යාතිකා දැනගත් පමණින් කපුවෙක් වෙනවාද ?

අගෝස්තු 11, 2023

වසර 40ක අත්දැකීම් සමුදායක් තුළින් දේවත්වයේ හාස්කම් පිළිබඳ කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ භාරකාර කුලරත්න විජේතුංග මහතා හෙළි කරන රහස් දේවාල හා බැදී ඇදහිලි ක්‍රම හා වත්පිළිවෙත් රාශියක්ද පවතී. ඇතැම් වත්පිළිවෙත් ක්‍රම හා ඇදහිළි බැඳී ඇත්තේ එම ප්‍රදේශයේ සංස්කෘතික පසුබිම ද සමඟිනි.

එහෙත් මේ සංස්කෘතික පදනම බිඳ වැටෙමින් විවිධ කෙම් ක්‍රම, යාගහෝම හා මිත්‍යා ඇදහිලි ක්‍රම හා දේවාල රාශියක් බිහි වී තිබේ. මෙවැනි ඇදහිලි හා මිත්‍යා ඇදහිලි විශ්වාස කර ඒ පසුපස යමින් සුව නොවන රෝග සුව කර ගැනීමට උත්සාහ කිරීම සඳහා තැඹිලි ගෙඩිපිටින් මතුරා පෙවීම වැනි කිසිම පදනමක් නොමැති ඇදහිලි පසුපස යමින් ජීවිත අහිමි කරගත් අවස්ථා ද අපට අසන්නට ලැබුණි.

එහෙත් බෞද්ධ සංස්කෘතිය හා බැඳී පවතින දේව ඇදහිලි හා සිද්ධාස්ථාන වෙත වැදුම් පිදුම් කරන දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටිති. වසර සිය ගණනක් ජනතාවගේ ගෞරවයට පාත්‍රවන එම දේවාල වෙත එසේ ඇදී යන්නේ එහි වූ කිසියම් අධ්‍යාත්මික සහනයක් හා පිහිටක් ඔවුන්ට ලැබී ඇති බව ජනතාව විසින්ම සාක්ෂි දරන නිසාමය. මෙවැනි ජනතාවගේ වැඳුම් පිදුම්වලට පාත්‍රවන ඉපැරැණි දේවාලයක් ලෙස කඩුවෙල සිද්ධ පත්තිනි රංකඩු දේවාලය කෝට්ටේ යුගයේ 6 වැනි පරාක්‍රමබාහු රජ සමය තෙක් දිවෙයි. වසර 600 කටත් වඩා ඉපැරැණි වු මේ දේවාලයේ පවතින හාස්කම් හා අනුහස් බොහෝය. කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි මේ දේවාලයේ වර්තමානයේ භාරකාරත්වය දරන්නේ කුලරත්න විජේතුංග මහතාය. 1983 අගෝස්තු මස 28 දින පටන් අඛණ්ඩව වසර 40ක කාලයක් එම තනතුර දරමින් විශාල මෙහෙවරක් සිදු කරන ඔහු අත්දැකීම් සමුදායකට හිමිකම් කියනු ලබන කපු මහතෙකි.

ඔහුගේ උදාර වූ සමාජ මෙහෙවර හා දේවාලයේ සංවර්ධනය තුළින් මේ වන විට මේ ඓතිහාසික පුණ්‍යභූමිය ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව තිබේ. මෙවැනි දේවාලයක භාරකාරත්වය දරමින් ඔහු සිදුකරන සේවාව වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාව විසින් මෙවර දේවාලයේ පෙරහරට සමගාමීව උපහාර පිදීමේ උත්සවයක් ද සංවිධානය කර තිබේ. ඒ උදාර වූ සේවා කාලය තුළ ඔහු ලැබූ අත්දැකීම් හා දේව විශ්වාසය තුළත් සිදු කරනු වැඩකටයුතු පිළිබඳ පිළිසඳරක යෙදුණේ වර්තමානයේ සමාජය තුළ ඇතිවී තිබෙන සංකීර්ණ තත්ත්වය පිළිබඳ විමසුමට ලක් කරමිනි.

වර්තමානයේ විවිධ දේව විශ්වාස හා ඇදහිළි පසු පස ගොස් අසරණ වූ විශාල පිරිසක් සිටිනවා. ඒ නිසාම මේ වන විට දේව සංස්කෘතිය විකෘති වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා. වසර 40ක අත්දැකීම් ඇති ඔබ මේ සංකීර්ණ තත්ත්වය දකින්නේ කොයි ආකාරයටද?

