දරුපල ප්‍රමාද වනිතා ඔබට අනුහස් පිරි විශේෂ පූජාවක්...

සැප්තැම්බර් 30, 2022

ස්ත්‍රි පුරුෂ දෙදෙනකු ප්‍රේමනීය හෝ යෝජිත විවාහයකින් එක් වහලක් වෙත සම්ප්‍රාප්ත වන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පෙරදැරි කරගෙනය. ප්‍රජාවගේ පැවැත්ම වන්නේ යහපත් විවාහයයි.

එහි අග්‍රඵලය නීරෝගි දරු සම්පතයි. ඒ අතර එම මනාල මනාලි යුවළගේ මූලිකම අපේක්ෂාව වනුයේ හුදෙක් ලෞකික සැප සම්පත් විඳිමින් වාසනාවන්ත නීරෝගි දරු සිඟිත්තකුගේ මුහුණ බැලීමයි. මේ ලෝකයේ උතුම්ම සම්පත දරු සම්පතයි. නමුත් අපට වර්තමාන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී දරුවන් නොමැතිව කනගාටුදායක ජීවිත ගත කරන විවාහක විශාල පිරිසක් අප සමාජයේ දැක ගැනීමට හැකිය. ඔවුන් දරුවන් නොමැතිව මානසික පීඩනයට ලක්ව සුසුම් හෙළමින් සිටී. යහපත් සාර්ථක විවාහයක් තුළින් දරුවන් අපේක්ෂා කළ හැකිවුවත් පොරොන්දමට පමණක් සීමාවීම වී ග්‍රහ ගැළපීම් නොසලකා හැරීම තුළ මෙවැනි තත්ත්වයක් උදා වී ඇත. මෙවැනි තත්ත්වයක් උදාවූ විට බොහෝ අවස්ථාවල ඇඟිල්ල දිගු වන්නේ කාන්තාවට වුවද ඒ සඳහා පුරුෂයා ද වගකිව යුතුය. සෑම කාන්තාවක්ම විවාහයෙන් පසු දරුපල අපේක්ෂා කළත් දරුපල අහිමි කරන ග්‍රහ පිහිටීම් නිසා හැම කාන්තාවක්ම එම තත්ත්වයට පත් නොවේ. ලෝකයේ උත්තරීතර ම පදවිය වන මව් පදවිය ලබා ගැනීමට ප්‍රබල පින්බලයක් මෙන්ම වාසනා ගුණයක් ද පැවතිය යුතුය. දරුපල රහිත පුරුෂයන්ද කොතෙකුත් අප සමාජයේ සිටී. අද සමාජයේ මෙම කාරණාව මතම බොහෝ විවාහ දෙදරායාමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබේ. එම නිසා විවාහක දෙදෙනා එම තත්ත්වයට නොගොස් මේ පිළිබඳව උපේක්ෂා වෙන් බැලිය යුතුය. එවිට බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකිය. මෙම ලිපිය මඟින් අප අවධානය යොමු කරන්නේ දරුපල නොමැති වීම හා දරුපල ප්‍රමාදය පිළිබඳ ඡ්‍යොතිෂානුකූල විග්‍රහයක යෙදීමය.

ගේදොර ඉඩකඩම්, යානවාහන, මිල මුදල්, රැකීරක්ෂා, දේපළ යන මේ සියල්ල ලැබුණත් දරුවකු ලැබීමේ වාසනාව අහිමිව ඇත. නමුත් සමහරකුට ඒ සියල්ල නැති වුවද දරුවන් ලැබීමේ වාසනාව හිමිව ඇත. එසේ නම් මෙයට හේතුව කුමක්ද? එහි සරල තේරුම නම් අප පූර්ව ආත්ම භාවයේ කළ පව් පිං අනුව අපට මේ ආත්මයේ ලැබෙන නොලැබෙන දේ තීරණය වීමයි. එම නිසා අප පූර්ව ආත්ම යේ දැඩි ලෙස පව්කර ඇත්නම් මේ ආත්මයේ අවාසනාවන්ත ලෙස දරුවන් නොලැබී යාමට ද හැකිය. නමුත් දරුපල ප්‍රමාදයට ජ්‍යෝතිෂයේ පිළියම් රාශියක් ඇත. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙදෙනාම තම තමන්ගේ හඳහන් දක්ෂ අවංක ඡ්‍යෝතිෂවේදියකු ලවා පුළුල් පරීක්ෂාවකට ලක්කළ යුතුය. එවිට එයට අදාළ දෝෂය සොයා බලා ග්‍රහ ශාන්ති කර්ම කළ හැකිය.

