ලක්ෂ්මි වන්දනාවට - අඹුසැමි සමඟියට - විවාහ ප්‍රමාද අය ඇතුළු සුබ ප්‍රාර්ථනාවලට

සැප්තැම්බර් 29 සුවිශේෂී දිනයක් කරගනිමු
සැප්තැම්බර් 8, 2023

 

සිංහල උමා ඡ්‍යොතිය තුළ ප්‍රධාන වශයෙන් ගැනෙන ගණිතමය සාධක තුනෙකි. ඉර, හඳ සහ පොළොවයි. සත්‍ය වශයෙන්ම වේදාන්ත දර්ශනවලදී ද මේ තුනම ප්‍රධාන වූයේ නමුදු ඉර සහ සඳ ගැන සාකච්ඡාව මිස පොළොව පිළිබඳ සාකච්ඡාව ප්‍රකට නොවේ. කෙසේ වෙතත් අපි චන්ද්‍රයාගේ දින දසුනෙහි විශේෂ අවස්ථා සාකච්ඡා කරමින් සිටිමු.

අමාවක සහ පෑළවිය ගැන පසුගිය සති දෙකෙහිම කතා බහ කරන ලදි. එය සන්ධියකි. සන්ධි ඇත්තේ නැවීමට සහ දිග හැරීමටය. මා මෙහි පවසන වාක්‍යය අතිශය සරලය. අතිශය ගැඹුරුය.

නැවීමට දිගහැරීමට නොහැකි සන්ධි තෙල් ගා සම්බාහනය කොට තැවීම්වලට බඳුන් කොට ප්‍රතිකාර කළ යුත්තේ ඊට නිසි ඖෂධ සංයෝග ද යොදමින්මය. සන්ධි නිසි පරිදි ක්‍රියා නොකරන්නේ නම් පුද්ගල චර්යාව ද එනම් ස්වභාවික චර්යාව ද නිසි පරිදි නොවන්නේ ය. අමාවක, පෑළවිය සන්ධිය ආධ්‍යාත්මික වශයෙන් තෙල් ගා සම්භාහනය කරන ආකාරය පිළිබඳව අප ඉඟි සපයන ලදී. අද සාකච්ඡා කෙරෙනුයේ ඊළඟ ප්‍රධාන සන්ධිය පිළිබඳවය. ඒ පුරපසළොස්වක සහ අව පෑලවිය සන්ධියයි. පුරපසළොස්වක අපි සිල් සමාදන් වන දවසය. හතර පෝයටම සිල් සමාදන් වීම ඉපැරැණි ආගමික සම්ප්‍රදාය වන මුත් පුරපසළොස්වකටවත් සිල් සමාදන් වන ඇත්තන් අද නම් දුර්ලභමය.

යෝග අභ්‍යාසයෙහි නියැළෙන්නන්ට මෙකී දවස අතිශය සුවිශේෂී වේ. ඔබ අප සමහර විටක යෝග අභ්‍යාස පිළිබඳව කිසිවක් නොදන්නා අය විය හැකිය. එහෙත් අපට ජීවිතයේ ඉටුකරගත යුතු, සමෘද්ධියට පත් කරගත යුතු විවිධ ආකාරයේ අවශ්‍යතා තිබේ. විසඳාගත යුතු ප්‍රශ්න ගැටලු තිබේ. සමහර ඒවා සුළු මොහොතකට හෝ අත හැරීමට ඒවායෙහි සමෘද්ධියට හේතුවන බව බොහෝ දෙනකු දන්නවා නම් සියලුම දෙනා පසළොස්වකට සිල් සමාදන්වනු ඇත.

පසළොස්වකට සිල් සමාදන්වීම අපහසුම නම් එදින දවසේ පූජනීය ස්ථානයකට ගොස් ස්වකීය ආගමානුකූල වන්දනා මාන සිදුකිරීම තුළින් බොහෝ ජීවන ගැටලුවලට සහනයක් ලබාගත හැකිය. බෞද්ධයනට වඩා හින්දු බැතිමත්හු එය සිදුකරනු ලබන බව පෙනෙන්නට ඇත. විවිධ පසළොස්වක දවස් “පූර්ණිනමා” යන සංකල්පයෙන් යුතුව විවිධාකාරයෙන් සැමරීම ඔවුන්ගේ සංස්කෘතිය තුළදි දක්නට ලැබේ. මෙය සමස්ත ලෝකවාසීන්ටම පොදු න්‍යායක් වන නමුත්, සොබාදහමට එකඟවීමට තැත් කරන්නෝ හිඟ බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.

