පතිවතේ බලයෙන් පඬිපුර ගිනි තැබූ පත්තිනි ‍ෙදවඟන

ජනවාරි 27, 2023

අප රටේ සිංහල බෞද්ධයන් පුද පූජා පවත්වන දෙවිවරුන් අතර ප්‍රධාන තැනක් පත්තිනි දෙවියන්ට ලැබේ. උන්වහන්සේ දකුණු ඉන්දියාවේ මධුරා පුරයේ උපන් පතිවතින් ප්‍රසිද්ධ උතුම් කාන්තාවකි. පඬිරජු විසින් සිය සැමියා කෝවලන් සැක කොට මැර වූ හෙයින් ඇය සිය පතිවත බලයෙන් පඬිපුර ගිනිලවා හාස්කම් කළා ය.

පත්තිනි දෙවඟන ගින්නෙන්, මලෙන්, අඹෙන්, දෙමට මලෙන්, නුග කොළෙන්, හෙණයෙන්, නයි කඳුළින්, පිනි බිඳුවෙන් ආදියෙන් සත් වාරයක් උපන්නීය. එහෙයින් සත්පත්තිනි යැයි කියති. ජනප්‍රවාදයේ එන හැටියට දෙමට මලෙන්, ගිනි කඳෙන්, නයි කඳුළින්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිඟා රැලෙන්, මවිත අඹෙන්, සළු පොටෙන්, නුග කොළෙන්, කදුරු පොත්තෙන්, හෙණයෙන්, ජලයෙන් ආදියෙන් දොළොස් වාරයක් උපන් නිසා දොළොස් පත්තිනි යැයි ද සඳහන් වේ.

සිංහල ජන විශ්වාසය අනුව පත්තිනි අඳුන්ගිරි පර්වතේ හිඳ බුදු බව පතා උග්‍ර තවුස් දම් හි භාවනාවන්හි යෙදුණාය. ඇගේ සීල බලයෙන් සක් දෙවිඳුගේ පඬුපුල් අස්න උණු විය. ඇගේ සීලය විමසීමට බමුණු වේශයක් ගත් ශක්‍රයා, එහි පැමිණ නැගණියනි, මට දානයක් දුන මැනවයි අයැදුමෙන් ‘ඕකත් මට අපූරුවක් ද කියා අඳුන්ගිරි පර්වතය පයින් මඩකර සුවඳ ඇල් වී වපුරා එයින් බත් සාදා ශක්‍රයාට පිළිගැන්නුවාය. එතුමිය බුදු බව පතා සිටින්නීය.

දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ සීලප්පදිකාරම් මහා කාව්‍යයේ පත්තිනි උපත හා දේවත්වයට පත්වීම සවිස්තරව සඳහන් වේ. බෞද්ධ මහා කාව්‍යයක් වන මණිමේඛලාවේද පත්තිනි පුවත කියැවේ. මේ මහා කාව්‍ය දෙක ක්‍රි.ව. 500 - 900 අතර ලියැවී ඇති බව ඇතැම් වියතුන්ගේ මතයයි. පත්තිනි පුවත බෞද්ධ හා ජෛන සංකල්ප අනුව හැඩ ගැසී තිබෙන බව පෙනේ. ඒවා කෙටියෙන් පහත සඳහන් වේ.

ඉහත කී ලෙස සීලප්පදිකාරම් පොතේ කියවෙන පරිදි වෙළෙඳ කුලයේ උපන් කන්නගී නම් කත සමකුල කෝවලන්ට ළාබාල වියේදීම විවාහ කර දුන්නේ ය.

පසුව මාධවි නම් වෙසඟනක හා මිත්‍රව ධනය නසමින් කලක් විසූ කෝවලන් නැවත කන්නගිය වෙත එයි. වෙළඳාම පිණිස මුදල් සොයා ගන්නට කන්නගිගේ පාසළඹක් විකිණීමට මධුරාපුරයට ගිය කෝවලන් එහි රජ බිසවගේ සළඹක් ද නැති වී තිබූ නිසා එය ගත් සොරා ලෙස චෝදනා ලැබ මරණයට පත් කරනු ලබයි. මේ සිදු වූ අසාධාරණය ගැන කන්නගිය කළ සාපයෙන් රජු හා බිසොව මිය යති. කන්නගිය සිය වම් පයෝධරය සිඳ නගරයට විසි කරන්නීය. එයින් වෙහෙර විහාර භික්ෂූන් ළමයින් හැර මුළු නගරයම ගිනිබත් වේ.

