සඳේ කලාවන් දැන ජීවිතය දිනමු

අගෝස්තු 4, 2023

එකසිය විසි වසක දිගායුෂහිමිව දිවි ගෙවූ අපගේ උපරිමායුෂ මේ වන විට අවුරුදු හැත්තෑවක් අසූවක් දක්වා පහත වැටී ඇත. ලොව දිනුමට නිති තරගයක නිරත වන්නා වූ අප ජීවත්වන බව අමතකව යන පමණටම කාර්ය බහුලව ඇති යුගයකි මේ.

හිරු කිරණ නෙත පතිත වීමටත් හෝරා කිහිපයකට පෙරාතුව දවස ආරම්භ කළ ද රෑ මැදියම ගෙවී ගියත් තමාට තමා සිහිකිරීම සඳහා අඩ හෝරාවක් පමණ වත් වෙන්කරගත නොහැකි තැනකට අද මිනිසා පත්ව ඇත. මේ තත්ත්වයට හොඳීන් මුහුණ දී දෙලොවම දිනවන මඟ වේදයානුකූලව හඳුන්වා දීමට මේ ලිපියෙන් උත්සාහ දරමි.

බුදුරජාණන් වහන්සේගේ දේශනා නුකූලව ලොව දිනුමට නිසි මග හිත දිනුමයි. විද්‍යාවේ දියුණුවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා විද්‍යාඥයෝ පවා මේ වන විට ක්වොන්ටම් භෞතික විද්‍යාව මඟින්ද සොයමින් සිටින්නේ මෙයයි. සිත දිනීමේ කලාවේ උපරිමය භාවනාවයි. භාවනාව තුළින් එකඟ කළ හැකි සිතක් දිනාගන්නෝ සැලසුම් සහගතව තම කටයුතු ක්‍රියාත්මක කර දිවි දිනීමේ කලාව ප්‍රගුණ කරති.

සැබවින්ම කාර්යබහුල ජීවිත ගත කරනුයේ සිය දිවියේ යම් දියුණුවක් අපේක්ෂිතයෝය. කොතරම් කාර්යබහුල වුවද ඔබ මට සියල්ලන්ටම ඇත්තේ දිනකට පැය විසි හතරක් පමණි. එය වීදියේ සිඟමන් යදින්නා වූ අසරණයාට මෙන්ම ලොව අංක එකේ ධනවතාටද, බලවතාටද, බුද්ධිමතාටද කිසිදු වෙනසක් නොමැතිවම සමව උරුමය. අන් සියල්ල කර්මානුකූලව හෝ වෙන යම් ආකාරයකට ලබන මුත් මිනිත්තු 1440 ක් හෝ තත්පර 86400ක් ලෙස ලැබෙන, දවස නම් අප සැමට එක හා සමාන ලෙස උරුමව ඇත. එක් එක් පුද්ගලයෝ එම කාලය ප්‍රයෝජනයට ගත් ආකාරය අනුව ඔවුහු ඒ ඒ තත්ත්වයන්හි රැඳෙත්.නමුදු මේ තත්පර 86400 තුළ අපට ඉටු කළ යුතුව ඇති සියල්ල ක්‍රමානුකූලව, සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් සකසා ගැනීමට තරම් දක්ෂ නොවන්නෝ ඔවුන්ගේ දියුණුවට මෙන්ම නිරෝගී බවටද අවහිරතා මතු කර ගනිති.

බුද්ධ භාෂිතයට අනුව හිත දිනීමේ මග භාවනාවයි. එනම් සිහිය පිහිටුවා ගැනීමයි. සියල්ලෙහි පදනම සිහියයි. සෑම භාවනාවක් තුළම අපේක්ෂා කෙරුණුයේ සිත එකඟ කර ගැනීමයි. වරකට අවධානය එක් දෙයකට පමණක් යොමු කිරීම තුළ එහි කාර්යක්ෂමතාවය ඉහළ යනවා සේම මනා ලෙස සිහිය පැවැත්වීමටද එය උපකාරී වේ. එය ලෝකෝත්තර දියුණුව මෙන්ම මෙන්ම ලෞකික දියුණුව ඇති කර ගැනීමේ ලා ප්‍රයෝජනයට ගත හැකිය.

