ඔබේ උපන් නැකතට 2023 වසර 2023 කෙසේද?

දෙසැම්බර් 30, 2022

ඔබ ජන්මලාභය ලත් මොහොතේ පවතින ග්‍රහ තත්ත්වයට අනුව එදිනට යෙදෙන නැකතක් තිබේ. එම නැකත ඔබ උපන් නැකතයි. ඒ අනුව ලැබුවා වූ 2023 වසර ඔබට, ඔබගේ නැකතට කෙසේ දැයි විමසා බලමු.

අස්විද - වසර ආරම්භය මනසට තරමක් අවුල්කාරී බවකින් යුක්ත වෙයි. ප්‍රමාදයට පත් වූ විවාහ යෝජනාවක් අප්‍රේල් - මැයි කාලය තුළදී ස්ථිර වෙයි. අධ්‍යාපන කටයුතුවලට වැඩිහිටි උපකාර ලැබෙන කාලයකි. වසර මැද කාලය ව්‍යාපාර කටයුතු කීපයක් ආරම්භයට සිත යොමු කරයි. වසර අන්තිම විදෙස් ගමනක් ස්ථිර වෙයි.

බෙරණ - මංගල කටයුතු කීපයකින් ආරම්භ වන වසරකි. හිසේ පැවති අසහනකාරී බවකින් නිදහස ලබයි. වසර මැදදී සිතට සහනය ගෙනදෙනු ඇත. ජුනි, ජූලි කාලය තුළදී තමා බලාපොරොත්තු වූ ආධ්‍යාත්මික ක්‍රියාවලියක් සාර්ථක වෙයි. වසර නිමාවට පත්වන විට රජයේ උසස් නිලතල ලාභයක් හිමි වේ.

කැති - මංගල කටයුතු කීපයකින් ආරම්භ වන වසරකි. වැඩිහිටි දරුවන්ගේ කටයුතුවලින් විවේකයක් ලබයි. වසර මැදදී උදාවන මුල් මාස කීපය අධ්‍යාපන කටයුතු කීපයක ජයග්‍රහණයන් උදාකරගනී. ගින්දර සම්බන්ධව කටයුතුවල යෙදෙන වෘත්තිකයන්ට පරෙස්සම් විය යුතු වසරකි. තමාට වැදගත් නොවන අය හා වාද විවාදයට නොයන්න.

රෙහෙණ - විභාග ජයක් උදා කරදෙමින් ආරම්භ වන වසරකි. තමා නොසිතූ මොහොතක විදෙස් ගත වූවකුගෙන් උපකාර හිමිවෙයි. කුඩා දරු දැරියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. වසර අවසානය පදිංචිය සම්බන්ධයෙන් නොසිතූ ගැටලුවකට මුහුණ පායි. ස්ත්‍රී පක්ෂයට අපල සහගත ගැටලු කාලයකි.

මුවසිරස - පොළොව සම්බන්ධ කටයුතු කරන හා රැකියාවල නිරතවූවන්ට ලාභ ගෙනදෙයි. හදිසි මැණික් වාසනා මතු කරන වසරකි. විදෙස්ගතව අධ්‍යාපනය හදාරන අයට වැඩි වාසි සැලසෙයි. පෙර වසරේ නිමාවට පත්කරගත නොහැකි වූ කටයුතු කීපයක් නිමාවට පත් වේ. රථවාහන සම්බන්ධ රැකියා කරන අයට වැඩි ලාභ අත් කර ගත හැකි වෙයි.

අද - වසර ආරම්භ වන්නේ ඔබට රජයේ උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමටයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කීපයක් සම්බන්ධව ඔබට වගකීම් දැරීමට සිදුවෙනු ඇත. වසර මැද කාලය උදාවන විට දෙමාපියන්ගේ කටයුතු කීපයක් වෙනුවෙන් පිට ප්‍රදේශයකට යාමට සිදුවේ. අද නැකත හිමි ඔබගේ අනාගත බලාපොරොත්තු කීපයක් කල් දැමීමට සිදුවෙනු ඇත.

පුනාවස - වසර මුල් කාලයේදී තමාගේ විවාහය සිදුවේ. රජයට සම්බන්ධ තරග විභාග ආදියට පෙනී සිටී. වසර මැද කාලය තමාට හා දරුවන්ට පවුලෙන් ඈත් වී සිටීමට කරුණු කාරණා යෙදේ. වසංගත රෝග තත්ත්වයන්ට මුහුණපායි. වසර අන්තිම කාලය නේවාසිකව තමාට කාලය ගත කිරීමට සිදු වෙනු ඇත.