ශ්‍රී ලංකාව ඉතාම රමණීය පුණ්‍ය භූමියක්. බුදුන්ගේ පාද ස්පර්ශය තුන්වරක් ලැබූ මේ ලක් දෙරණේ බුදුන්ගේ බැල්ම හා ආශිර්වාදය ජීවමානව නිබඳවම පවතිනවා. නමුත් අපගේ බෞද්ධ බැතිමතුන් දේව සංකල්පය තුළ රැවටෙන ස්වභාවයක් පවතිනවා. අතීතයේ දේවාලයකට බැතිමතෙක් පූජාවක් තබන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ඉතාම ගෞරවනීයව විශාල විශ්වාසයකින්. එදා ඒ පූජාවට තමුන්ගේ ගෙවත්තේ ඉඩමේ වගා කළ භව භෝග හෝ පලතුරු තමයි තිබ්බේ. නමුත් මේ කටයුත්ත දැන් ඉතාම විකෘති වෙලා. මම හිතන්නේ ඕනෑම ඇදහීමක් කළ යුත්තේ යම් සීමාවක් තුළ අවබෝධයෙන් හා බුද්ධිමත්වයි. අතීතයේ බුදුන් දෙවියන් ඇදහීම සිදු කළේ තමුන්ගේ නිවෙසේමයි. නමුත් එය ඔවුන් ඒ කටයුත්ත ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කළා. එදා ජනතාව දේවාලයකට ගිහින් භාරහාර වුණේ කිසියම් ලෙඩක්, රෝගයක්, වසංගතයක් දුර්භික්ෂයක් හෝ කරදරයක් වුණු හදිසි අවස්ථාව විතරයි. අද ඊට හාත්පසින්ම වෙනස් ස්වභාවයක් තමයි පවතින්නේ. අද කිසිම පදනමක් නැතුව දේවාල, පූජනීය ස්ථාන සකස් කරගෙන ව්‍යාපාරයක් ලෙස තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ තත්ත්වය හරිම සංකීර්ණයි. ඒ වගේම හරිම කනගාටුදායකයි. අප මේ දේව ඇදහිලි හා වත්පිළිවෙත් හා සේවාවන් පවත්වන්නේ පරම්පරාවෙන් ලැබුණු ඓතිහාසික දායාදයක් ලෙස ගෞරවනීයව.

නමුත් අද ඒ සියලු දේ පරිහානියට පත් වෙලා. අද කොහොම හරි යාතිකා කරන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ දේවාලයක් හදාගන්නවා. ඒ නිසා අද දේව ඇදහිලි සංකල්පය පරිහානියට පත් වෙලා. අද දේවාලවල කපු මහත්තුරු සමාජයේ පිළිගැනීමක් නැති තත්ත්වයට පත් වී තිබෙන්නේ ඉතාම කනගාටුදායක ආකාරයට .

නමුත් අපි මේ කටයුත්ත අවුරුදු ගණනක සිට සිදු කරන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන්. ඒ වගේම පරම්පරාවෙන් ලද උරුමය රැක ගනිමින්. සම්ප්‍රදායානුකූලව තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඒ තුළින් අපි දෙවියන්ගේ හාස්කම් බලය පෙන්වලා තියනවා. අපි මුදලට යට වෙලා නැහැ. ඕනෑම බැතිමතෙක් මේ ස්ථානයට පැමිණියේ අපේ රාජකාරි කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා. එය මුදල් නැති බැතිමතුන් හා මුදල් ඇති බැතිමතුන් ලෙස වෙන් කිරීමක් නැහැ. අප මේ කටයුතු සිද්ධ කරන්නේ ඉතාම ආදර්ශවත්ව. මගේ සේවා කාලය මේ දේවාලයේ අවුරුදු 40ක් වෙනවා. නමුත් මට කිසිම කෙනකුගෙන් පැමිණිල්ලක් නැහැ. කිසිම අකටයුත්තක්, වැරැදි ක්‍රියාවක් හෝ කළ බවට කිසිම සාක්ෂියක් කොතැනකවත් නැහැ. ඒක තමයි දේවාලයක තිබිය යුතු භාරකාරත්වය දැරීමේදී පළමු සුදුසුකම.