සිහිය සහ සැලසුම් සහගත කාල කළමනාකරණයක් තුළ කටයුතු කිරීමෙන් සිය ජීවිතය උපරිම ප්‍රයෝජනවත් ආකාරයට ගත කරන ආකාරය බුදු රජාණන් වහන්සේ අපට ජීවිත ආදර්ශයෙන්ම පෙන්වා දුන් සේක. වේදයානුකූලව චන්ද්‍රයා සම්පූර්ණයෙන් සිත ගැන බල පවත්වයි. සාමාන්‍යයෙන් සඳු දින දෙකහමාරක් පමණ එක රාශියක ගමන් ගනී. මේ දින දෙකහමාර තුළ සඳුගේ ගමන් රටාව අනුව, ඉදිරි දිනයන් ප්‍රයෝජනවත් ආකාරයට සකස් කර ගැනීමට ජන්ම පත්‍ර අනුකූලව අපිට කටයුතු සම්පාදනය කර ගත හැකිය.

චන්ද්‍රයා ලග්නයේ ගමන් කරන කාලය තුළ බොහෝ සිත් සතුටට පත්වන්නා වූ කරුණු යෙදේ. හොඳ දේට සිත යොමුවේ. සුව පහසුව සකස් වේ. ලාභ සහිත අවස්ථාවන් මතුවේ. ක්‍රමානුකූලව කටයුතු කිරීමේ හැකියාව ඉස්මතු වේ. මේ දිනවල භාවනාවට ද යහපති. ශරීර නිරෝගීතාව ඇති කරනවා මෙන්ම වෙනදාට වඩා රාග සිතුවිලි ඇති කරයි. චන්ද්‍රයා ලග්නයට බලවත් වන්නේ නම් ඉහළ ප්‍රතිඵලද දුර්වල නම් පීඩාකාරි ප්‍රතිඵල ද පෙන්නුම් කරයි. ඒ අනුව කල්පනාකාරීව කටයුතු සැලසුම් කළ යුතුය. ලග්නය තිර රාශියක් නම් ස්ථිර අදහස්ද චර රාශියක් වන විට සෙලවෙන ගතියද ඇති කරයි. තවද සඳු ලග්නයේ ගමන් ගන්නා වූ දින දෙක හමාර තුළ රවි, ගුරු, සිකුරු, පස්වැන්නේ හෝ නවවැන්නේ ගමන් කරන්නේ නම් ඕනෑම ශුභ වැඩක් ආරම්භ කිරීමට යහපත් වේ. ඒ වගේම සඳු ලග්නයේ ගෝචර වන දින රවි, කුජ, ශනි, ගුරු, රාහු, කේතු යන ග්‍රහයින්ගේ ග්‍රහ මාරුවක් සිදුවන්නේ නම්, එම මාරුව සිදුවන රාශියට අනුව ශුභ හෝ අශුභ විශාල වෙනසක් සිදුවීමට නියමයි. ලග්නාධිපතියා දෙවැන්න, එකොළොස්වැන්න, උච්ච හෝ ස්වක්ෂේත්‍ර රාශියට පිවිසෙන්නා වූ දිනෙක චන්ද්‍රයා ලග්නයේ ගමන් ගන්නේ නම් එම ග්‍රහයා එම රාශියෙන් ඉවත් වීමට ප්‍රථමයෙන් ලොකු ලාභයක් හෝ දියුණුවක් බලාපොරොත්තු විය යුතුය.

සඳු දෙවැන්නේ ගමන් ගන්නා කාලයේදී මුදල් වියදම් කිරීම් සම්බන්ධව කල්පනාකාරී විය යුතුය. නිෂ්ඵල වියදම්, ධන හානි මෙන්ම ඒ හා වන්නා වූ පොරොන්දු සම්බන්ධව ද සැලකිලිමත් විය යුතුය. ධනය මෙන්ම වචනයද ප්‍රවේශම් කර ගැනීමට කල්පනාකාරී විය යුතුය. තමන්ව අගෞරවයට පත් වන්නා වූ වචන ආදිය පිළිබඳව සැලකිලිමත්වන්න. පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙනවා ඇත. තම මුදල් කටයුතු පිළිබඳ නව අදහස් පහළ වන මුත් වෙනදාට වඩා උත්සාහවත්ව කටයුතු කිරීම ප්‍රයෝජනවත් වේ. මෙම සීමාවේ රවි, ගුරු, සිකුරු, ගෝචරයෙන් 6 වැන්නේ හෝ 10 වැන්නේ ගමන් කිරීම දියුණුවට හේතු වේ.

