වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
ඡ්‍යොතිෂයෙන් තුරඟ තරග දිනූ ක්‍රිෂ්ණමුර්තිතුමා
“මම ඉන්දියාවේ හැටහතර වාරයක් සංචාරය කිරීමට භාග්‍යවන්ත වීමි. මේ සංචාරයන් කිරීමට හැකි වූයේ විදේශ ශිෂ්‍යත්ව, විවිධ පාඨමාලා හැදෑරීමට යාම, රාජකාරි කටයුතු, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම්, සම්මන්ත්‍රණ/සම්මේලන ආදි ගෞරවණීය ඇරයුම් සහ වන්දනාමාන සංචාරයන්ට එක්වීම තුළිනි. එමඟින් මේ සුන්දර නාගරික ග්‍රාමයද මසැසින් දැකීමි.
එවකට මා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියකු වශයෙන් සේවය කරන කාලයේ ප්‍රවාහන අධිකාරිවරයකු වශයෙන් තනතුරු දරමින් සිටියදී දකුණු ඉන්දියාවේ තිරුචිරාපල්ලිහිදී දුම්රිය ප්‍රවාහනය සහ ආරක්ෂක නීති පිළිබඳ මාස තුනක පුහුණුවක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබ පැමිණීමි. මහාචාර්ය කේ.එස්.ක්‍රිෂ්ණ මූර්තිතුමාගේ ජන්ම භූමියද ඓතිහාසික වැදගත් ස්ථානයකි. තංජාවූර් පූජනීය නගරයේ උතුරු/නැඟෙනහිර දිශාවන්ට බරව නදී පහකින් පෝෂණය ලබන අති සුන්දර නාගරික ගම්මානයකි. තිරුවයියාරු ඉන්දියාවේ සුප්‍රසිද්ධ කාවේරි ගංගාව, කොලරූස් හෙවත් කොල්ලිඩම්, කුඩාමුරූත්ති, වෙන්තාර් සහ වෙට්ටාර් යන ගංගා පහ මෙම නාගරික ග්‍රාමය හරහා ගලායන්නේ එහි පරිසර රටාවට අති මහත් සුන්දරත්වයක්ද එක් කරමිනි.
මෙතුමාගේ ජන්ම භූමිය කාසි/වරණසි (බරණැස) ඓතිහාසික යුගයන්ට පුරාවිද්‍යාත්මකව නෑකම් කියයි. මා දුම්රිය ප්‍රවාහන පුහුණු පාඨමාලාව හැදෑරූ දකුණු ඉන්දියාවේ තිරුචිරාපල්ලීහි දුම්රිය පුහුණු අභ්‍යාස මධ්‍යස්ථානයට ටිකක් ඈතින් පිහිටි ශාන්ත ජෝසප් (st Joseph’s college) විද්‍යාලයෙන් මහාචාර්ය කේ.එස්. ක්‍රිෂ්ණ මූර්ති තුමන් මූලික අධ්‍යාපනය ලැබීය.
තිරුචිරාපල්ලිහි එකල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ‘සන්ධ්‍යාව‘ නමින් හැඳින්වූ ඉන්දීය සංස්කෘත නර්තන ප්‍රසංගයකි. අහඹු ලෙස වුවද මා හටද එහි ආරාධිතයකු වශයෙන් සහභාගි වීමට අවකාශය ලදිමි. එම පාසැලේ කේ.එස්. ක්‍රිෂ්ණ මූර්ති අනුස්මරණ ශාලාවේ සිට එය නැරඹීමට මටද අවකාශය ලැබිණි.
ක්‍රිෂ්ණ මූර්තිතුමා මූලික අධ්‍යාපනයෙන් පසු 1927 ජූලි මස 14 වන දින දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරාසියේ ගුයින්ඩි කිංග් ආයතනයේ (Guindy madras - king Insttute) මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සේවයට බැඳී ඇත.
රාජ්‍ය සේවයේ නිරතව සිටින කාලය තුළදී ද ඡ්‍යොතිෂ වැනි ආත්මීය ශාස්ත්‍රවලට මෙතුමා දැඩි ළැදිකමක් දැක්වීය. එබැවින් මහා කවි බ්‍රා ශ්‍රී සුන්දර රේසා සර්මාතුමාගෙන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීය. මහාචාර්ය කේ.එස්.ක්‍රිෂ්ණ මූර්තිතුමා පෙරදිග ඡ්‍යොතිර් විද්‍යාව මෙන්ම හින්දි භාෂාවද, වේදයද, බටහිර ඡ්‍යොතිෂ විද්‍යාවද ගැඹුරින් හැදෑරූ අයෙකි.