කපු මහත්වරුන් ලෙස හඳුන්වන ඇතැම් පුද්ගලයන්ගේ කිසිම සීලාචාරකමක් නැහැ. කිසිම පිරිසුදුකමක් පෙනෙන්නට නැහැ. බුලත් විට කාගෙන, පිළිවෙළක් නොමැතිව පිළිවෙලට ඇඳුමක් අඳින්නේ නැතුව තමයි ඒ පුද්ගලයෝ එම කටයුතු කරන්නේ. අප ළඟට පැමිණෙන බැතිමතුන් දේවාලයට එන්නේ ඉතාම භක්තියෙන් යුක්තව. ඔවුන් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකට වගේ තමයි අපට ගෞරව දක්වන්නේ. නමුත් ඇතැම් කපු මහත්තතරු යැයි කියා ගන්නා පුද්ගලයෝ ඒ ගෞරවය රැකගන්න කටයුතු කරන්නේ නැහැ. ඇතැම් පුද්ගලයෝ බීමත්ව පවා මේ කටයුතු කරනවා. ඇත්තටම මේ පිළිවෙත් කළ යුත්තේ ඉතාම පිරිසුදුව සිතට පිනා යන ආකාරයටයි. බෞද්ධයෝ ලෙස අපට කිසියම් සම්ප්‍රදායක් හා සංස්කෘතියක් තිබේ නම් එය රැක ගනිමින් වත් පිළිවෙත් කළොත් පමණයි අපට ආශිර්වාදය ලැබනේනේ. මේ වසර 40 පුරාම මේ ගම්වල සියලුදෙනා සමඟ කටයුතු කරන්න ලැබුණේ ගෞරවනීය ආකාරයෙන් හොඳින් කටයුතු කළ නිසයි. මට මේ තරම් දුර ගමනක් ඉතාම සාර්ථක ලෙස යන්න ලැබුණේ ඒ නිසයි. අප මුලින්ම තුනුරුවනට මුල්තැන ලබාදිය යුතුයි. මම එදා පටන්ම විහාරස්ථානයක් ලෙස මේ දේවාලය පාලනය කරන්නේ ඒ නිසයි. අප බෞද්ධයන් ලෙස බුදුදහමට මුල්තැන ලබා දිය යුතුයි. එලෙසින් බුදුන්ට මුල්තැන ලබාදෙන නිසා තමයි දෙවියන්ගේ ආශිර්වාදය මේ පුණ්‍ය භූමියට ලැබී තිබෙන්නේ.

ඔබගේ මේ වසර ගණනක සේවා කාලය තුළ ඔබ ලැබූ එවැනි අත්දැකීම් හා සියසින් දුටු දේවත්වයේ හාස්කම් ගැන සඳහන් කරන්න පුළුවන් ද?

ඔව්. මම අවුරුදු පහක කාලයක් සමූපකාර සමිතියේ විවිධ නිලතල දරමින් සේවය කළා. මම මේ දේවස්ථානයේ වැඩ භාරගන්න පෙර තරුණයකු ලෙස දෙවියන් පිළිබඳ විශ්වාසය තිබුණේ නැහැ. නමුත් මට කිසියම් බලවේගයකින් මේ ස්ථානය මගේ පියා වූ දාවිත් අප්පුහාමි මහතාගේ අභාවයෙන් පසු භාර ගන්න සිදුවුණා. මම ඒ කාලේ අවමංගල්‍ය උත්සවවලට පවා ගොස් දේවාලයට පැමිණි අවස්ථා තිබුණා. ඒ ආකාරයට එවැනි උත්සවයට ගියොත් මට මුළු රාත්‍රියේම නින්ද යන්නේ නැහැ. ඊට පස්සේ මම අවමංගල්‍යය උත්සව සඳහා සහභාගිවීම නැවැත්තුවා.

මගේ පියාගේ අභාවයෙන් පසුව සෙනඟ දේවාලයට පැමිණීම අඩු වුණා. දවසක් රාත්‍රියේ මට පත්තිනි මෑණියෝ සියැසින් දැක ගන්න ලැබුණා. මේ දේවාලයේ පසුපස තිබෙන බෝ ගස අසලින් ඉතාම අලංකාරව සැරසුණු දිව්‍යාංගනාවක් වැනි කාන්තා රූපයක් එම ස්ථානයේ වැතිර වැඳලා නොපෙනී යනවා මම දැක්කා. අපේ දේවාලයේ මාත් එක්ක සිටි මාමාට කතා කරලා පෙන්වන්න හදනකොටම ඒ රූපය නැතුව ගියා. මේ හාස්කම් රාශියක් මම මේ දේවාලයේ භාරකාරත්වය ලැබු දවසේ සිට දැකලා තියෙනවා. ඒ සියලු දේ මම අත්දැක්කේ දෙවියන් පිළිබඳ විශ්වාසය ඉතාම භක්තියෙන් යුතුව ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කිරීම නිසයි. ඒ නිසා තමයි මේ වගේ ජනාකීර්ණ නගරයක මේ වගේ පුණ්‍ය භූමියක් ඉතාම ආරක්ෂාකාරීව කිසිම සතුරු උපද්‍රවයක් නැතිව පවතින්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.