දෙවිවරුන්ගේ පංචතූර්ය නාදයෙන් බිහි වූ රබාන

අප්‍රේල් 14, 2023

 

රබානේ උපත පිළිබඳව බොහෝ ජනප්‍රවාද කතා කීපයක්ම පවතී. ඉන් එක් කතාවකින් කියැවෙන්නේ සිදුහත් කුමරුගේ උපත සිදු වූ අවස්ථාවේ දී දෙවිවරුන් පංචතූර්ය නාදයක් පැවැත් වූ බවත් එම අවස්ථාවේදී රබානේ උපත සිදූ බවත් ය. එමෙන්ම ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා කකුසඳ බුදුන්ට ශබ්ද පූජාව පවත්වා ඇත්තේත් රබානක් වාදනය කරමිනි. විජය රජු ලක්දිවට පැමිණි කුවේණිය හා විවාහ වූ දිනද රබානක් වැයූ බව සඳහනි. අනොධ්‍ය නම් බ්‍රාහ්මණ මහා සම්මත රජු ඉදිරියේ රබානක් වාදනය කිරීමෙන් පසු රබාන බිහි වූ බවද කියති.

 

එක්තරා යුගයකදී එක් පුද්ගලයෙක් නිදා සිටියදී, සිහිනයක් දුටුවේ ය. ඒ සිහිනය අනුව පසුවදා කැලයට ගිය ඔහු සඳුන් ගසක් කපා එහි අරටුවෙන් රවුමක් සාදා රබානක් සාදාගත් බවත් සඳහන්ය.

බුදු මඟුලට සොර න

පසඟතුරු ගොසකරමි න

පළමු බෙර එකසි න

එයට නම් වීය රබානක් ය න

 

එකැස් බෙරය නමින් හැඳින්වූයේත් රබානටයි. රබාන තනි ඇහැක් ඇති එනම් එක්වාදන පෘෂ්ටයක් ඇති වාදන භාණ්ඩයකි.

 

පළමුව මෙලක තුළ

විජය බා නිරිඳු රජ කළ

විවාහ සිදුවු කළ

රබන් නර්තනය රටට විය මුළ

 

කිසියම් සුබ කටයුත්තක් සඳහා යොදාගනු ලබන රබාන රට පුරා එකම දිනකදී වයන්නේ නම් ඒ උදාවන සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේදී පමණකි. රබාන බිහි වූ දින සිට හැමදාමත් පවතින්නේ ඒකාකාර හැඩයකටයි. ඒ යම්කිසි රවුමකට මැදව සමෙන් හිදැස්ස පුරවා තිබීමෙනි. සිංහල හින්දු අවුරුද්ද හැරුණුවිට රබානෙන් ගනු ලබන ප්‍රයෝජන රැසක් වේ. ගමේ ගොඩේ ගෙදරක දැරියක් මල්වර වූ විට, විවාහ මංගල්‍යයකදී හා මනාලියකගේ පාරිශුද්ධතාවය කියාපෑමටත් යොදා ගන්නා රබාන මුල්ගල් තැබීමකදී, විවෘත කිරීමකදී, විරිඳු ගායනා කිරීමකදී මෙන්ම පෙරහරකදී රබන් කැරකැවීමෙන් රබන් ගැසීමෙන් ද වාදනය කරමින් යයි. රබන් පද බොහොමයක්ද සැදී ඇත්තේ ගැමි ජීවිතයට උචිතවන අයුරින් හා කතා අනුසාරයෙනි. සිංහල අවුරුද්දට ගම් ගෙවල්වල ගසන්නේ බංකු රබාන හා අත් රබානය. බංකු රබාන අනෙක් රබාන්වලට වඩා වෙනස්ය. බංකු රබාන කනු තුනක් හෝ හතරක් සිටුවා ඒ මත රබාන තබා කාන්තාවන් මෙන්ම පිරිමින් ද එක්වර රබන් ගැසීම සිදු කරයි.

අවුරුද්දට රබන් ගැසීමේදී රබන් පද කියමින් රබන් ගැසීම එදා මෙන්ම අදත් පැවත එන සිරිතකි.

 

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත

පෙට්ටගමක් මත තුට්ටු දෙකක් ඇත

මොනරුන් දෙන්නෙක් පිල්විදහාගෙන

ඉර සේවය කරතෙයි ඉදන් බිම

ඉරසේවය කරතෙයි කරතෙයි

කපුටන් දෙන්නෙක් ඒක බලාගෙන

කාක්කාක් කියතෙයි -

උඩ ඉඳ කාක් කාක් කියතෙයි.

 

 

උඩපල ගත්තත් වට්ටක්කා

බිමපල ගත්තත් වට්ටක්කා

උඩපල ගත්තත් බිම පල ගත්තත්

පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

 

 

රන් වන් රන්වන් රන්මුදු දා ලා

රන්වන් දැතේ වළලු දමා ලා

රබාන වටකර සිටින නගා ලා

රබන් ගසන්නට වරෙන් නගා ලා

 

අවුරුද්ද ඔප කරන රබන් පද අසාගෙන සිටින අයට ඇතිවන්නේ මහත් සතුටකි. සමහර කාන්තාවන් මෙන්ම පිරිමින් ද රබන් පද වයමින් නටති. රවුම් යමින් රබන් පදයට අනුව අලංකාරවත් ලෙස ඉරටුවලින් හා වැළමිටෙන් හා අත්පොළසන් දෙමින් රබන් ගසති.

 

එගොඩ ගොඩෙත් රත්තරන් - මෙගොඩ ගොඩෙත් රත්තරන්

එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත් - ඇතෙක් බරට රත්තරන්

 

රබාන ගැන කතා කිරීමේදී ජනප්‍රවාදයේ කතා බොහොමයක්ම අසන්නට ලැබෙන්නේ ගම්බදවයි. ඒ අතර ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා කකුසඳ බුදුන්වහන්සේට ශබ්ද පූජා පැවැත්වීමට රබාන උපයෝගි කරගත් බවත් එක්තරා මිනිසකු සිහිනයක් දකිමින් සඳුන් ගසක් කපා එය මැන සඳුන් ගසේ රවුමට එළුවකුගෙන් ගන්නා ලද සමක් වේළා සඳුන් ගසේ වටරවුමට ගසා රබානක් සාදා ඉන් දෙවියන්ට ශබ්ද පූජාවක් පැවැත් වූ බවත් සඳහන් වෙයි. විශ්කම්භය අඟල් දොළහක් දාසයක්වන තරමට කොස් හෝ මිල්ල ලීවලින් සාදා රවුමට එළුහම් හෝ හරක් සම් රවුමට තබා ඇණ ගසා රබාන සාදා ගනිති. අවුරුද්දට ගන්නා රබාන කණු තුනක් හෝ හතරක් ආධාරයට ගෙන වයන විශාල රබානකි.

 

ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර

 

සටහන මාධ්‍යවේදී,

බී. ඇල්. ප්‍රේමරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.