වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පහන් තබා දෙවියන්ට දීර්ඝායුෂ පතන ආලත්ති අම්මලා
රුහුණු මහ කතරගම දේවාලයේ පැවැත්වෙන පූජාවන්ට ප්‍රථම ආලත්ති අම්මලා විසින් පහන් පූජාවක් පවත්වා කතරගම දෙවියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම චාරිත්‍රයක් ලෙස ඉටුකිරීම පැවැත එන සිරිතකි. මෙසේ පහන් පූජාව පවත්වන ආලත්ති අම්මලා කිරිඅම්මලාගේ පරපුරට අයත් වල්ලිමාතාවගෙන් පැවැත එන අය වේ. කතරගම මහ දේවාලයේ ආලත්ති පූජාවට ආලත්ති අම්මලා දොළොස් දෙනකු සහභාගි වේ.
ඔවුන්ට මෙසේ පූජාව තැබීමට කතරගම දෙවියන්ගෙන් වරම් ලබාගෙන ඇති බව සඳහන් වේ. කතරගම දෙවිඳුන්ගේ බිරින්දෑ දෙදෙනා අතරින් වල්ලි දෙවඟන ආදිවාසීන්ගෙන් පැවැත එන තැනැත්තියකි. වල්ලි අම්මා දෙවඟනා කතරගම සෙල්ලකතරගම ප්‍රදේශයේ තණ හේනක මුවැත්තියක් ළඟ උපත ලබා එම තණ හේනේ වැසි නන්ද නම් වැදි නායකයකුගේ ආරක්ෂාව යටතේ හැදී වැඩුණු බවත් සඳහන්ය.
මෙම තණ හේනට සමීපව තවුසකු භාවනා යෝගවී සිට ඇත. දිනක් වන පෙත පුබුදුවාලමින් මිහිරි හඬකින් ගී ගායනා කරන ලදකගේ ශබ්දයක් ඇසී එදෙස විපරම් කිරීමේදී ඉතා සුන්දර සුකුමාල තරුණියක් දැකගන්නට ලැබී ඇත. මේ මහා වනාන්තරයේ මෙතරම් සුන්දර ළදක් කෙසේ සිටින්නේ දැයි සිතූ තාපස තෙමේ රූපශි‍්‍රයෙන් අගනා මැය නම් සුදුසුවන්නේ ඉන්දියාවේ සිටින ස්කන්ද කුමරුට යයි නිගමනය කොට වහා ඉන්දියාවට ගොස් ස්කන්ද කුමරු හමුවී එම පුවත සැළකර සිටින ලදී. මෙහිදී තාපස තුමාගේ ඉල්ලීම පරිදි ලංකාවට පැමිණි ස්කන්ද කුමරු වල්ලි හා පෙමින් බැදී විවාහය සෙල්ලකතරගමදී සිදුකර ගන්නා ලදී.
එමෙන්ම තවත් ජනප්‍රවාදයකින් කියවෙන්නේ ඉන්දියාවේ පලනිකන්දේ සිට පැමිණි කදකුමරුවන් දෘඩක් රැගෙන මහල්ලකුගේ වෙස් මාරුගෙන එදා එහි තිබූ අසුර බලකොටුවට රහසේ ඇතුළුවී ඇති අතර එම අවස්ථාවේදී කාවඩි නටමින් සිටි වල්ලිගේ නර්තනය දැකීමෙන් හා වල්ලි ගේ රූපශි‍්‍රය දැකීමෙන් පෙම්බැද විවාහ වී ඇති බවයි. මෙම විවාහ මංගල්‍යයට ගණ දෙවියන්ද පැමිණ ඇති බවත්ය. සෙල්ලකතරගම පිහිටි වල්ලි ගුහාව වල්ලී ඉපදුණු ස්ථානය බවත් පැවසේ. වල්ලි දෙවඟනගේ සුළු පියා වන මහා අසුරයාගේ රැකවරණයේ හැදුණු වැඩුණු වල්ලී ආලත්ති කිරි මවුවරුන්ගේ මත්තෙහි ආරක්ෂාකාරීව හැදී වැඩී ඇත. කද කුමරු හෙවත් කතරගම දෙවිදු ගණදෙවි සුර අසුර දෙවි දේවතාවරුන් ඇතුළු තිස් තුන් කෝටියක් දේව සමූහයාගේ සහභාගිත්වයෙන් වල්ලි මාතාව හා අතිනත් ගන්නා ලදී. එසේ එම විවාහය සිදුකරනු ලැබුවේ වල්ලි ගුහාව තුළදීය. වල්ලි මාතාවගේ රැකවරණයට සිටි ආලත්ති අම්මලා කතරගම මහා දේවාලයේ පූජාවට එන්නේ අදිවාසින්ගේ පෙනුමට හා සමාන ඇදුමින් සැරසීමෙනි.
