වරදවා නොගත යුතු කාම නිල

මැයි 12, 2023

 

කලාව කියන්නේ ක්‍රමය කිවොත් හරිනේ. අපි ඕනෑම දෙයක් කරන්නට ඕනෑ කිසියම් ක්‍රමයකටයි. ඡ්‍යොතිෂයේ කලාව කිව්වේ ඒක නොවෙයි. අහල ඇති ද මන්දා ඡ්‍යොතිෂයේ කලාව, කාමනිල, මර්මස්ථාන, යෝග, සුබ - අශුභ, පුර තිථිය, අව තිථිය, ගැන. මේවා ක්‍රියාත්මක වන්නෙ ග්‍රහ බලපෑම් උඩ. වඩදිය, බාදිය සිදුවන්නෙ තිථිවලට අනුරූපව බව දන්නවනේ.

 

පුරාණ මිනිහා පැළ සිටෙව්වෙත් මේ කාල වෙනස බලලනේ. පුර තිථිය කිව්වේ මාසේ පුර පසළොස්වක දිනයට දින 14ක් කලින්. අව තිථිය කිව්වේ දින 14 ක් පසුව. දැන් තේරෙනව ඇති බොහෝ දේවල් සිදුවන්නේ චන්ද්‍රයාගේ බලපෑම උඩබව.

 

ජ්‍යෝතිෂයේ කලාව

මේ නිසාම චන්ද්‍රයාගේ බලපෑම ඡ්‍යොතිෂයට ඉතා වැදගත්. කලාවට වැඩ කළාම ප්‍රයෝජන ගොඩයි. මතකද ඔබේ පුංචි දූ කුමරියට කරාබු පැළඳූ දවස. කිසිදු කරදරයක් නැතිව ලස්සනට තිබුණා. දැන් ලස්සනට තෝඩු දාලා ආඩම්බරයෙන් ඉන්නවා. අල්ලපු ගෙදර දුවගේ කන විදලා කන පැහැවලා තුවාල හැදිලා කන කැත වුණා. ඒ තිථි වෙනස් කරල කළාම එහෙම වෙනවා. පුර තිථිය ලේ ධාතුව හිසට දෙසටත්. අව තිථීයට ලේ ධාතුව හිසෙන් බැහැරටත් ක්‍රියා කරනවා. මේ වෙනස ඈපා පංචාංගයේ 20 වැනි පිටුවෙන්. ලංකා ග්‍රහස්ඵුටේ 78 වැනි පිටුවෙන් සඳහන් වෙලා තිබෙනවා. කොටින්ම කිව්වොත් කලාව කිව්වේ ශරීරයේ ලේ ධාතුව ක්‍රියාත්මක වන වේලාවයි. නැත්නම් උද්දීපනය වන වේලාවයි.

දැන් කතා කරමුකෝ ශරීරයේ ‘නිල’ ගැන. නිල වර්ග දෙකයි. එකක් “මරු නිල” අනික “කාමනිල” මරුනිල ගැන වෛද්‍යවරුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා. කාමනිල ගැන ඡ්‍යොතිර්වේදීන්ට, ගුප්තවේදීන්ට හොඳ අවබෝධයක් තිබෙනවා. මේ දෙකම ස්නායු පද්ධතියට භාරයි. මරු නිල ගැන වැඩි විස්තර කියනකොට ලේ ධාතුව තුළ ඇති සංඝටක ගැන වැඩි දැනීමක් තිබිය යුතු අතර කාමනිල ගැන කියනකොට ඡ්‍යොතිෂයේ රවි ග්‍රහයා - අඟහරු ග්‍රහයා, බුධ ග්‍රහයා හා චන්ද්‍රයා ගැන වැඩි දැනුමක් අවශ්‍ය කරනවා. මේ කලාව සහ කාම නිල ක්‍රියාකරවීමේ දී නිවැරැදි පුහුණුවකින් නිවැරැදිව කරන්න ඕනෑ. වැරදුණොත් වැරදුනාමයි.

 

මරු නිල

මනුෂ්‍යයාගෙන්, හස්තියාගෙන් නළල මැද්දේ තදබල මරුනිලයක් තිබෙනවා. තදින් පහර දීමක් වුණොත් මරණය පවා සිදුවෙනවා. එක් අයෙක් අනිකාට පෙනෙන්ට කිසියම් කෑමක් කනකොට අනිකාගේ මුඛයේ කාම නිල ක්‍රියාත්මක වී කෙළ ගැලීමක් ඇතිවනවා. ඒ ආශාව නිසා. විශේෂයෙන් නළා පිඹින්නෙකු ඉදිරියේ ඇඹුල් වර්ගයක් කෑවොත් එයාට නළාව පිඹින්න බැරි වනවා. සාමාන්‍ය මිනිසුන් “ඛේට ග්‍රන්ථින් ක්‍රියාත්මක වනවා” කියනවා.

