කඳසුරිඳුට හරියටම පූජාව තියන්නේ ‍ෙමහෙමයි

මාර්තු 10, 2023

 

ලෝකවාසී බැතිමතුන්ගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වු රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගෙන බෞද්ධ හින්දු බැතිමතුන් කතරගමට පැමිණ දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරගනු ලබයි.

 

කතරගම දෙවියන් යනු යුද්ධයට අධිපති දෙවි‍යෙකි. සිංහල යාතිකාවල සඳහන් වන පරිදි ,‘මේ ශ්‍රී ලංකාද්වීපයට යහතින් බැල්ම දිවැස් හෙළන මුහුණු සයක් මවාගෙන මුහුණු සයට සමාන වු අත් දොළොසක් මවාගෙන රන මයුර වාහනය පිට නැගී තාරකා සුර අසුර සංහාරයක් කර දේව සේනාධිපති පදවියක් දරා ගෙන රුහුණු මහා කතරගම දේවාලයට බැල්ම දිවැස් හෙළන මහේ ශාක්‍ය කතරගම දෙවි හාමුදුරුවනේ‘යනුවෙන් දෙවියන් වෙනුවෙන් පුද පුජා තබන පිරිස් කතරගම දෙවියන් ආමන්ත්‍රණය කරති.

 

නිවැරදිව දෙවියන්ට පූජා පවත්වමු

 

කතරගම යන එන බැතිමතුන් දේවාලයක් වෙත ගොස් තබන පලතුරු පුජාවන් තුළ තැබීය යුතු පලතුරු මොනවා දැ යි කියා දන්නේ ඉතාම සුඑ පිරිසකි. කතරගම දෙවියන්ට තබන පුජා සම්බන්ධවයි මෙම සටහන.

පලතුරු පුජාවේ, සෙත් පුජාවේ පලතුරු වෙන් වශයෙන් ද වස් පුජාවේ පලතුරු වෙන් වශයෙන් ද හඳුන්වයි. පලතුරු යනු තුරේ පලයි. හෙවත් ගහේ ගෙඩියයි. එවිට වැලේ පල හෝ පඳුරේ පලතුරු නොවේ.

මෙහි දී සෙත් සඳහා සෙත් පුජා පලතුරු තෝරා ගත යුතුවේ. අවැඩ සඳහා වස් පුජා පලතුරු තෝරාගත යුතුය. නාමාවලියේ සඳහන් වන්නේ මදුල සහිත පලතුරු පිදීම වඩා වැදගත් බවයි. නොඑසේ නම් ඒ තැන ගඩාගෙඩි වලට දීමේ වරදක් නොමැති බව ග්‍රන්ථ වල සඳහන්වේ.

 

සෙත් පුජාවේ පලතුරු

 

වැළ වරකා, වැලි අනෝදා, කටු අනෝදා, දුරියන්, සැපතිල්ලා, බෙලි, අඹ, දෙළුම්, ගිරිතිල්ල, පේර,වෙරළු, උගුරැස්ස, කරඹ, ජමනාරං, පැණි දොඩම්, ජම්බු, කජු පුහුලන්, වීරපලු, මොර, කිරල, මැංගුස්

 

වස් පුජාවේ පලතුරු

 

සිදරන්, දිවුල්, ඇඹුල් පේර, නාරං, අන්නාසි, කාමරංගා, රඹුටන්, කිරිල්ල, යකිනාරන්, රඹුටන්, පැපොල්, ඇඹිල්ල, ගල් අන්නාසි, ජම්බෝල, ඇඹුල් පේර, ඇඹුල් දොඩම් වේ.

 

සෙත් පුජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග

රත් කෙසෙල්,සුදු කෙසෙල්, කෝලිකුට්ටු, ඇඹුල් ,හොඬරවාලු, සුවදැල් ,ඇම්බුම් ආනමාලු, සීනි කෙසෙල්ය.

 

වස් පුජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග

 

ඇට කෙසෙල්, ඇටී කෙසෙල්, අලු කෙසෙල්ය.

දේව පුජා සඳහා පැනි කොමඩු, සීනි කැකිරි, වැනි දේ ද තබනු ලබයි. ඒවා එළවළු ගණයට අයත් වේ. එමෙන්ම අන්නාසි තැබීම නිතර සිදු වුවත් ඒ පුජාවෙන් සෙතක් නොවේ. සුනියම් කැපීමට ගන්නා ද්‍රව්‍ය අතර අහු,අන්නාසි, ජම්බෝල, සිදරන්, කාමරංගා, පුහුල් මුලිකත්වයක් ගනු ලබන ද්‍රව්‍යයන්වේ.