එයට අමතරව මෙතුමා තමිල්නාඩු ප්‍රාන්තයේ කංචිපුරම්හි (kanchi kamakoti peetham)
‘කංචි කමකෝටි පීත්තම්” නම් වූ හින්දු ආශ්‍රමික ආයතනයේ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ (sage Jagad guru Sri Shankacharya Swamigal) සේග් ජගඩ් ගුරු ශ්‍රී සංකාචාර්ය ස්වාමිගල්තුමා යටතේත් ඡ්‍යොතිර් විද්‍යාව හදාරා එම ආයතනයෙන් පිරිනමන (Lord Uchchista Maha Ganapathi) “ලෝඩ් උචිස්ටා මහා ගණපති” යන ගෞරව නාමයද දිනා ගත්තේය.
එසේ වුවද මහා ඡ්‍යොතිෂයෙන් හරියටම නිවැරදිව යමක් ඉලක්ක කොට සූක්ෂ්මව දින වකවානු සහිතව අනාවැකි කීමට නොහැකිවීම ගැන එතුමා මහත් කනස්සල්ලෙන් සිටියේය. මහාචාර්ය කේ.එස්. ක්‍රිෂ්ණ මූර්තිතුමා ඉතා ප්‍රායෝගික ඒ හා සමානව අද්විතීය හැකියාවකින් යුතු වටිනා පුද්ගලයෙකි. ඔහු නිරන්තරයෙන්ම ඕනෑම කාර්්‍යයක් යම් ක්‍රමානුකූල වැඩපිළිවෙළකට කිරීමට කැමැති අයෙකි. ඔහු අපේක්ෂා කළේ මිනිසා තුළ මේ ගුණාංග ඉහළින්ම දියුණු කිරීමටයි.
එනිසා සෑම සංසිද්ධියකදීම ඒ පිළිබඳව සූක්ෂ්ම විස්තර ඇතුළත් කිරීම තුළින් පර්යේෂණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ඔහුට හැකි විය. මෙම පර්යේෂණ සඳහා තම ජීවිතයේ වැඩි කාල පරිච්ඡේදයක් ඉතා සංවේදීව සහ මහා පරිත්‍යාගශීලී ලෙස කැප කරන්නට සිදුවිය. එතුමාට වුවමනා වුණේ යමෙක් දුක් වේදනාවලට නතු වන දින කාලවකවානු නිශ්චිතව ඉතා සියුම්ව නිවැරදිව දැන ගැනීමටත්
මහා ඡ්‍යොතිෂය මඟින් මෙතෙක් කවුරුවත් නොසිතූ දිශානතියකට යොමු කරමින් පුද්ගලයාගේ ඉදිරි ජීවිතය ඉලක්කයටම අනාවරණය කරගැනීමට අවශ්‍ය පද්ධති ක්‍රමවේදයක් ගොඩනැගීම ඔහුගේ පරම අභිලාෂය විය. එමඟින් ඉතා නිවැරදිව අනාවැකි පලාපල තොරතුරු විස්තර කර දෙන්නට අවකාශ ලැබීය.
මහදුරු ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා ඔහුගේ මෙම ප්‍රබල ස්ථානයට සපැමිණීමට පුදුමාකාර කැපවීම් සමුදායක්ම සිදු කළේය. සූක්ෂ්ම හා ඉතා නිවැරදිව යමක් පැහැදිලි ලෙස දැක්වීමට හැකියාවක් ලැබීම ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය ක්‍රමයෙන් ලොවට ඉටු කළ මහ මෙහෙවරයි.
ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය තමන් විසින් සොයා ගත් මුල් කාලයේ එම පර්යේෂණවල සාර්ථකත්වය මැනීම සඳහා විවිධ උපායශීලි ක්‍රමද අත්හදා බැලීම් කළේය. නිදසුන් ලෙස ඉන්දියාවේ තුරඟ තරඟ ඔට්ටු ඇල්ලීමට ග්‍රහයන් සහ උප අධිපති ග්‍රහයන්ගේ ගමන විමර්ශනශීලීව බලා එම රේස් ඔට්ටු දිනාගැනීමට, ජයග්‍රහණය කිරීමටද එතුමාට හැකියාව ලැබුණි. ඒ නිසාම ප්‍රදේශයේ ජනතාව ඔහුගෙන් ජයග්‍රහණය කරන අශ්වයා තෝරා ගැනීමට පෙළ ගැසුණු බව පොත පතේ සඳහන් වෙයි. මෙම අත්දැකීම් සම්භාරයම ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය විධිමත්ව සකසා ගැනීමට හොඳ තෝතැන්නක් ද විය. පර්යේෂණවල නිරතවීම තුළින් ලත් කායික මානසික පීඩාව නිවා ගැනීමට එතුමා දිනපතා භාවනා කිරීමට කාලයක් සේවයෙන් ස්වේච්ඡාවෙන්ම විශ්‍රාම ලබා එතැන් පටන් පූර්ණ කාලීනව ඡ්‍යොතිර් විද්‍යා පර්යේෂණවල දිගින් දිගටම නිරත විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය ඡ්‍යොතිෂයේ අලුතින්ම නිර්මාණය කොට ක්‍රිෂ්ණ මූර්ති ගණිත ක්‍රම උපයෝගී කොට නිවැරදිව ඉලක්කයටම අනාවැකි කීමට හැකිවන අයුරින් ඡ්‍යොතිෂ ක්‍රමවේදයන් ලොවට විවෘතව හඳුන්වා දුන්නේය.
1963 අපේ‍්‍රල් මස පළමුවන දින මෙතුමා තම ඡ්‍යොතිර් විද්‍යාත්මක ලිපි රැසක් පළකිරීමට Astrology and Adrishta නම් ග්‍රන්ථ මාලාවක් පළ කළ අතර එහි කර්තෘත්වය දැරුවේ මෙතුමාය. 1966 දී සහ 1967 දී ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ මෙම සුවිශේෂ පොත් දෙකිනි. පොතේ ප්‍රථම කාණ්ඩ දෙක නවදිල්ලියේ (sagar) සාගර් ජාත්‍යන්තර ප්‍රකාශන සමාගම මඟින් ප්‍රකාශයට පත් කරවීය. මේ ග්‍රන්ථ දෙක අද වන විට ලෝකයේ ඡ්‍යොතිෂ ඉගෙනීමට තිබෙන වටිනාම එසේම ගෞරවණීය මූලාශ්‍රයක් ලෙස අවිවාදයෙන් සැලකේ.
එතුමා උත්සාහ කළේ මුළු මහත් ලෝකයාට ක්‍රිෂ්ණ මූර්ති පද්ධති තුළින් නව ජීවයක්, බලයක් ඡ්‍යොතිෂ විෂයට ලබාදීමටය. ඔහුගේ සාර්ථක උත්සාහය පාදක කොට ගනිමින් ලෝකය පුරා ඔහුගේ අනුගාමිකයන් රැසක් බිහිවිය. එමෙන්ම මෙම ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය ලොව පුරා ඉතා කඩිනමින් ප්‍රචලිත විය.
ඔහුගේ මහත් වෙහෙසකර අධික කාර්යභාරය නිසා මුල් කාල වකවානුවල විවිධ කරදර බාධකවලටද මුහුණ දෙන්නට ද සිදුවිය. ඇතැම් අවස්ථාවල දැඩි තෙහෙට්ටුව නිසා කේන්ති ගන්නා ස්වභාවයද ඇතිවුවත් ක්‍රමානුකූලව භාවනානුකූලව ගත කිරීමට එතුමා පුරුදු පුහුණු වීමත් සමඟ ඒවා දුරලන්නට හැකිවිය. 1964 දී මහාරාෂ්ට ආණ්ඩුකාරතුමන් වූ ආචාර්ය පී.වී. චෙරියන් මැතිතුමාගේ සුරතින් මෙතුමාට “ඡ්‍යොතිෂ් මැරතන්”(Jyotish marathan) යන ගෞරව නාමය පිරිනමනු ලැබීය. එමෙන්ම 1970 ජුනි 29 වන දින මලායම් ඡ්‍යොතිෂ සංගමය වෙනුවෙන් (Malayan Astrological socity) එම්.පී. සිවප්‍රගශම් මැතිතුමාගේ සුරතින් (Sothida Manan) සෝතිද මානන්’ යන ගෞරව උපාධි නාමයද පිරිනැමිනි.