ඉස්සර කාලේ කුලහීනයෝ කිව්වේ “රොඩී” කුලයට අයත් මිනිසුන්ට. මේ කාම නිල ගැන ඔවුන්ට දැනුමක් තිබුණා. ඒ දවස්වල ගෙවල්වලට හිඟමනේ ආවම ගෙදර බවලත් උදවිය, ගැහැනු ළමයි ඉදිරියට යැව්වේ නැහැ. වයසක ගැහැනුන් හා පිරිමින් විතරයි ඔවුන්ට දෙනදෙයක් දුන්නේ. ඒ ඇයිද කියනව නම් අපේ අල්ල මැද්දේ තිබෙන කාමනිලය ඔවුන් දැනගෙන හිටියා. හිගමන් ගන්නා ගමන් ඒ නිලයද තද කරනවා. ඒ නිලය හරි ක්‍රියාශීලියි. මේ කාමනිලයි. වශී ගුරුකම් වලයි තද සම්බන්ධයක් තිබෙනවා. විශේෂයෙන් කාම මාතාංගේෂ්වරි යන්ත්‍රය මතුරන මන්ත්‍රවල මේ ස්වර ලඝු - හර අකුරු යොදා තිබෙනවා. ගේ කුරුල්ලගේ ශරීරයේ මේ කාම නිල නිතර උද්ධීපනය වෙලයි තිබෙන්නේ. මේ වශී යන්ත්‍ර මතුරන කොට පිරිමියෙකු වශී කරනවා නම් දිෂ්ටි යන්ට ඕනෑ, මදන මෝහිනීටයි. ගැහැනියකුට නම් මදන යකාට වන්ට ඕනෑ. මේවා දැනගෙන කරන්න ඕනෑ. මේ කාම මැතුරුවත් නැතත් වැරදිල වත් කාම නිලයක් ස්පර්ශ වුණොත් වැඩි දුර යාවි ඔබ හිතුවට වඩා. පිරිමින්ට වඩා ස්ත්‍රීන්ගේ ශරීරයේ කාම නිල සංවේදීයි. ඒකයි කියන්නේ ස්ත්‍රීන් සමඟ කතා කරනකොට ශරීරය ස්පර්ශ නොකර කතා කරන්න කියලා මේ කාම නිලයක් ස්පර්ශ වුණාම තැනක්, වේලාවක්, තත්ත්වයක් ගැන සැලකිල්ලක් නැහැ. සතෙක් වුණත් උගේ කාම නිලයක් ත්‍රියාත්මක වූ වේලාවකදී අල්ලන්න පහර දෙන්න යන්ට එපා. ඒ වෙලාවට ඌ හරි නපුරුයි. විශේෂයෙන් මද කිපුණ හස්තියා නිදසුනකට ගතහැකිය. සාමාන්‍යයෙන් මේ කාම නිල ශරීරයේ කොතැනක, කොයිවෙලාවක කොහොම ක්‍රියාත්මක වනවද කියල කාටවත් කියන්න බැහැ. ගැහැනු ළමයෙක්ගේ මල්වරයෙන් පසුවත් පිරිමි ළමයෙකු සාමාන්‍යයෙන් අවු. 14ට පසුවත් මේ කාම නිල ක්‍රියාත්මක වනවා. වර්තමානයේ නම් ගන්නා කෘත්‍රිම ආහාරවලට අනුව මේ වයස වෙනස් වනවා. මේ කාම නිල කොච්චර සංවේදි ද කිව්වොත් හිතාගන්ට වත් බැරි සිද්ධීන් සිදුවනවා. මේ කාම නිල ගැන විශේෂ විස්තරයක් තිබෙන පොතක් තමයි, “කාම සූත්‍රම්” කියන ඉන්දියානු පොත. ඒ දවස්වල නම් ඉංගී‍්‍රසි ඇතුළු භාෂා කීපයකින්ම පළකරල තිබුණා. ඒකේ තිබුණු එක කතාවක් කියන්නම්කෝ ඔබේ වැඩි පැහැදිලිතාවයට.