සඳු තුන් වැන්නේ ගෝචරය වන්නාවූ දිනයන්හි මුදල් කටයුතු පිළිබඳ නව අදහස් පහළ වේ. තුන් වැන්න සඳුට බලවත් රාශියක් වන්නේ නම් එම කටයුතු පහසුවෙන් සඵල වෙනවා සේම සඳුට දුර්වල රැසක් වේ නම් ඒ පිළිබඳ වඩාත් උත්සාහවත් විය යුතුය. මෙම දිනයන්හි සතුරු උපද්‍රව කේලම් ආදියෙන් කරදර ඇතිවීමට නියමයි. ශරීර සනීපයට යහපත් කාල සීමාවක් වෙන අතර ධෛර්යමත්ව කටයුතු කිරීමත් මිත්‍රාශ්‍රය වැඩි වීමට ද සැප පහසුව සකස් වීමටද හේතු යි. නිවෙසට අමුත්තන් පැමිණිය හැකිය. අපහසු කාර්ය නිම කිරීමට සුදුසු කාලයකි.

චන්ද්‍රයා සිවුවැන්නේ ගමන් ගන්නා කාලයේ දී ගෙදර සුව පහසුව අඩු කිරීමට හේතු වන්නා වූ කරුණු කාරණාවන් යෙදේ. මුදල් අතින් ද අපහසුතාවයන් මතුවීමට හේතු වන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වටී උදරාබාධ වැනි අසනීප තත්ත්වයන් ඇතිවීමට හේතු වන්නා වූ බැවින් ආහාර පාන සම්බන්ධව සැලකිලිමත් විය යුතුය. මිල මුදල් හානිකර තත්ත්වයන් ඇති වේ. කරගෙන එනු ලබන කටයුතු වලට බාධා වීම් සහ ගේ දොර අපිරිසිදු වීම නිසා මානසික ව්‍යාකූලත්වයන් ඇතිවීමට හේතු වේ. ඥාති මිත්‍රාදීන් සමඟ අමනාපකම් ඇති විය හැකිය. නින්ද නොයාමට හේතුවන්නා වූ පීඩාවන් යෙදේ. හතරවැන්න චන්ද්‍රයාට බලවත් ස්ථානයක්ව ශුභ දෘෂ්ටි ලබා සිටියේ නම් හිත මිත්‍රයින්ගෙන් ආධාර උපකාර ලැබීමටද ත්‍යාග ලැබීම වැනි සතුටුදායක අවස්ථාවන්ට මුහුණදීමට ද කරුණු කාරණාවන් යෙදේ. චන්ද්‍රයා පස් වැන්නේ ගමන් ගන්නා කාලයේදී සිතේ සතුට අඩු කිරීමට හේතු වේ. බලාපොරොත්තු කඩවීම්, ආදර සම්බන්ධතාවන් ආදියේදී වේදනාවට පත් වීම්, කම් සැපට බාධා ඇති වීම ආදියට හේතු වේ. බාහිර කරදර මතුවේ. දඬුවම් ලැබිය හැකි අවස්ථාවන් යෙදෙන බැවින්, වරදක් වන්නේ නම් එය වහා නිවැරදි කර ගැනීමට උත්සුක විය යුතුය. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයන් ඇති අය ඒ සම්බන්ධව වඩාත් සැලකිලිමත් විය යුතු කාලයකි. විනෝද වීමට අවස්ථාවන් උදා වුවද ඒ සම්බන්ධව සිතට ප්‍රීතියක් නොලැබේ. රාගාධික සිතුවිලි හිතට මතු වීම නිසා පීඩාවන්ට පත් වීමටද අවස්ථාවන් යෙදේ.

සඳු 6 හය වැන්නේ ගමන් ගන්නා කාලයේදී කාන්තාවන්ගෙන් කරදර මතු වීමට හේතු වන කාරණා යෙදේ. කාන්තාවන් හා ගැටුම් ඇති කර ගනී. සිතේ තරහ සිතුවිලි සැණින් හට ගැනේ. ව්‍යාපාර කටයුතු ආදියටද යම් යම් මානසික අවහිරතාවයන් ගෙනදේ. සෙම් රෝගවලට පහසුවෙන් ලක් විය හැකි බැවින් ජලයෙන් ප්‍රවේශම් විය යුතුය. ව්‍යාපාර කටයුතු සඳහා දුර ගමන් යෙදේ. මවගේ සහෝදරයන් හා ගැටලු මතුකර ගැනීමට කටයුතු යෙදේ.

සඳු හත්වැන්නේ ගමන් ගන්නා සීමාවේ සැප පහසුවට කටයුතු යෙදී හොඳ ආහාර පාන ලැබෙන්නා වූ මිල මුදල් ලාභ, ස්ථානීය සුව, පහසුවට නිදා ගැනීමට, විවේකීව සිටීමට අවස්ථාවන් සකස් වේ. ස්ත්‍රී සැප ලැබේ. සතුට සමගිය ඇති වේ. විනෝදයෙන් කල් ගත කිරීමට හැකි වේ. තරඟ, වාද විවාදයන්ට යහපත්ය. රාගික සිතුවිලි ඇති වේ. දියුණුවට හා සැපයට හේතු වේ. පවුලේ සමගිය වැඩේ.

