රටත් සම්බුදු සසුනත් රැකීමට වරම් ලබා සිටින ශ්‍රී විෂ්ණු දෙවිඳුන්

දෙසැම්බර් 31, 2021

අප රටට විජය කුමරු හා පිරිස ගොඩ බසින ලද අවස්ථාවේ ඔවුන්ගේ ආරක්ෂාව පතා පිරිත් පැන්, පිරිත් නූල් දී සෙත් කරන ලද්දේ මේ රටත් සම්බුදු සසුනත් රැකීමට වරම් ලබා සිටින ශ්‍රී විෂ්ණු දෙවිඳුන් විසිනි.

හින්දු දේව පුරාණය අනුව බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර ත්‍රිමූර්තියට ශ්‍රී විෂ්ණු දෙවියෝ ඇතුළත් වෙති. එතැන් පටන් හින්දු බෞද්ධ සියලුදෙනාගේම මහත් භක්ති ප්‍රණාමයට පාත්‍ර වී සිටිති. වෙසෙසින් සිහල බොදුනුවන් අතර දෙවි දේවතාවන්ට පුද පූජා කිරීම වැඩිදියුණු වූයේ 12, 13 සියවස්වල පොළොන්නරු යුගයේ දී ය. සැදැහැවත් බොදුනුවන් අතර දෙවි දේවතාවියන්ට පුද පූජා කිරීම ලෞකික පරමාර්ථ සඳහා ය.

ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවන යන දෙවිවරු සතර වරම් දෙවිවරු වූ අතර, ලංකාවේ විෂ්ණු, සමන්, ස්කන්ධ කුමාර, විභීෂණ යන දෙවිවරු ලෙස සැලකීම දක්නට ලැබේ. විෂ්ණු, උපුල්වන්, දැඩිමුණ්ඩ යන දෙවිවරුන් තිදෙන ම එකම දෙවියකු ලෙස සලකන ලද බව ද පෙනේ.

සිදුහත් අප මහා බෝසතාණන් වහන්සේට බුදු වීමට ඉඩ නොදේමි’යි වහසි බස් කියා දස බිම්බරක් මර සෙනඟ පිරිවරා වසවර්ති මාරයා ගයා බිම බෝමැඩට පැමිණිවිට එතැන රැස්ව සිටි දෙව් බඹුන් සියලු දෙනාම හිස් ලූ ලූ අත පැන ගියහ. එකම දෙවි කෙනෙක් පමණක් ඉතිරි වූ අතර එම දෙවිඳු විෂ්ණු දෙවියන් පමණකි.

වසවත් මරුටවත් බය නොවී දැඩිව සිටි නිසා ශ්‍රී විෂ්ණු දෙවිඳුට දැඩිමුණ්ඩ යන නාමය ලැබුණු බව කියනු ලැබේ. එහෙයින් විෂ්ණු දෙවියන් රාම බුද්ධ නමින් මතු බුදුවන සේක. මෙම කාරණය නිසා බෞද්ධ ජනයාගේ අපරිමිත භක්ත්‍යාදරයට පුද පූජාවන්ට භාජනය වෙයි. වෙනත් කිසිම දෙවි කෙනකුට නොදෙවැනි මහත් වූ තේජෝබල පරාක්‍රමයෙන් යුතු විෂ්ණු දෙවියන් ලෝක පාලක දෙවියන් ලෙස පිදුම් ලබති. අප්‍රමාණ සත්වයින්ට පිහිට වෙති.

ප්‍රධාන නම් 10, 31, 100 කට අධික වශයෙන් ලෝකයේ වැඩිම නම් සංඛ්‍යාවකින් විෂ්ණු දෙවියන් හඳුන්වති. ගොවිඳු, බලිරූප, දියබඳ, ගුරුළුද, උවිඳු, තෙවිකුම්, නිලග, සත්පණ දමෝරා, හරි හෙම්සළු එයින් කීපයකි. සිරි විෂ්ණු දෙවිඳුගේ ශරීරය නිල් පාටින් බබළයි. අත් සතරකි. සංඛ, චක්‍ර, නානක ආයුධ සතරකින් යුතුව වැඩ සිටිති. සකල සම්පතට අධිපති සිරිකත හෙවත් ලක්ෂ්මි දෙවඟන පි‍්‍රයම්බිකාව වන්නීය. මේ දෙවිඳු දස අවතාරයකින් එක් එක් යුගවලදී පෙනී සිටිති. මස්‍ය, කූර්ට, වරාහ, නරසිංහ, කෘෂ්ණ, බුද්ධ, කල්කි, වාමන, පරශුරාම, රාම යනු ඒ අවතාර දහයයි.

