මම් කෙසේ පවසම් මෙසේ සත් සරට මුසු වූ රූ රටා

ජුනි 23, 2023

වර්ෂ 1925 අපේ‍්‍රල් 5 වැනි ඉරිදා රාත්‍රී 12.57ට ධනු ලග්නයෙන් උපත ලද සංගීතවේදී චිත්‍ර ශිල්පී සුසිල් පේ‍්‍රමරත්න මහතාගේ ලග්නාධිපති ගුරු (බ්‍රහස්පති) ස්වක්ෂේත්‍රව ඇත. 4 වැනි මීන රාශිය රවි ශුක්‍ර යෝගව උච්ච ක්ෂේත්‍රව සිටින අතර, බුද්ධියට අධිපති බුධ සුබව ඇත. කුජ ද සමයි. රාහු සතුරුද පීඩනකාරීව සිටී. සඳු මිත්‍රයි. ශනි උච්චයි.

 

මෙම කේන්ද්‍රයේ රාහු හැර අන්‍ය ග්‍රහයින් ඉතාම ධනාත්මකව සිටී. හෙළයේ මහා චිත්‍ර හා මූර්ති ශිල්පියා වූ ඇම්. සාර්ලිස් මහතාගේ එකම පුත්‍රයා වූ සුසිල් පේ‍්‍රමරත්න උපතින්ම පංච මහා සම්පත්තියට ම හිමිකම් ලද්දෙකි. කඩවසම් පෙනුම ලබාදී ඇත්තේ ගුරුය. රවි ශුක්‍ර සතරවැන්නේ සිට සතර කේන්ද්‍රයම දකී. එකම අඩුපාඩුවකට ඇත්තේ සුසිල් මහතාගේ මෑණියන් ඔහු කුඩා කල්හිම මිය යෑමයි. චිත්‍ර ශිල්පයට සහ සංගීතයට දක්ෂයෙක් විය. පියාගේ ජානමය උරුමයෙන් චිත්‍ර කලාවට නැඹුරු විය. වයස 13දී බයිසිකලය පදින විට දී තරමක අනතුරකට භාජනය විය. හේතුව කුඩා කල සිටම ඇස් පෙනීමේ දුබලකමය.

අම්බලන්ගොඩ ආඳාදොළ උපන් ගමින් ගල්කිස්සේ සිරි රඳන නිවසටත් දෙමටගොඩ පැරණි නිවසටත් හිමිකරුවෙක් විය. අතමිට සරුසාර වූ සුසිල් මහා කලාවේදියා ඉතාම සංවේදී අයෙකි. එතුමා ළඟින්ම ඇසුරු කරන්නට වාසනාව මට පෑදුණේ සාර්ලිස් මහතාගෙන් චිත්‍ර ශිල්පය ඉගෙනීමට සිරිරඳන ගෙදර සිටි නිසාය. චිත්‍රපට බැලීම සුසිල් මහතාගේ එකම විනෝදාංශය විය. ගෙදරට එදා පැමිණි මහාකලාවේදීන් රැසක්ම විය.

ග්‍රහ හැසිරීම් රටාව අනුව 11 වැනි අයස්ථානයේ ශනි බලවත් වීම නිසා ගේදොර ඉඩකඩම් හා මූල්‍ය සම්භාර රැසක්ම හිමි වී තිබිණ.

පෙර කරන ලද පින්කම්වල බලශක්තිය නිසාම 9 වැන්නේ සඳුගේ හැසිරීම අනුව කිසිදිනක දුක් ගැහැට නොවිඳින සේ ජීවිතය ගෙන යෑමට වාසනාව හිමි වී තිබිණ. රවි ශුක්‍ර තරමක කාමනිශ්ශි‍්‍රත යෝගයක් බැවින් මනස සෞන්දර්යට ඉබේම හැරී තිබිණ. ඔහුගේ පි‍්‍රයමනාප කඩවසම් ශාරීරික පෙනුම නිසා ඉහළ පෙලේ සුරූපී කාන්තා දෑස් යොමු වූ වාර අනන්තයි. බුද්ධිමත්කම නිසා උගුල්වලින් ද බේරි සිටියේය. උපතින්ම දක්ෂයි. ගීත කෝකිලාවිය වූ ලතා මහත්මිය සමඟ යුග ගී ගයා තිබේ. එදා ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකි.

