ගිනි පෑගීමේ ආරම්භය සීනිගමින්ද?

ජුනි 30, 2023

ශ්‍රී ලංකාවේ වාර්ෂික දේවාල පුද පූජෝත්සව අවසානයේ ගිනි පෑගීමේ පුණ්‍ය කර්මයක් දක්නට වෙයි. ඇතැම් දේවාල වාර්ෂික ඇසළ මහා පූජෝත්සවය අවසන් රාත්‍රි පෙරහර නිම කොට අලුයම දේවාල භූමියේ ගිනි පෑගීම කරයි. ඇතැම් දේවාල (විශේෂයෙන් පෙරහර නොපවත්වන) සන්ධ්‍යා භාගයේ සිට අලුයම තෙක් දෙවියන් පුදමින් අලුයම් වේලෙහි දේවාල භූමියෙහි ගිනි පෑගීම සිදු කරයි.

මෙම ගිනි මැළය සකස් කරනුයේ මනා සැලකිල්ලෙනි. ප්‍රවේශමෙන් වැදගත් ලෙසය. ගිනිමැළය අඟුරු බවට පත්වන තෙක් සකස් කෙරේ. දේවාලයේ ප්‍රධාන කපු පූජක හා අනිත් පූජකයින්ද ගිනි පෑගීම සඳහා බැතියෙන් සැදී පැහැදී සිටින අනෙක් පිරිසද මස්, මාළු, උම්බලකඩ, සුරා ආදියෙන් වැළකී පිරිසුදුව පේවී සිටිති. දිලිසෙන ගිනි අඟුරු මත ප්‍රධාන පූජක තැන පා තබා තරණයට බට කල්හි ඔහු පසු පස අනෙකුත් පූජකතුමන් තවත් බැතිමතුන්ද සමඟ පේළියට එකා පසුපස එකා ලෙස ගිනිමැළය තරණය කරනු පෙනේ. දේව භක්තියෙන් හදවත් පුරවාගත් ඔවුහු තෙවරක්ම මෙසේ ගිනිමැළය තරණය කරති. සිය දෙවිඳුන්ගේ තෙද බල පරාක්‍රමය පිළිබඳ විශ්වාසයෙන් යුතුව දේව විශ්වාසය හා දේව බලය නිසා නොදැවී ගිනි පෑගීම සිදුකරන බව පවසයි. සැබවින්ම ගිනි පෑගීම දෙවිඳුන්ගේ තෙද බල ඔප්පු කරන ක්‍රියාවලියකැයි විශ්වාසය මේ ගිනි පෑගීම කවර කරුණකින් කෙසේ කවදදා වීද යන්න ගැන නිශ්චිත පුරාවෘත්ත දක්වා නැත. එහෙත් මේ සම්බන්ධයෙන් සීනිගම දෙවොල් දෙවිඳු පිළිබඳ කතා පුවතෙහි හේතු ගැබ්ව ඇතැයි පෙනේ.

ශ්‍රී දෙවොල් දෙවි පිළිබඳ කථා පුවත විවිධ ලෙස පෙනේ. එහෙත් ඒ කවරක වුවද සඳහන් වන කරුණක් නම් ගිනි පෑගීමෙන් පසු ගොඩ බැසීමට අවසර ලද බවයි.

දඹදිව ස්වර්ණ කුදුප්පර නුවර ස්වර්ණ රාමසිංහ රජුට තෙදපති, ගුණපති අමිතා පති, සිරිපති, මිහිපති, යසපති, ගිනිපති යන සත් බිසෝවරු වූහ. එක් එක් බිසව පිළිවෙළින් දෙවොල් යාම හිරු රැස්,සඳ රැස්, තෙද රැස්, අග්නි රැස්, මහා රැස් කුඩා රැස් යනුවෙන් පුතුන් ලදහ. මුරණ්ඩු අකීකරු මොවුන් ජනතා පැමිණිලි මත රජතුමා නැව් මඟින් රටින් පිටමං කරන ලදී. තවත් විටෙක කියනුයේ ඔවුහු වෙළෙඳාමේ යෙදුණවුන් ලෙසය.