පුෂ - වසර ආරම්භය උදාවන්නේ තමාගේම ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරමින් ය. උදාසීන කම්මැළි බව දුරු කරන වසරකි. නිතර දන් පින් කටයුතුවලට එක්වෙයි. වසර මැද උදාවන්නේ විදෙස්ගත දරුවෙකුගේ පැමිණීමත් සමඟිනි. තමාගේ පාඩුවේ කටයුතු කරගෙන යාමට අදහස් කරයි. ව්‍යාපාර තීන්දු තීරණ ගැනීමේදී දෙවරක් සිතන්න.

අස්ලිස - වසර උදාවන්නේ මිශ්‍රඵල උදාකර දෙමිනි. විවාහ කටයුතු පිළිබඳව එකලාසයක් ඇති කරගනී. කුඩා දරුවන්ගේ කටයුතු පිළිබඳව නිතර සෙවිල්ලෙන් සිටින්න. අනතුරු බහුල වකවානුවකි. උස් තැන්වල ඇවිදීම, ජලයේ ක්‍රීඩා කිරීමට යාම අහිතකර කාලයකි. වසර අවසානයට පෙර වන්දනා ගමනක් යාමට අදහස් කරයි. එය විදෙස්ගත ගමනකි.

මා - අධ්‍යාපනයට බර වූ වසරකි. නිතර නිතර උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමට අවස්ථාව සැලසේ. නව ඉදිකිරීම්, නිවාස ඇස්තමේන්තු ගත කිරීම් වැනි ක්ෂේත්‍රයන්හි රැකියා ලාභ තමාට හිමිවෙයි. වැඩිහිටි සහෝදරයන්ගෙන් උපකාර හිමිවන කාලයකි. රථවාහන කටයුතු පිළිබඳව වැඩි කාලයක්, වේලාවක් ගත කිරීමට සිදුවෙනු ඇත. වසර අවසානය පොත්පත් ලිවීම පිළිබඳව අවධානය යොමු වෙයි.

පුවපල් - රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට සහන සැලසෙන වසරකි. වරින් වර අසනීප තත්ත්වයක් මතු කරයි. එදිනෙදා කරන කියන කටයුතු පිළිබඳව දෙවරක් සිතා කටයුතු කරන්න. අවේලාවේ යන ගමන් බිමන් නිසා තමාට පාඩු විඳීමට සිදුවේ. වසර මැද භාගය ගෙවෙන විටදී තමාට නොසිතූ භූමි ලාභයක් අත්පත් වෙයි. වසර අවසානය නිවසින් පිටත වාසය කිරීමට සිදුවේ.

උත්‍රපල් - තමාගේ කටයුතු පිළිබඳව වැඩි කාලයක් මුදලක් යොදවන වසරකි. වරින් වර වෙනස් කරන තීරණ තීන්දු හේතුවෙන් තමාටම පාඩු විඳ ගැනීමට සිදුවෙනු ඇත. වසර මැද භාගය උදාවන විට පි‍්‍රයසාද, සම්භාෂණ උත්සව අවස්ථා ගණනාවක ප්‍රධාන අමුත්තා ඔබවනු ඇත. වසර ගෙවීයන විට යටපත්ව පැවති රෝග තත්ත්වයක් යළිත් උත්සන්න වෙයි. නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර, උපදෙස් ලබා ගැනීමට අවධානය යොමු කරන්න.

හත - දරුවන්ගේ කටයුතු පිළිබඳව ප්‍රගතියක් ඇති කරන වසරකි. නිවසට අවශ්‍ය දෑ නිතර නිතර තමාට ලැබෙන කාලයකි. වාසනාව, පී‍්‍රතිය නිරතුරුවම සතුට ඇති කරන හේතු කාරණා යෙදේ. අලුත් වස්ත්‍ර, දේපළ ලාභ තමාට හිමිකර දෙයි. ඖෂධ නිෂ්පාදන කටයුතු සම්බන්ධව තමාට විශේෂ පුහුණුවක් ලැබෙයි. ගණිත, මිනින සම්බන්ධව නව නිපැයුම් සිදු කළ හැකි වසරක් වෙනු ඇත.