මේ සියලු කරුණුවලට මූලාශ්‍රය වූයේ ඔහුගේ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම් රටාවයි. ලග්නයේ ගුරු සිටීම ලක්ෂයක් ග්‍රහ දෝෂ භංග කිරීමකි. සුසිල් මහතා විවාහ වී සිටියේ ගල්කිස්සේ ඉඩම් හිමි වැවිලිකරුවකුගේ දියණිය වූ විමලා මැතිණිය සමඟයි.

ලංකාදීප පත්‍රයේ චිත්‍ර ශිල්පියා වූ සුසිල් මහතා ජනප්‍රිය චිත්‍ර කතා රාශියක්ම පාඨකයින් වෙත තිළිණ කර තිබේ. ඔහු ගැයූ “රූ රැසේ අඳිනා ලෙසේ” යන ගීතයට අදටත් පණ තිබේ.

දවසක් ගෙදර පැමිණි බස් ව්‍යාපාරයක් හිමි ලියෝ ප්‍රනාන්දු මහතා සිගරැට්ටුවක් පත්තුකර එයින් බාගයක් බී තවත් සිගරැට්ටුවක් බොන අන්දම දුටු සුසිල් මහතා ඇසුවේ ලියෝසර් ඔබතුමා දවසකට සිගරැට් කීයක් බොනවද කියාය. හරියටම මතක නෑ සිගරැට් පැකට් 10ක් විතර බොනවා කියා එවිට ඔහු පිළිතුරු දුනි. එතකොට 100 විතර ඇතිනෙ.

එහෙනම් පළමුවැනියා දුම්වැටි 375ක් විතර දවසට බීපු 6 වැනි ජෝර්ජ් රජ්ජුරුවො. දෙවැන්නා දෙසියගානක් බීපු ආර්.ජී. සේනානායක. එතකොට ඔබතුමා 3 වැනියා ද කියාය. ලියෝ මහත්තයා ඇහුවා ඔයාගෙ තාත්තා බුද්ධරූප හදනවනෙ. ඉතින් ඒකට වඳිනවද?

තාත්තා බුද්ධ රූප ඇඹුවා මාව හැදුවා ඒ නිසා තාත්තා මට නං කවදාකවත් වැඳලා නෑ. කියලා සුසිල් මහත්තයා කිව්වේය.

පණීභාරත මහත්තයා දවසක් ඇහුවා ඈ සුසිල් පුතා ඔය උඩරට නැට්ටුවා ඔයාට පේන්නෙ මොන විදියකටද? මට නම් පේන්නෙ ඉස්සරහ පැත්ත දෙවියෝ වගෙ පස්ස පැත්තනම් ගන්නම දෙයක් නෑ. හරියට වෙසක් තොරණ වගේ.

ඔහු උපහාසාත්මක ලෙස කතා කිරීමේ රුසියෙකි.

ගුරුවරයෙක් මිස්ට සුසිල් ඔය මහීස කියන නමේ තේරුම මොකක්ද? මී හරකානෙ. එතකොට කපින්දු කියන්නෙ. වඳුරු නායකයා. අසණි කියන්නෙ අකුණුවලට හරි හරි අයෝනි කියන්නෙ. හැබැයි. මංගල යෝජනා ප්‍රතික්ෂේප වෙන නමක්නෙ. මෙවැනි රස කතා කියන්නට හරිම රුසියෙක් සුසිල් මහතා. එතුමා ළඟින්ම මට ඇසුරු කරන්නට මට ලැබීම මහා වාසනාවක් ලෙස දැනෙන්නේ අදය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.