තරණය කළ මුහුදු යාත්‍රාව කැඩී යේ සක් දෙවිඳු ගල් පහරක් මවා දීමෙනි. ඉන් සමුදුර යාත්‍රා කරනුයේ ලක්දිවට එයි. එය යාපා පටුනට ගොඩබසින්නට තැත් කරයි. මානවට්ට කුමරු අවසර නොදෙයි. පානදුරයට එයි. කඳකුමරු අවසර නොදෙයි. දෙවුන්දරදී උපුල්වන් දෙවි ලනු මෝදරදී දැඩිමුණ්ඩ දෙවි, උණවටුනේදී දේවරජ්ජුරු බණ්ඩාර දෙවි, ඊරිගල දී වාහල දෙවි, ගිංතොටදී සමන්දෙවි ආදීහු ගොඩබසින්නට ඉඩ නොදෙති. මෙසේ නව තොටමුණකින් ගොඩබැසීමට ගත් උත්සාහය අසාර්ථක වී. අවසානයේ “සක්කරසොබ්බ” තොටින් (සීනිගංතොට) ගොඩබැසීමට ආ කල්හි එම ප්‍රදේශයේ පත්තිනි දේවියට දෙවොල් සාමි ඇතුළු පිරිසගේ ස්වභාවය දන්න හෙයින් කිසිසේත් ගොඩබැසීමට ඉඩ නොදෙන්නැයි බල කරති. දෙවොල් සාමි ඇතුළු පිරිස පත්තිනි දේවියට තම ඥාතීත්වය පවසමින් කාරුණික අවසරය පතති. පත්තිනි දේවිය කකුසඳ බුදුන් කල පද්මිණි නමින් ඉපිද එම බුදුරදුනට මී අඹයක් පුදා පත්තිනි මෑණියන් වීමට පැතුවාය. ඇයගේ බාල සොහොයුරන් වූ දෙවොල් සාමි ඇතුළු පිරිස කකුසඳ බුදුරදුනට කඨින චීවර පුදා දෙවොල් දෙවි වීමට පැතූහ.

තමන්ගේ සොහොයුරන් වන මොවුනට පිහිටවීමට යුතුකම යැයි පත්තිනි දේවිය අවබෝධ කරගෙන ගොඩබැසීමට ඉඩ නොදෙනු ලෙස බල කළ විරුද්ධවාදි දෙවියන්ට තමන්ද මේ ගොඩබැසීම වළක්වන බව පවසමින් ගිනිවැට සතක් මැවූහ. පත්තිනි දේවිය තමා මවන ගිනිවැට මේ පිරිසට මැඬීමට හැකි බව දනියි. ගිනිවැට සත මැඬලුවොත් පමණක් ගොඩබැසීමට අවසර දෙන බව කියයි.

‘දෙවොල් සාමි ඇතුළු පිරිස ඉතා පහසුවෙන් ගිනිවැට මැඬලති.

සිද්ද පතිනි දිව නෙතට පෙනෙන්නේ

සුද්ද සීනිගම් තොට දැක එන්නේ

සිද්ද පතිනි ගිනි වැටක් මවන්නේ

වැද්ද නොදී ගිනි කඳ පාගන්නේ

 

දෙවොල් සාමි ඇතුළු පිරිසට මේ ගිනි මැළ කිසිදු ප්‍රශ්නයක් නොවේ. දෙවොල් දේවි යාදින්නේ මෙම ගිනි ජාලා මැඬීම සෙල්ලම් කටයුත්තක් සේ දක්වයි.

පයින් ගසා ගිනි වීසි කරන්නම්

අතින් ගසා ගිනි පන්දු කෙළින්නම්

කටින් සපා ගිනි ගල් උරවන්නම්

ඉතින් දෙවොල් ගිනි ජල කඳු කන්නම්

 

ගින්දර සියො ගත ගෙන සිසිලෙසි නා

ගින්දර සිසිලෙස ජල ඉස් නානා

ගින්දර සිසිලෙස පිනිදිය ගානා

ගින්දර සිය ලෙස කර දෙවි වඩිනා”

 