සිත - වසර ආරම්භයත් සමඟ නහරගත වේදනා, ආබාධ වරින් වර මතු කරයි. නිසි ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීමට උනන්දු වන්න. වසර මැදදී පොළොව සම්බන්ධ කටයුතු කීපයක වගකීම් සහගත රැකියා ලාභ උදාකරයි. නිවෙසේ වගකිවයුතු අයකු බවට පත් වේ. වසර ගෙවී යද්දී මිතුරන් සමඟ හවුල් ව්‍යාපාරයකට අත ගසයි.

සා - රජයට සම්බන්ධ විශේෂ වරප්‍රසාද හිමිවන වසරකි. නහරගත ආබාධ කීපයක් හේතුකොටගෙන දින කීපයක්ම නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වසර මැද කාලයේදී තමා බලාපොරොත්තු වූ ලාභ අවස්ථාවකට මුහුණපායි. වසර අන්තිම වන විට විවාහ ගිවිසුමකට එළඹෙයි.

විසා - මිශ්‍රඵල උදාකරන වසරකි. පොත්පත් කටයුතු කීපයක්ම තමාට ප්‍රයෝජනවත් අයුරින් ඉටු කර ගනී. නිවසේ අලුත්වැඩියාවක් සිදුකරයි. ඥාති දරුවකු සම්බන්ධව තමාට මැදිහත්වීමට සිදු වෙයි. වසර අවසන් වන්නේ මංගල කටයුත්තක් සාර්ථක කර ගැනීමෙනි. නව ගිවිසුම් ලාභ අවස්ථා සඳහා එක්වෙයි.

අනුර - අධ්‍යාපන කටයුතු කීපයක් සාර්ථක වන වසරකි. තරග විභාග ජය, විදෙස් ශිෂ්‍යත්ව ලාභ ලැබෙන කාලයකි. තම උත්සාහයේ තරමට ප්‍රතිඵල ළඟා කර ගත හැකි වේ. මැණික් ලාභ මතු කරන වසරකි. රජයේ දීමනා වරප්‍රසාද හිමිවෙයි. පෙම්සබඳතා සාර්ථක වන වසරකි. වසර අවසානය නිවාස ලාභ හිමිකම් තමාට ඇතිවේ. වැඩිහිටියන්ගේ වගකීම් පිළිබඳව වැඩි කාලයක් යොදවන්න.

දෙට - වසර ආරම්භය සාමාන්‍ය පරිදි ගෙවී යනු ඇත. එදිනෙදා කටයුතුවල යම් ප්‍රගතියක් පෙන්නුම් කරයි. වසර මැදදී රාජ්‍ය ආයතනයකට සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ඇතිවේ. පෙම්සබඳතා සාර්ථක වන කාලයකි. වසර අවසානය තමා සිතුවාටත් වඩා යහපත් වනු ඇත.

මුල - මිශ්‍රඵල උදාකරදෙමින් ආරම්භ වන වසර ඔබට, ඔබගේ සහකරුට සහකාරියට සුබ වෙයි. අනාගත සැලසුම් යොදාගනී. වසර මැද උදාවන මාස කීපය විදෙස් ගමනක් යොදාගනී. විභාග ජය අත්වන කාලයකි. වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව රැකියා ලාභ ගෙනදෙයි. වසර අවසානය උදාවන්නේ දෙමාපියන්ගේ කටයුතු කීපයක් සාර්ථක කර දෙමිනි.

පුවසල - නව වසර උදාවත් සමඟ අධ්‍යාපන කටයුතුවල වෙනසක් පෙන්නුම් කරයි. තමාගේ කීර්තිය අන්‍යයන් අතර පැතිර යන කාලයකි. තමාගේ වෘත්තියට සම්බන්ධ කටයුතු කීපයක් සාර්ථක කර ගනී. වසර මැද කාලය උදාවන්නේ ඥාති හිතවතුන් සමඟ එක්ව කරන ආගමික කටයුත්තක් වෙනුවෙනි. වසර අවසානයට පෙර කුඩා දරුවන්ගේ කටයුතු කීපයකට තමාට මූලික වී කටයුතු කිරීමට සිදුවේ.