විෂ්ණු දෙවිඳුගේ මේ අවතාර දහයෙන් නවයක්ම ඉක්ම ගොසිනි. අනාගතයේ කල්කි අවතාරයෙක් ලොව පහළවෙයි. එයින් පසු සම්මා සම්බුදුවන සේක. ලෝකයේ ආයු කාලය යුග හතරකට බෙදා ඇති අතර, කෘත යුගයේ දී සුදු පැහැයෙන්, ක්‍රේථ යුගයේ රන්වන්වද, ද්වාපර යුගයේ රතුවන්වද, කලි යුගයේ නිල්වන්වද වශයෙන් විෂ්ණු දෙවියෝ විවිධ වර්ණයෙන් පෙනී සිටිති. මේ දෙව් උතුමා වෛකුණ්ඨ, ශක්‍ර භවනේ දකුණු පැත්තේ වාසල ද වැඩ සිටිති. ගුරුළු වාහනාරූඪව විශ්වයේ සැරිසරති.

එක් කලෙක සුරසුර දෙපිරිස එක්ව අමෘතය සෙවීම සඳහා මහමෙර කිරි සයුරේ බහා වාසුකී නාග රාජයා රැහැන කොට ගෙන අසුරයන්ට නාග මුඛය කොටස ද, සුරයින්ට වාලධිය කොටස ද දී දෙපසට අදිමින් කිරිසයුර කැළඹූහ. නාග විෂ වැදී අසුරයෝ විනාශ වූහ. කිරි සයුර කැළඹීමේ දී සිරිකත, සුරබිදෙන කල්ප වෘක්ෂය, සිතුමිණ, ඓරාවණ ඇතු, ධන්වන්තරී සෘෂිවරයා උම්මශ්‍ර අශ්වයා අමෘතය යන අති අනගි නවවිධ රත්න පහළ විය.

ලොව ආරක්ෂා කරනු පිණිස මේ මහා ධරණිතලය තුන් පියවර හමාරය මැන ශ්‍රී විෂ්ණු දෙවියන් බාර ගත් බව දේව පුරාණ පොතේ සඳහන් වේ. එක් කලෙක මහා බලසම්පන්න භෂ්ම නම් අසුරයා ඊශ්වර දිව්‍ය රාජයාට වසර 12 ක් සේවය කොට ඊශ්වර දැහැන ලබා ගෙන එයින් ඊශ්වර දෙවියන්ව අළුකර විනාශ කර දමමියි ලුහුබැඳ ගියේ ය. සිදුවන්නට යන විපත දුටු ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා මෝහිනි වේෂය මවාගෙන සම්‍යප්‍රයෝගයෙන් බෂ්ම රවටා විනාශ කර ඊශ්වර දෙවියන් විපතින් බේරා ගත්තේ ය. තවත් අවස්ථාවක දේව සමූහයා දුක් කරදරවලින් බේරා ගත් පුවතක් මෙසේ ය. අති පුරාණ කාලයේ දඹදිව මාවිලි නම් මහා බලවත් රාක්ෂ රජෙක් වාසය කළේ ය. මොහුගෙන් දෙවිවරුන්ට මහත් කරදර හිරිහැර සිදුවිය.

මේ නිසා විෂ්ණු දෙවියන් බමුණු වෙසක් මවා ගෙන රාක්ෂ රජුගේ මාලිගයට ගොස් අඩි තුනක ඉඩක් ලබාගෙන විශ්ව රූපය මවාගෙන එක් අඩියක් මහ පොළොවේ ද, එක් අඩියක් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ද එක් අඩියක් මාවිලි යක්ෂ රජුගේ හිසමත ද තබා අන්තිම අඩිය පාතාලය දක්වා ඔබා ඔහු විනාශ කොට දේව සමූහයා කරදරවලින් බේරා ගත්තේ ය. සීතා දේවිය පැහැර ගෙන ආ දශ දේශාධිපති මහා බලගතු රාවණා පරාජය කොට ඇය බේරා ගත්තේ ය. තවද එක් වරක නාරසිංහ අවතාරය රෞද්‍ර වූ ඉරණිය රජු මරා සුගලා සිංහාසනාරූඪ කරවා රටට සෙත සැලසුවේ ය. මෙසේ විෂ්ණු දෙවිඳු පිළිබඳ කථා දේව සාහිත්‍යයේ බොහෝ දක්නට ඇත.