පත්තිනි දේවිය මැවුයේ මහා රුදුරු ගිනිකඳු හතකි. දෙවොල් සාමි ඇතුළු පිරිස මහත්වූ මෙම අභියෝගයට මුහුණ දෙන ආකාරය බැලීමට පල්ලේබැද්ද, අලුත්නුවර, කළුකුමාර, දේවතා බණ්ඩාර, කළුබණ්ඩාර, කීර්ති බණ්ඩාර, ගඟේ බණ්ඩාර, ආදි දිවයිනේ දොළොස් මහා දෙවිවරුද පැමිණි බැව් කියැවෙයි. තේජෝ බල දෙවොල් සාමි ඇතුළු පිරිස එම ගිනි මැළ හතම දෙබෑ කරමින් තරණය කළ අතර, ඉන් ප්‍රසාදයට පත් දිවයිනේ දොළොස් මහා දෙවිවරුද, පත්තිනි දේවියද දෙවොල් සාමි “දෙවොල් දේවියි” ලෙස දේව සභාවට භාරගත් බව කියැවෙයි. පත්තිනි දේවිය සීනිගම දෙවොල් සාමි ඇතුළු පිරිසට බාරදී තමා නවගමුවට ගිය බවද පැවසේ. දෙවොල් දෙවියන් පිළිබඳ පූජෝත්සවයේදී ඔවුන්ගේ ආගමනය ගිනිමැළ මැවීම, ගිනිමැළ තරණය සිහිපත් කෙරේ.

දෙවොල් දෙවි අග්නි දේවතාවෙකු ලෙසද සැලකෙතත්, බුදුගුණ අලංකාරය ග්‍රන්ථයෙහි දක්වා ගිනිදෙවි පිදීමක් කිසිසේත් සිදු නොවන අතර, සීනිගම දෙවොල් දෙවි පිළිබඳ අග්නිපූජා ඊට වෙනස් වූ ගිනි පෑගීම වෙයි. දෙවොල් දෙවියන්ගේ අනුහස පෙන්වීමට ගිනි පෑගීමේ සිරිත දක්නට වෙයි.

“විලේ මසුන් කෙළිනා ලෙස සෙනඟ සියල්

කැලේ අඟුරු දඬු ඇත තව ඇද නොඉඳුල්

දොළේ ගිලී නෑවාසේ වේය සිසිල්

මැළේ පාගන්ඩ වරමක් දෙන්ඩ දෙවොල්

 

හින්දූහු කතරගම දෙවි “කදිරවේල්” නමින් ද වහරති. කදිරවේල් දකුණු ඉන්දියාවේ තෙද බල පුරුෂයා ගල්පහුරකින් මුහුදු තරණය කළ අතර, එම යාත්‍රාව සීනි ගංතොටට ආවේය. කලක් එහි රැඳුණු හේ දෙවුන්දරට ද කතරගමටද පිවිසියේය. එබඳු පුවත් බලනවිට කතරගම දෙවි මුලින් ඇවිත් ඇත්තේ සීනිගම දෙවියන් හා සම්බන්ධිත සීනිගමටය. දෙවොල් දෙවි පිළිබඳව එන ගිනිමැළ මැවීම, ගිනි පෑගීම සංකේතාත්මක කරමින් කතරගම ගිනි පෑගීම සිදුවෙතැයි හැඟේ. කතරගම පමණක් නොව උණවටුන, ගිංතොට, කොස්ගොඩ, උඩුගල්පිටිය, බේරුවල, පානදුර, යාපපටුන, වේරගොඩ, අම්බලන්ගොඩ, බලපිටිය, මිරිස්ස ආදි රට පුරා පවත්නා දේවාල යන්හි ඇසළ පූජෝත්සවයේ ගිනි පෑගීම දක්වන අතර, එම ලක්ෂණය සීනිගම හා සම්බන්ධිත බව පෙනී යයි.

අභාවප්‍රාප්ත සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාල භාරකාර මණ්ඩලයේ සභාපති ඒ.පී. ඤාණදාස මහතා “සීනිගම දෙවොල් දෙවි පෙරහැර” කෘතිය අරඹන්නේ සිරිලක දේවාලවල ගිනි පෑගීම සීනිගමින් ඇරඹුණ බව පෙන්වමිනි.

තෙද යුතු දෙවොල් දෙවියන්ගේ පැමිණීම

පතිවත සුරැකි පත්තිනිය බල පෑම

ඉන් ඇරඹුණු සීනිගම ගිනි පෑගීම

සිරිලක පුරා පැතිරිණි දෙවොලක සෑම”

 

 

කලාභූෂණ, ශාසනදීපන, සාහිත්‍ය කීර්ති

ආචාර්ය සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.