම මතයට පමණක් කටයුතු කරන පුද්ගලයෙකුගේ ස්වභාවය මේ ලක්ෂණයෙන් හැඟවේ.

 

ගැහැනු මුහුණ

 

මුහුණ සම්බන්ධයෙන් කාන්තා පක්ෂය දෙසට හැරෙමු. බොහොම ලස්සන මසින් පිරුණු වටකුරු හැඩයෙන් යුත් මුහුණක් ඇති ස්ත්‍රිය දැකීමට පි‍්‍රයය. හොඳ ස්වාමිපුරුෂයකු ලැබීමේ භාග්‍ය මෙබඳු කාන්තාවට ඇත්තේ ය. ස්වාමියා දිරිමත් කරන දිරිය කතකි. කිසි විටෙකත් සැමියාගේ සිත් වේදනාවට පත්වන යමක් නොකරන ඇය ඇසුරු කරන්නන් සමඟ සතුටින් පී‍්‍රතියෙන් සිනහවෙන් ගත කරයි. අවස්ථාවෝචිතව සුදුසු ක්‍රියා මාර්ග ගැනීමේ ශක්තියෙන් යුක්තය. සමාජයේ වැදගත් තැනක් හිමිකර ගනියි.

ඇතැම් කාන්තාවන් කතා බහ කරනවිට සිනහවෙන විට කම්මුල ඇතුළට ගිය ස්වරූපයක් පෙනේ. එබඳු පිරිමි මුහුණ මෙන්ම මෙම ගැහැනු මුහුණද කෙනෙකුගේ දැක්මට පි‍්‍රය නැත. ඇය යමෙක් හා කතාබහ කරන්නේ තමන්ගේ අදහස් ඉටු කර ගන්නටය. කාමුක හැඟීම් බලවත්ය. කපටිය. එල්ලා වැටුණ ස්වරූපයේ මුහුණක් ඇති කාන්තාව අවාසනාවන්තය. තමන් කරන්නේ කුමක් ද කියා නිසිලෙස තීන්දු තීරණ ගත නොහැකි මෙබඳු ස්ත්‍රිය ඉතා ක්ෂණිකව කිපෙයි. ගරු කළ යුත්තන්ට ගරු කිරීම ආදී ගති සිරිත් ඇය නොදන්නා තරම්ය. සමහර ස්ත්‍රීන්ගේ මුහුණ උල් ආකාරයක් ගනී. ධෛර්යයසම්පන්න මැය ඉතා ප්‍රයෝගකාරීය.

දිගු හැඩ මුහුණක් ඇති කාන්තාව ආත්මාර්ථය නොහඳුනන්නෙකු මෙනි. ප්‍රදේශයේ සියලු සමාජසේවා කාර්යයන්හි පුරෝගාමීත්වය දරයි. ඉතා කඩිසර, ක්‍රියාශීලි, කාරුණික මැය පොතපතට ළැදිය. රැවුල් ගස් සහිත මුහුණක් කාන්තාවක් සතු වීම මූසල කාන්තාවක් ලෙස සමාජයේ පිළිගනු ලබයි. අවාසනාවන්ත මෙබඳු ස්ත්‍රිය නිරතුරු කෝපයෙන් පෙළෙන්නේය. දිළිඳු වන්නීය. මුහුණෙ හැඩය බලා ගති ලක්ෂණ කියාපෑමට යාම සියයට සියයක්ම නිවැරැදි නොවේ. හරියටම නිශ්චිතව ස්ථිරව මේ ලෙසයැයි කීම පහසු නොවේ. ඔබගේ අත්දැකීම් මත මේ ගැන විමසිලිමත් විය හැකි ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.