පන්තිස් කෝල්මුර නම් කෝට්ටේ අවධියේ රචිත කවි පන්තියට අනුව - එක්තරා කලිඟුපුර සිටුවරයෙක් මහා දානයක් දී දඹදිව අග රජු වීමට පැතීමෙන් මධුරාපුර මහ රජුව ඉපදුනේ ය. ඔහුගේ මානය මර්දනය කිරීමට පතා එබඳුම මහ පින්කමක් කළ කාන්තාවක් එම රජුගේ අඹ උයනේ අඹයක උපත ලබන්නීය. අන් කිසිවකුට නෙළීමට නොහැකි මේ අඹය නිසා රජුගේ තෙද නැති වේ. වෙස් වළාගත් සක් දෙවිඳු ඊයෙන් විද බිම හෙලූ පසු එය කළයක බහා ගඟේ පා කර හැරිය අතර, එය සොයා ගත් වෙළෙන්දෝ අඹෙන් උපන් කුමරිය හඳුනා ගනිති.

පත්තිනි පැතුම නම් නව කවි පන්තියකට අනුව මෙය කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා ඈතට දිවෙයි. පත්තිනියගේ, දෙමාපියෝ ද ඒ බුදුරදුන් දවස විසූ මනිමේග නුවර තිරිමා කුලඟණත් වෙළඳ සිටුත් ය. ඕ සත් හැවිරිදි වියේ පිරිවර කැටුව නෑමට යන විට කාලිංග නුවර සිටුවරයකු භික්ෂූන් වහන්සේලාට චීවර දානයක් දෙන බව අසා තමා ද දන් දෙනු කැමතිව කඨින චීවර දහසක් ද සෙසු පිරිකර තුන්දහසක් ද දන් දුන්නා ය. ඇගේ යෙහෙළියෝ දානයට මී අඹ ගෙනාහ. ඉන් එකක් නරක්වී තිබුණ හෙයින් පත්තිනිය එය පැළ කළාය. එය පැළවී අගනා අඹයක් පල ගත් කල්හි පත්තිනිය එය කකුසඳ බුදුරදුන්ටත් රහතන් වහන්සේලාටත් පුජා කර එපිනෙන් අඹයක ඉපදීමට ප්‍රාර්ථනා කළා ය. ඇය පැතූ තවත් දේ අතර මහ රජෙකුගේ මානය දපනය කිරීම, දෙවි මිනිසුන්ට වඩා තෙදවත්වීම, දසැඟිල්ලෙන් ගිනි විහිදුවන්ට හැකිවීම, එය අමා දියෙන් නිවන්නට හැකිවීම යනුය.

දඹදිව කාවේරි ගඟබඩ වෙළඳ කුලයක උපන් පාළඟ කුමරුට පත්තිනිය විවාහ කර දෙයි. පාළඟ වෙළඳාමට යද්දී මාදේවි නම් වෙසඟන හා එක්ව ධනය නසයි. පසුව කන්නගිය වෙත නැවත යන ඔහුට විකුණා මුදල් උපයා ගනු සඳහා තම අගනා පා සළඹ දෙකෙන් එකක් දෙන්නීය. මෙහිදී රජ බිසවගේ පාසළඹ සොරා ගත් වරදට නිරපරාදේ චෝදනා ලබන ඔහු මරණයට පත් කරයි. ඔහු සොයා යන කන්නගිය සත්‍ය ක්‍රියා බලයෙන් සැමියාට පණ ලබා දෙන අතර, ඔහු දෙව්ලොවට යයි. රජ සබයට යන කන්නගිය බිසවගේ නැති වූ සළඹ සොයා දී එය පොළොවේ ගසන ලදින් ඉන් නැඟුණු ගින්නෙන් නුවර දැවේ. සීලප්පදිකාරම් මහා කවේ ද මේ කතාව එයි. එහෙත් එහිද වැදි පූජාව නම් කවි පෙළට අනුවද ගින්න ඇති වන්නේ පත්තිනි සිය පයෝධරය කඩා පොළොවේ ගැසීමෙනි. පසුව අමා විලක් මවා ගිනි නිවන කන්නගිය දෙව් ලොවට යන්නීය. පසු දිනක දෙව් ලොවින් බසින ඇය වැදි රටට ගොස් පත්තිනි දේවිය ලෙස පුද පූජා ලබන්නීය. එහිදී කරන පැතුම පහත සඳහන් කවියෙන් කියවේ.

 

එක් හිමි මම පැතුවෙමි

දුක් විඳ හිමි කැටුව එමි

එන මෙත්තේ මුනිඳු දකිමි

මමත් පිරිමි බවක් ලබමි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.