විෂ්ණු දෙවියන් ලංකාවේ ඉතා ජනපි‍්‍රයම දෙවියන් බවට පත් වූයේ 13, 14, 15 සියවස්වලදී බව පෙනේ. මේ කාලසීමාවේ රචිත තිසර, මයුර, පරවි, කෝකිල යන සන්දේශ හතරම ඔප්පු කර ඇත්තේ උපුල්වන් හෙවත් විෂ්ණු දෙවියන්ටය. 15 වැනි සියවසින් පසු කතරගම දෙවියන් මේ ස්ථානයට පත්ව ඇති බව කිව හැකි ය. සෑම ප්‍රධාන විහාරස්ථානයකම විෂ්ණු දේවාලයක් හෝ ප්‍රතිමාවක්වත් දක්නට ලැබීම විශේෂයෙන් සඳහන් කළ යුතු අතර, සමන්ගිර, මක්කම, කැලණිය, තිරුපති, දිවා ගුහාව, දළදා මන්දිරය, ජය ශ්‍රී මහා බෝධිය, රන්ගිරි දඹුලු විහාරය, ඇත්කඳ විහාරය යන ස්ථානවල විෂ්ණු දේවාල දක්නට ලැබෙන අතර, ප්‍රධාන විෂ්ණු දේවාලය දෙවුන්දර පිහිටා තිබේ.

බොහෝ සිංහල ශාන්තිකර්මවලදී ප්‍රධාන වශයෙන් විෂ්ණු දෙවියෝ පුජා උපහාර ලබති. පහන්මඩු , ගම්මඩු පූනා මඩුවලදී මුලින්ම සඳහන් කරනු ලැබීමෙන් විෂ්ණු දෙවියන්ට දී ඇති විශේෂත්වය පැහැදිලිව පෙනේ. ලෝකය පාලනය කරන්නාවූ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ යනුවෙන් පූජෝපහාරයට ලක්වේ.

මහනුවර යුගයේ දී සතර දේවාල අතුරින් විෂ්ණු දේවාලය මහා දේවාලය යනුවෙන් හැඳින්වීමෙන් පෙනී යන්නේ එහි ඇති ශ්‍රේෂ්ඨතත්ත්වයයි. ගම්මඩු ආදී මඩු පූජාවන්වලදී පූජා ලබන තවත් ප්‍රධාන දෙවිවරු තිදෙනෙක් සිටිති. සිද්ධ පත්තිනි දෙවොල් වාහල දෙවිවරුන් අතුරින් සුවපත් කිරීමෙහිලා සාර්ථක කාර්යභාරයක් ඉටුකරාවි යන විශ්වාසය තිබෙන අතර විෂ්ණු, නාථ යන මතු බුදුවන බෝසත් දෙවිවරු ලෞකික කටයුතුවලින් ඈත්ව සිටිය හැකි නිසා යන ආකල්පයක් ද ඇත.

බොදුනුවන්ට ධම්මපදය මෙන්ම හින්දුන්ට භගවත් ගීතාව තා වැදගත් උතුම් ග්‍රන්ථ වේ. විෂ්ණු දෙවියන් කෘෂ්ණා නමින් මිනිස් වෙසින් ලොව පහළ කරන ලද දේශනා භගවත් ගීතාවට ඇතුළත් වේ. විනාශයෙන් මකර කටින් ලොව ගලවා ගැනීම සඳහා මහබඹුගේ ඇරයුමෙන් ලොව පහළ වූ මහා පුරුෂයාණන් වූ ක්‍රිෂ්ණා හෙවත් විෂ්ණු දෙවියෝ වෙති. විෂ්ණු දෙවියෝ ඡ්‍යොතිෂයට ද සම්බන්ධ වවී සිටිති.

ඊශ්වර දෙවිඳුගේ කියමනක් ලෙස පරාශර සෘෂිවරයා විසින් විෂ්ණු ශ්‍රී කාන්තා එක්වන වේලාවට යමෙක් උපන්නේ නම් ඔහුට සියලු සැප සම්පත් පහළ වේ. ජන්ම පත්‍රයක ත්‍රිකෝණ ස්ථාන ලක්ෂ්මි ස්ථානය නමින් ද කේන්ද්‍ර ස්ථාන 4 විෂ්ණු ස්ථාන නමින් ද හැඳින් වේ. එහෙයින් මේ ස්ථාන දෙකේ අධිපති ග්‍රහයින් එක්වීම නිසා රාජයෝග උදාවන ආකාරය පරාශරයේ විස්තර වේ.

 

ඡ්‍යොතිෂ ඉඳුවර කිවිපති

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.