 

දෙවියන්ගේ පුජාව සඳහා අවශ්‍ය දේවල්

 

සෙත් පලතුරු වර්ග 07ක්, තැඹිලි ගෙඩි 01ක්, පොල් ගෙඩි 01, උක් ගස් කැබැල්ලක්, කෙසෙල් ඇවරියක්,කපුරු, බුලත්,හඳුන්කූරු,සුවඳ හමන ස්වාභාවික මල් මාලයක්, පිරිසිදු පොල් තෙල්,දෙවියන්ගේ පුජාව සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් වේ.

 

කතරගම දෙවියන් හා බැඳුණු දේවාල

 

කතරගම දෙවියන් සිව දෙවියන්ගේ හා පාර්වති දෙවඟනගේ පුතකු වන අතර නුවණට අධිපති ගණ ‍දෙවියන්ගේ සහෝදරයා ලෙස දේව පුරාණයේ සඳහන් වේ.

මෙයට වසර 10000කට පමණ පෙර ලොව සිදු වු දරුණුම යුද්ධය සුර අසුර යුද්ධය ලෙස දේව පුරාණයේ සඳහන් වේ. අසුරයින් පැරදවීම පිණිස දෙවියන්ගේ ප්‍රධානියා වු ශිව දෙවියන් මහා විෂ්ණු දෙවියන් එක් ව සුබ්‍රමනියම් දෙවියන් (කතරගම දෙවියන්) ඕප පාතිකව ඉන්දියාවේ මදුරාසි දිස්ත්‍රික්කයේ පිහිටි සරවනපේයිහෝ විල (සරවනවිල) තුළ උප්පත්තිය ලැබු බව කතරගම දෙවියන් ගැන කියැවෙන කථාවන් හි සඳහන් වේ.

තාරක,ගජමුඛ, සිංහමුඛ, යන අසුරයන් නසා දෙවියන් අතර යුද සේනාධිති ලෙස පත් වූ කතරගම දෙවියන් නම් රැසකින් හඳුන්වයි.

ස්කන්ද, සුබ්‍රමනියම්, කර්තිකේය, මුරුගා, කන්දේ යකා, කන්දස්වාමි, යන විවිධ වු නම් වලින් හඳුන්වන කතරගම දෙවියන් සතු ප්‍රධානම දේවාල 07ක් මෙරට පිහිටා තිබේ. ලක්දිව පිහිටි ප්‍රධානම දේවාලය වන්නේ රුහුණු මහා කතරගම දේවාලයයි.

කතරගම දෙවියන් උප්පත්තිය ලැබුවේ කුජ දින (අගහරුවාදා) දෙනට නැකතින්ය. ලේ හදිසි අනතුරු වැනි දේවල් සිදු කරන මෙම කුජ ග්‍රහයාගෙන් උප්පත්තිය ලැබු ස්කන්ද කුමාරයා වෙනුවෙන් පුඳ පුජා තබන කෙම්මුර දෙකකි. ඉන් ප්‍රධාන දිනය වන්නේ කුජ (අඟහරුවාදා) දිනයයි. අනිත් දිනය වන්නේ සිකුරාදා දිනයයි. යුද්ධයට අධිපති දෙවියන්ගේ පාට (වර්ණය) වන්නේ රතු පාටවේ.

අප රටේ ජනයා බුදුන් පළමු කොට ගෙන දෙවනුව වැඳුම් පිදුම් සිදු කරන දෙවියන් වන්නේ කතරගම දෙවියන් වේ. කුඹුරක ගොයම පාගා බුදුන් වෙත පුජා කර කතරගම දෙවියන් වෙත අලුත් සහල් වෙන් කර තබන ගොවි ජනයා එය කතරගම දේවාලයට රැගෙනවිත් දෙවියන්ට පුජා කරති.

ගොවිපොළක අලුත් එළවලු පලතුරු හටගත් විට කතරගම දෙවියන්ට පලතුරු කඩා ගෙනවිත් පුද පුජා තබයි. අලුතින් රථ වාහනයක් ගත් විට දී රථයේ ප්‍රථම ගමන වන්නේ කතරගමයි. පොල් මලක් රථයේ ඉදිරියේ ගසා ගෙන විත් කතරගම දේවාලයේ දී පඬුරු ගැටගසා ආශීර්වාදය ප්‍රර්ථනා කර ගැනීම සිදුවේ. මෙයට අමතරව රෝගී වු අවස්ථාවක දී අනතුරක් වු විට දී මුලින්ම සිහිකරන දෙවියන් වන්නේ කතරගම දෙවියන් වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.