‘අමෘතය’ ගැන අපි අසා ඇත්තෙමු. දැක නොමැත්තෙමු. යෝගීහු අමෘතය ගැන කතා කරනු ඇත. බ්‍රහ්ම මුහුර්තයේ දී අමෘතය දෙවියන් විසින් අපට තිළිණ කරන්නේ යැයි යෝග විද්‍යාවේදී ප්‍රකාශ වේ. මෙකී අමෘත බින්දුව පසළොස්වකදී අපගේ හිස් මුදුනෙහි වන්නේ ය. හිස් මුදුන පිරිසුදුව තබා ගැනීම තුළින් අමෘත රසය අපට ලබාගත හැකි යැයි පැවසේ. ඉඳින් මෙය භෞතික වාදී කෝණයකින් විමසන ඔබට අමෘත සංකල්පය කිසි දිනක නොවැටහෙනු ඇත. මෙදින සිත, කය පිරිසුදුව කිසියම් ශීලයක් සමාදන්ව බවුන් වඩන්නා හටම එය ලැබෙනු ඇත.

‘අමෘතය’ කෙසේ වෙතත් එම ක්‍රියාවලිය හේතුවෙන් ඔබේ දිවි මඟට කිසියම් ආලෝකයක් වන්නේමය යැයි පැවසිය හැකිය. ඡ්‍යොතිෂය අනුව පුරපසළොස්වක අයිති වනුයේ සෙනසුරු ග්‍රහ දෙවියන්ටය. සෙනසුරු කර්ම කාරකය, තපස්ථිය. මෙදින සිල් සමාදන් විය නොහැකි අය දාන, මාන, ගිලාන උපස්ථානය ආදිය සඳහා සිය ශ්‍රමය, මුදල, කාලය කිසියම් පමණකින් හෝ වැය කළ යුතුය. එය යෝග දර්ශනයේදී කර්ම යෝග කාණ්ඩයට ගැනෙන්නකි. තපස් වැඩිය යුතුය. සිල් වැඩිය යුතුය. එවිට සෙනසුරු ග්‍රහ දෙවියන් කෙරෙන් පැමිණෙන යම් බාධකයක් අවහිරයක් වේ නම් එය අවහිර වනු ඇත. ජය ගෙනෙනු ඇත.

එදින රාත්‍රියෙහි බස්නාහිර දිසාව බලා තල තෙල් පහන් පහක් දල්වනු ලබන ශීලවන්තයා කෙරෙහි සෙනසුරු ග්‍රහ දෙවියන් ආශීර්වාදාත්මකව බලනු ඇත. ඉඳින් දවස පුරා පව්කම්හි සරා, නැතහොත් පව්කම්හි නියැළී හෝ කිසි පිනක් අත නැතිව රාත්‍රියේ සෙනසුරු ග්‍රහ දෙවියන්ගේ ආශීර්වාදය පැතීම නිශ්ඵල වන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඉඳින් මාසයකට වතාවක් අපට ලැබී ඇති මේ අසිරිමත් අවස්ථාව අප අත්හරින්නේද? ඡ්‍යොතිෂය තුළින් ඒ අසිරිමත් විශ්වීය ගනුදෙනුව පෙන්වාදී ඇත.

උමා ඡ්‍යොතිෂය එහි භූ කාමය දක්වා යටින් හදිසි අවස්ථාවල සෙනසුරු සමඟ ණය ගනුදෙනු කිරීමට කාලය සපයා දෙනු ඇත. එනම් මාසයකට වතාවක් උදාවන පසළොස්වක පොහොය කලාපය අපට ඉංගී‍්‍රසි පෑ 24ක කාලය උදාකර දෙනනයින් දවසක් තුළ ද මෙසේම පසළොස්වක පෝය කලාපයක් උදාවේ. එහි කාලය ඉංගී‍්‍රසි මිනිත්තු 48කි. එය සිංහල උමා ඡ්‍යොතිෂ එකී මින්ත්තු 48 තුළ ද සුළුවෙන් හෝ දනක් පිනක් සිදුකර ගිලාන උපස්ථානයක් සිදුකර විශ්වයට තුති කොට ග්‍රහ දෙවියන්ට පින් දී අපගේ හදිසි අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගත හැකි වේ. එහෙත් එය ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකුගේ උපදෙස් මතම ගැනගත යුතුවේ. නමුත් පසළොස්වක පොහොය අප කාටත් රහසක් නොවේ.