මහාචාර්ය කේ.එස්. ක්‍රිෂ්ණ මූර්ති මහතා තම අනුගාමිකයන්ගේ ඇරයුම මත හතර වතාවක් ශ්‍රී ලංකාවට සපැමිණ ඇත. අවසානයට සපැමිණ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින් පිටව යෑමේදී අහස්යානය පිටත්වන වේලාව තම අනුගාමික සංවිධායනයන්ගෙන් විමසා ඇත. ඔහු පිටත්වන යෝජිත නිශ්චිත වේලාව පෙරවරු 10.00 බව පැවසීය. ඒ මොහොතේ ගුවන්යානා මගී පර්යන්තයේ විවේකීව රැඳී සිටි ක්‍රිෂ්ණමූර්ති තුමා කඩිනමින් ගණිත ක්‍රමයක් උපයෝගී කරගැනීමෙන් පසුව තම අනුගාමිකයන්ට පවසා ඇත්තේ මෙම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළින් පිටත්වනුයේ පෙ.ව. 10ට නොව පෙ.ව.11.00ට බවය. එය සනාථ කරමින් ගුවන් යානය සත්‍ය වශයෙන්ම පිටත්ව ඇත්තේ එතුමා පැවසූ පෙ.ව. 11.00ට වීම පුදුම සහගත විය.
නිවුන් දරුවන් දෙදෙනකු විනාඩි කිහිපයක් තුළ ජන්ම ලාභය ලැබුවත් ඔවුන් එකිනෙකාගේ ගතිගුණ වෙනස් වේ. මෙහි වෙනස මහා ඡ්‍යොතිෂ ක්‍රමවේදයෙන් ඉතා නිවැරදිව හඳුනාගැනීම ඉතා අපහසුය. එහෙත් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය තුළින් රාශියන් කොටස් 249කට වෙන්කර භාව අධිපති සහ උප අධිපතිවරු දක්වන බැවින් ඉතා සූක්ෂ්මව පලාපල කථනය නිවැරදිව කළ හැකිය. විවාහය සිදුවන වේලාව, අවසානයේ මරණය සිදුවන කාලවකවානුවද නිශ්චය වශයෙන් කීමට ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය සමත් වෙයි.
තම ක්‍රමවේදය මඟින් තමන්ගේ මරණය වන වසර, දිනය, සහ වේලාව ඉතා නිවැරැදිව තම ගෝල පිරිසට පැවසූ මහාචාර්ය කේ.එස්. ක්‍රිෂ්ණ මූර්ති ශ්‍රීමතාණන් ලොවට වඩාත් ඵලදායී මහ මෙහෙවරක් ඉටුකර අවසානයේ 1972 මාර්තු 30 දින හරියටම අලුයම දෙකට මෙලොවින් සමුගත්තේය.
එතුමා මිය පරලොව ගියත් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය තවදුරටත් වර්ධනය කොට ඉදිරියට ගෙනයාමට මහාචාර්ය කේ.එස්. ක්‍රිෂ්ණ මූර්තිතුමාගේ පුත්‍ර රත්නයද, උතුරු ඉන්දියාවේ ඡ්‍යොතිෂවේදියකු වන එස්.පී. කුලර් තුමා සහ දිල්ලි ප්‍රාන්තයේ ආර්.එස්. චාති වැන්නන් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය වැඩි දියුණු කොට ඉදිරියට ගෙන යාමට සමත්වී ඇත.
රාශියක් කොටස් 249කට බෙදා වෙන් කළ මහාචාර්ය කේ.එස්.ක්‍රිෂ්ණ මූර්ති තුමා වෙනුවට එය තව තවත් තීව්‍ර සහ සූක්ෂ්ම කරමින් මෙතුමන්ලා රාශියක් කොටස් 2193කට කඩා වෙන්කොට තවත් සියුම්ව භාව 12ට උප, උප අධිපතියන් ලෙස වෙන්කොට භාවයන් අතර, අන්තර් සම්බන්ධතාවක් ගොඩනැඟීමට ද සමත්වී ඇත.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක
ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි
ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය
අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි
ආචාර්ය විජය සමරසිංහ