සඳු අටේ ගමන් ගන්නා කාලයේ අසනීප තත්ත්වයන් මතුව පීඩාවට පත් කරයි. මුත්‍රාබාධ, සෙම් රෝග ආදිය මතු වේ. කනගාටු සහිත කාලයකි. අවුල් වියවුල් ඇති කරයි. කෑම් බීම ආදියේ ප්‍රිය ගතිය නැතිවේ. කරදර සහිත කාලයකි. බාධා අවහිර මතුවේ. සිත් තැවුල්, වේදනා, කරදර, මරණ පිළිබඳව කතා කිරීමට අවස්ථා උදා වේ. සැක සහිත සිතුවිලි මතු වේ.

සඳු නව වැන්නේ ගත වන කාලයේ ශරීර දුර්වලත්වය ඇතිවිමට හේතුයි. ශරීරයට වෙහෙස සහිත වේ. සිතේ නොසන්සුන් ගතිය ඇති කරයි. උසස් අයගෙන් පීඩාවන්ට පත් වේ. සිත් තැවුල් කනගාටු සහිත කාලයකි. වාද විවාද, නඩු හබ ආදිය මග හළ යුතුය. ආගම ධර්මය , කෙරෙහි හිත ඇදී යයි. නමුත් ආර්ථික අපහසුතා ඇති කරයි. ගෙදර දොර කටයුතු හරි හැටි තේරුම් නොගැනීම නිසා කරදර මතු කර ගනී. ගෙදර දොර අඩු පාඩු ඇති කරයි. කුඩා දරුවන් නිසා මානසික සහනය දුරස් වීමට හේතු වේ. දුර ගමන් යෙදේ. පිට පළාතක වෙසෙන්නාවූ අය හා සම්බන්ධකම් ඇති කර ගනී.

චන්ද්‍රයා දහවැන්නේ ගමන් ගන්නා දින දෙකහමාර තුළ බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකි වේ. දියුණුව ඇතිවන සහනදායී කාලයකි. මිල මුදල් අතින්ද වාසනාවන්ත කාලයකි. ආදර සංග්‍රහ විඳීන්නට අවස්ථාව උදා වේ. අන්‍යයන්ගෙන් උදව් උපකාර ලැබෙන්නා වූද තම කටයුතු හොඳීන් කරගැනීමට ද අවස්ථාවන් සැලසේ. ජලාශ්‍රිත වස්තු ලාභ ලැබීමට හේතු වේ. තම තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථා සැලසේ. උසස් අය හා ආශ්‍රයෙන් යහපතට කටයුතු සකස් වේ. මව් පස ඥාතීන් හා සබඳකම් අලුත් වේ.

චන්ද්‍රයා එකොළොස්වැන්නේ ගමන් ගන්නා කාලයේදී සැම අතින්ම දියුණුවට කටයුතු සැලසේ. යහමින් මුදල් ලාභ ඇති කරයි. කරන කියන සෑම කටයුත්තකින්ම සතුටට පත් විය හැකිය. සැනසීමෙන් යුතු කාලයකි. මැදිවියේ කාන්තාවන් හා සබඳකම් ඇති වේ. ඔවුන්ගෙන් ආධාර උපකාර ලැබේ. අලුත් හිත මිතුරන් ඇති වේ. ආශ්‍රය කරන අය අතර ජනප්‍රිය වේ. ගෙදර දොර සැප පහසුව ඇති වේ. අමතර ආදායම් මාර්ග සැකසේ.

දොළොස් වැන්නේ සඳු ගමන් ගන්නා දින දෙකහමාර තුළ අතපසු වීමකින් සිදුවිය හැකි වරදක් සම්බන්ධව කරදරයට පත් විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. තම ගෞරවයට හානිකර විය හැකි කරුණු යෙදේ. ගනුදෙනු වලදී පාඩුවක් විය හැකිය. හදිසි අනතුරු ,කරදර, තුවාලවීම් ආදියෙන් වැඩ කටයුතු ප්‍රමාදවීමක් සිදුවේ. ලාභ ප්‍රයෝජන අඩු වන්නා වූද ඥාතීන් හා කටයුතුවලින් කරදරයට පත් වන්නා වූද අවස්ථා මතු වේ. කේලම් ඕපාදූප කතා හේතුවෙන් මානසික සහනය දුරස් වේ. අවසනාවන්ත හා අලාභදායී කාලයක් බැවින් මනා සැලකිල්ලකින් කටයුතු කළ යුතුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.