කම්බාවලින් සැරසී (කම්බාරෙදි ඇද) ලොකු ලේන්සුවලින් උඩුකය වැහෙන සේ ආවරණය කරගෙන එකම විදියට එකම වර්ණයෙන් සැරසී ආලත්ති අම්මලා පැමිණේ. මෙම ආලත්ති අම්මලා ඉතා පිරිසුදුවට දේවාලයට පැමිණ පැවත එන චාරිත්‍රානුකූලව පූජාවලට සහභාගි වේ. කතරගම දේවාලයේ පවත්වනු ලබන උදෑසන හතරයි තිහේ පූජාවටත් සවස හයයි තිහට පැවැත්වෙන පූජාවටත් සහභාගි වේ. දොළොස් දෙනකුගෙන් සමන්විත ආලත්ති අම්මලා සෙනසුරාදා පැවැත්වෙන පූජාවටද සහභාගි වේ. සෙනසුරාදා පැවැත්වෙන නානු මුර මංගල්‍යයට සහභාගි වෙමින් පූජා පවත්වති. දේවාලයේ දේව පූජාවලට පැමිණෙන ආලත්ති අම්මාවරු පහන් ආලෝක කරමින් දෙවියන්ට ආශිර්වාද කරති. එසේ පූජාවට එන ආලත්ති අම්මලාට පහන් සහ තිර ලබා දෙන්නේ තේවාව භාර කපු මහතා විසිනි. එමෙන්ම මේ අය දේවාලයේ පූජා කටයුතුවලට ද බෙහෙවින්ම සහභාගි වේ. දේවාල පෙරහර සඳහා සිටුවන කප කැපීම සඳහා වනාන්තරයට යන විටත් කප රැගෙන පෙරහරින් එන විටත් ආලත්ති අම්මලා සහභාගි වේ.
දේවාලයේ නානුමුර මංගල්‍යයේදී මැණික් ගඟින් දිය ගෙන ඒමේදීත් දියකැපීමේ මංගල්‍යයටත් සහභාගිවීමෙන්ද ඔවුන්ගේ වගකීම ඉටු කරයි. කතරගම ප්‍රධාන පෙරහරට මෙන්ම පවත්වනු ලබන අනෙකුත් පෙරහරවලට ද එදා මෙන්ම අදත් ආලත්ති අම්මලා සහභාගි වේ. වල්ලි මාතාවගේ උපත පිළිබඳව ජනකථා බොහොමයක්ම ඇත. එක්තරා යුගයකදී වනයේ නන්ද නම් වැදි නායකයකු සිට ඇත. මොහුට දරුවන් සිට නැත. මේ වැදි නායකයාගේ සිරිත වූයේ මුවන් ඇල්ලීම සඳහා උගුල් ඇටවීමයි. දිනක් තමා ඇටවූ උගුලකට මුවන් අසුවී ඇද්දැයි බැලීමට කැළයට යන ලදී. එහිදී දුටු දෙයින් මොහු මහත් විමතියට පත්විය. උගුලෙන් බේරී මුවන් පැන ගොස් සිටි අතර මුව දෙනක් පමණක් බිළිදියකු ළඟ සිටින බව දුටුවේය. එසැණින් ක්‍රියාත්මක වූ ඔහු බිළිඳිය දෙඅතට ගෙන ආදරයෙන් රැගෙන ආවේ බිළිදිය මුව දෙනගෙන් ඉපදී ඇතැයි සිතමිනි. එසේ රැගෙන ආ බිළිඳිය හදා වඩා ගනිමින් ඇයට වන්නි අම්මා යයි නම් කරමින් ආලත්ති අම්මලාගේ රැකවරණයට ලබා දුනි. කලක් යෑමේදී ඉතා සුරූපීව හැදුණු වැඩුණු ඇය වල්ලී නම් විය. මේ අතර කතරගම දෙවියන් ඉන්දියාවේ සිට කතරගමට පැමිණියේය.
එහිදී සක්මන් කරමින් සිටි දෙවියන්ට වන්නි අම්මා සිටිනු දැක ඇත. ඉන් ඇතිවූ ආදරය නිසා වන්නි අම්මා හා කතරගම දෙවියන් අතර විවාහය සිදු විය. එම විවාහයේදී වල්ලිඅම්මාගේ මෙහෙයට ආලත්ති අම්මලාද යන ලදී. කතරගම දේවාලයේ මුරුතැන් පූජාවට අවශ්‍ය දේ මෙන්ම සහල් ගරන්නේත් ආලත්ති අම්මාරුවන්ය. පහන් පූජාව තබා දේවාශිර්වාද කරන්නෙත් ආලත්ති අම්මාවරුන්ය. දෙවියන්ගේ පහන් පූජාව සඳහා කැපවී සිටින ආලත්ති අම්මාවරුන් මැදිවිය ගත කරනු ලබන අය වන අතර සෑම සතියකටම වරක් දේවාලයේ සිදුකරනු ලබන බෝධියේ නානුමුර මංගල්‍යය සඳහා මැණික් ගඟෙන් පැන් රැගෙන ඒමත් ආලත්ති අම්මලාට පැවරී ඇති රාජකාරියක් වන අතර අනෙකුත් කටයුතුවලටද සහභාගි වේ. රජකාලයේ පටන් පැවැත එන චාරිත්‍ර ඉටුකරන ආලත්ති අම්මලා කිළි අසුවන කිසිම දෙයකට සහභාගි වන්නේ නැත. ඔවුන් මළගෙවල්වල යන්නේ නැත. වැදූ කිල්ලට අසුවන්නේ නැත. කොටහළු කිල්ලට හෝ වෙනයම් කිල්ලකට හෝ අසුවන්නේ නැත.
යම් හෙයකින් කිල්ලකට අසුවුවහොත් තුන් මාසයක් ගතවන තුරා දේවාලය පැත්තකටවත් නොගොස් ගෙවල්දොරවල් පිරිසුදුකර කහදියර ඉස පිරිසුදු කරයි. දේවාලයේ පූජාවට සහභාගි වන්නේ පෙර මෙන් ඇප කැපවීමෙන් පසුවය. ආලත්ති අම්මාවරුන් දුටුගැමුණු මහ රජතුමාගේ නියමයෙන් රාජකාරිය ඉටුකරනු ලබන කණ්ඩායමකි.
මොණරාගල සිරිගල
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි
සටහන
බී.ඇල්. පේ‍්‍රමරත්න