 

සපතේරුවා

එක දවසක් සුවඳ විලවුන්වලින් නාවාගෙන ඉතා පියකරුව හැඳ පැලඳගත් වැදගත් යයි සම්මතයේ සිටි එක්තරා තරුණ කාන්තාවක් ගමනක් යනකොට අතරමඟදී ඇගේ සෙරෙප්පුව කැඩුණා. සපත්තු කඩයක් අහල ස්ථානයක නොතිබූ නිසාත් සෙරෙප්පු නැතිව ගමන යන්නත් බැරි නිසා මොකද කරන්නෙ කියල හිතල වටපිට බලනකොට වාසනාවට ඇය දුටුවා වීදියේ එක කෙළවරක සපත්තු හදන අයෙක්ව. මේ මිනිහා ඉතා වැහැරී ගිය ශරීරයකින් යුතුව ඩාදිය දාගෙන සිටිය අපිරිසුදු මිනිහෙකු වුණත් වෙනත් කළ හැකි දෙයක් නොවූ නිසාත් සෙරෙප්පුව හදන්න ඒ මිනිසාට දුන්නා. හදිසියෙන් මේ සෙරෙප්පු මහපු නිසා පටිය ටිකක් කොට වෙලා මැහුණා. ඒක නිසා මේ කාන්තාවට ඒ සෙරෙප්පුව කකුලට දමාගන්න ටිකක් අපහසු වුණා. සපත්තු හදන මිනිහා උදව්වට කාන්තාවගේ කකුලේ සෙරෙප්පුව දමන්ට යද්දී කාන්තාවගේ කකුලේ ඇඟිල්ලත් ස්පර්ශ වුණා. ඒක අහඹුවෙන් සිදු වූවක්. මෙම ස්පර්ශය ඒ මනුෂ්‍යා වරදකට කළේ වත්, වැරැදි හැඟීමකින් කළ දෙයක් නොවුණත් ඒ අවස්ථාවේ කාන්තාවගේ කකුලේ මාපට ඇඟිල්ල අස්සේ තිබූ කාම නිලය උද්දීපනය වුණා. ඉන්පසු සපතේරුවා අර කාන්තාව සමඟ ඇති වූ සම්බන්ධය නිසා මහා ධනවතකු බවට පත් වුණා.

සාමාන්‍යයෙන් අඩ අඳුරේ, තනි පංගලමේ දී කාමනිලවල ක්‍රියාකාරිත්වය වැඩියි. සමහර පිරිමි ඒ වෙලාවට දුම්වැටි පාවිච්චි කර එය නිවාරණය කරගන්නවා. ඒවා තාවකාලික අයහපත් පිළියම්. පුරුද්දට ගියොත් නරකයි.

සමහර චිත්‍රපටවල පවා මෘත ශරීරාගාරවල ඇතැම් සිදුවීම් පෙන්වන්නේ එවැනි කාමනිල උත්තේජනය වීමේ ප්‍රතිඵලයක් ලෙස බව කිව හැකියි.

මම ඔබට කලින් කිව්වා “මාතාංගේෂ්වරි” යන්ත්‍රය ගැන. ඒක සාමාන්‍ය මාතාංගේෂ්වරිය නොවේ. මම කිව්වේ කාම මාතාංගේෂ්වරිය ගැන. ඒක නිකං පලඳින්න එපා.

අද සමාජයේ සමහර අය ඉන්නවා ඒ අය විවාහක තෘප්තිය කැමැති නැහැ. කොටින්ම කිව්වොත් ආශාව තිබුණත් ශරීරයේ කාමනිල ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒක පවක් නැත්නම් කළ අකුසලයක ප්‍රතිඵලයක් කියලයි බුදු බණ පොතේ සඳහන් වන්නේ. ඒ අයට තමයි මේ කාම මාතාංගේෂ්වරිය ප්‍රයෝජන. ඒකේ ජප මන්ත්‍රවලට කාම අක්ෂර ගණ පිහිටුවලා ඇතුළත් කර තිබෙනවා. මේ යන්ත්‍රයෙන් කෙරෙන්නේ ශරීරයේ ක්‍රියාත්මක නොවන කාම නිල කරන එක විතරයි. ඔය දුර්වලකමටම තමයි ගේ කුරුලු හෝමෝනය ශරීරගත කරන්නේ. මොකද ගේ කුරුල්ලා හරි කාමාධිකයි.

මේ කාමනිල උද්දීපනය වීම මනුෂ්‍යයාට වරෙක යහපතටත් වරෙක අයහපතටත් බලපානවා. කලින් කියූ කතාවේ සපත්තු හදන මිනිහා පොහොසත් වුණේ කාමනිලය යහපත් ලෙස ක්‍රියාත්මක වුන නිසා. නමුත් සමහර අයට අයහපත් ලෙස උද්දීපනය වීමෙන් හිර කූඩුවල තපින්නත් සිදුවනවා. ඒ නිසා දෙපාර්ශ්වයම මේ ගැන දැනගෙන ඉවසීමෙන් හා කල්පනාවෙන් කටයුතු කරන එක කාටත් ගුණයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.