උත්‍රසල - තරග විභාග ජයක් ලබමින් වසර ආරම්භ වෙයි. නිකරුනේ යොදාගත් කටයුතු කීපයක් නිසා අමතර මුදල් වැය කරයි. වසර මැද කාලය උදාවන්නේ දේපළ සම්බන්ධ කටයුතු කීපයකට එක්වීමෙනි. නිවෙසේ වෙනසක් පෙන්නුම් කරයි. ගුප්ත විද්‍යා කටයුතු සම්බන්ධව වැඩි විශ්වාසයෙන් කටයුතු කරන කාලයකි. සමාජයේ ලොකු කුඩා කා අතරත් ජනපි‍්‍රය වන චරිතයක් බවට පත්වේ.

සුවණ - මංගල කටයුතු කීපයකට අතගසන වසරකි. දරුවන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙසෙන වසරකි. අධ්‍යාපන කටයුතුවලට සහන සැලසෙන වසරකි. සහනදායක ලෙස කාලය ගත කරයි. වසර මැද ගෙවුනාට පසුව නිවාස ලාභ තත්ත්වයන් පෙන්නුම් කරයි. වසර අවසානය උදාවන්නේ ආගමික කටයුතු කීපයකට එක්වීමෙනි.

දෙනට -

අත, පය තුවාල වීම්, අනතුරු බහුල වන වසරක් බැවින් නිතර තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. ආගමානුකූල කටයුතු සිදුකිරීම මානසික සුවයට සහන ගෙනදෙයි.

පෙම්සබඳතා ඇති කර ගැනීමෙන් අවුල් තත්ත්වයක් පැන නඟී. වසර අවසානයට පෙර නිවෙසේ ආගමික උත්සවයක් පවත්වයි. පොත්පත් කටයුතු කෙරෙහි උනන්දුවීම තමාට වාසිදායක වෙයි.

සියාවස -මිශ්‍රඵල උදාකරදෙමින් ආරම්භ වන වසර තමාට තරමක පීඩා ගෙනදෙයි. යොදාගත් කටයුතු කීපයක් වෙනස් කර දමයි. දූ දරුවන්ගේ කටයුතු හේතුවෙන් සිත් පීඩා ඇති කර ගනී. හවුල් ව්‍යාපාර කටයුතුවලට එක් නොවන්න. කලට වේලාවට තමාගේ කටයුතු කර ගැනීමට අවස්ථාවක් නොලැබෙයි. බුද්ධියෙන් සිතා කටයුතු කිරීමට උනන්දු වන්න.

පුවපුටුප - මෙම වසර ඔබගේ කටයුතු තරමක් දුරට ඉෂ්ට කර ගැනීමට අවස්ථාව සැලසේ. නිතර නිතර ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීමෙන් රෝග තත්ත්වය උත්සන්න වෙයි. වසර මැදදී ගනු ලබන තීරණ හේතුවෙන් පදිංචියේ වෙනසක් වෙයි. පොත්පත් සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් තමාට ගරු, නම්බු හිමිවෙයි. සමාජයේ පොදු කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. දුර බැහැර ගමන් පිළිබඳව දෙවරක් සිතා එක්වන්න. ගින්දර, ජලය නිසා අනතුරු ඇතිවන වසරකි.

උත්‍රපුටුප - රැකියාව සම්බන්ධ වැදගත් තීරණ ගන්නා වසරක් වෙනු ඇත. ප්‍රධානීන් සමඟ ගැටුම්වලට එක්වීමට යොමු නොවන්න. රසවත් ආහාර පාන නිතර ලැබෙන කාලසීමාවකි. ගෙදර දොර වැඩිහිටි පිරිස වැඩිවෙයි. ආගන්තුක සත්කාරයෙහි නිරතවීමට වැඩි කැමැත්තක් ඇති කරයි. වසර අවසානය මවට පියාට අපල ගෙන දෙයි.

රේවතී - ආධ්‍යාත්මික කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන වසරකි. ඔබගේ තනි කැමැත්ත අනුව ගන්නා තීන්දු තීරණ වාසිදායක වෙයි. වසර මැදදී ව්‍යාපාර ක්ෂේත්‍රය සම්බන්ධ වැදගත් තැනක් හිමි වෙයි. වසර ගෙවී යද්දී හමුවන විශේෂ අයකු නිසා තමාගේ ජීවිතයේ වෙනසක් සිදුවේ. ලොකු කුඩා කා අතරත් නැතුවම බැරි චරිතයක් වෙනු ඇත.

චම්පිකා අඹුවන්ගල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.