විශේෂයෙන් පුර පසළොස්වකට පෙර දවසෙහි පටන් පින්කම්වල නිරත වීම රහසකි. එදින රාත්‍රී දෙවිවරු සුදම් සභාවට පැමිණිලි ඉදිරිපත් කරන්නේ යැයි ප්‍රකාශ වේ. කෙසේ වෙතත් චන්ද්‍ර දින දර්ශනයේ පුර පසළොස්වකට පෙර දවස ප්‍රාර්ථනාදිය සිදු කිරීම සඳහා මහෝපකාරී වනු ඇත. පුරපසළොස්වක ගෙවීමත් සමඟ එනුයේ කළුවර මාසයයි. අට ක්‍රමයෙන් හඳ හීන වෙමින් යයි. අවර ගණයේ භූත කොටස් හිස ඔසවන කාලයකි. යක්ෂ භූත ප්‍රේතාදීන්ගේ ඇල්ම බැල්ම අධික වන කාලයයි. මේ කාලයේ දී එම අහිතකර භූතාදීන්ගේ ග්‍රහණයට හසු නොවී සිටීමට පුර පසළොස්වක දිනයේ ක්‍රියාකාරකම් ඉවහල් වන බව බොහෝ දෙනකු නොදකිති. ඉදිරියේ දී ඔබ ළඟ ළඟම එන පසළොස්වක පෝය සැප්තැම්බර් 29 දින යෙදෙන බව පෙනේ. විශේෂයෙන් විවාහය පිළිබඳ ප්‍රශ්න බාධක ඇති අයගේ කර්ම තරමක් හෝ දුරකට වෙනස් කරගැනීමට උපකාර කරගත හැකි පෝ දිනක එසේම ඔබ දැනට ඔබේ ස්වාමියාට, බිරිඳට කායික මානසික පීඩා ගෙන දෙන්නේ නම් වහ වහා එවැනි ක්‍රියා නවත්වා ඊළඟ පෝදින සිල් සමාදන්ව දෙවියන්ට පින් දී අධිෂ්ඨාන පූර්වකව කටයුතු කිරීම වැඩදායකය.

ඔබ දැනට ඉතා යහපත් අන්දමින් කටයුතු කරන විට පවා විවාහය පිළිබඳ අර්බුද ඇත්නම්, විවාහය ප්‍රමාද නම් මේ පෝය දවස එවැනි ගැටලුවලින් මිදීමට උපකාර කරගත හැකිය. විශේෂයෙන් මේෂ, තුලා ලග්න හිමියන් සඳහා විශේෂයෙන් මේ පෝය දවස ප්‍රතිඵල දායක වනු ඇත. මෙසේ පසළොස්වක ද ඔබේ ජීවිත අභිවෘද්ධිය සඳහා යොදාගත හැකිය.

තවත් අතිරේක යෝජනාවක් සිදුකරමි. මේ 29 දා එළඹෙන පුරපසළොස්වක පෝ දවසේ උදෑසන 9.30 වන විට ලක්ෂ්මී මෑණියන්ගේ ආශීර්වාදය නැඟෙනහිර දිශාවට යොමු වේ. මේ අවස්ථාවේ දී සීලාදි වෘතයක සිට ලොව්තුරා බුදුහිමියන් වෙනුවෙන් කවර හෝ ආකාරයක පූජාවක් සිදුකොට ලක්ෂ්මී මෑණියන්ට පින් පෙත් දෙන්නේ නම් එය ඉෂ්ට සිද්ධ වීමේ ප්‍රවණතාවය අති මහත්ය. වෙනත් ආගමිකයකුට වුව ද එම දා සීල වෘතයක සිටිමින් එම මොහොතට ලක්ෂ්මී මෑණියන් නැමැදිය හැකිය. මෙය පොදු නියමයයි. එනම් ඡ්‍යොතිෂය දළ වශයෙන් ගැන සකස් කරන ලද ගණිතමය සිද්ධාන්තයකි. ඉඳින් ඡ්‍යොතිෂය තුළ බොහෝ ගණිතමය සංකල්ප වේ. නැණසින් යොදෙන්නේ නම් ඒවායින් දෛනික ජීවිතය ඵලදායි කරගත හැකිය. ආධ්‍යාත්මික ප්‍රබෝධය ද උදාකරගත හැකිය.

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.