ඡ්‍යෝතිෂානුකූලව දරුපල පිළිබද විමසා බැලීමේ ක්‍රම රාශියකි.“සන්ථානදීපිකාව” නම් ග්‍රන්ථයේද මේ පිළිබඳව දක්වා ඇත. දරුවන් පිළිබඳව බැලීමේදී මූලික වන්නේ කේන්ද්‍රයේ 5 වැන්නයි. එනම් ඔබගේ කේන්දර සටහනේ ලග්නයෙන් පස්වන කොටුව පුළුල්ව විමර්ශනය කළ යුතුය. මෙහිදී 5 වැන්නේ සිටින ග්‍රහයන්, එම භාවයට දෘෂ්ටි හෙළන ග්‍රහයන්, එහි අධිපති හා එම ග්‍රහයාගේ තත්වය, පුත්‍රකාරක ගුරුගේ ස්වභාවය, 5 වැන්නෙන් 5 වැන්න, 5 වැන්න අධිපතියාගෙන් පස්චැන්න හා පුත්‍ර කාරක ගුරුගෙන් පස්වැන්න පුළුල්ව විමර්ශනය කළ යුතුය. ස්ත්‍රි කේන්ද්‍රයක සඳු, කුජ, සිකුරු ග්‍රහයන් අසුබව නීච හෝ සතුරුව පීඩාවට පත්ව සිටී නම් අදාළ ස්ත්‍රිය ලිංගික ක්‍රියාකාරකම්වලට පසුබසී. එම නිසා ද දරුපල අපේක්ෂා කළ නොහැකිය. දරුවන් ගැන බැලීමේදී 5 අධිපතියා උච්චව හෝ ස්වක්ෂේත්‍රව බලවත්ම සිටීම නිසා වාසනාවන්ත දරුවන් අපේක්ෂා කළ හැකිය. ගුරු,සිකුරු උච්චව 5 වැන්නේ සිටීම ඉතාම සුබය. එවිට ගුණ නැණ බලෙන් යුතු දරුවන් ලබයි. ගුරු නීචවීම දරුවන් අඩුවන අතර ඔවුන් මානව හිතවාදී නොවනු ඇත. බුධ ග්‍රහයා ලග්නයෙන් 05 09 වී සෙසු ග්‍රහයෝ දුර්වල වූ විට පිරිමි දරුවන් ලබයි.

ලග්නය සිංහ වී එහි රවි,සඳු දුර්වල ව කුජ හා ශනි ගේ දෘෂ්ටියට ලක් වූ විට අන්ධ දරුවන් බිහිවීමේ ප්‍රවණතාවයක් ඇත.

මීට අමතරව දරු ගර්භයක් හටගන්නේ ලිංගික සේවනයේ යෙදෙන විට රවි,සඳු,සිකුරු ස්වකීය නමාංශකවල සිටින විටය. ගුරු හෙවත් බ්‍රහස්පති කේන්ද්‍රයේ 05, 09 හෝ ලග්නයේ සිටීමෙන් දරුපල උදාකරනු ඇත.

1. කේන්ද්‍රයේ 5 වන භාවය තුළ රාහු දුර්වලව සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වීම

2. 5 වැන්න අධිපති කුජ වී කේන්ද්‍රයේ 5 වැන්නේ සෙනසුරු සිටීම

3. කේන්දරයේ පුත්‍රස්ථානය වන 5 වැන්නේ රාහු නීචව සිටීම

4. සෙනසුරු 8 වැන්නාධිපතියා වෙමින් 5 වැන්න වන පුත්‍රස්ථානය දැකීම

5. කුජ හා කේතු යන පාප ග්‍රහයන් දුර්වලව 5 වැන්නේ සිටීම

6. රවි හා සඳු යන ග්‍රහයන්ගෙන් 5 වැන්නේ පාපීන් සිටීම

7. මීට අමතරව සූර්ය හා චන්ද්‍ර කේන්ද්‍රයෙන් ද විමසා බැලිය යුතුය.

දරුවන් පිළිසිඳ ගැනීම ස්ත්‍රියක ගේ මාසේ ශුද්ධියෙන් 06, 08, 10, 12, 14, 16, යන ඉරට්ටේ දිනවලත් 05, 07, 09,11, 13, 15, යන ඔත්තේ දිනවලත් පිළිවෙළින් පුතුන් හා දූවරුන් පිළිසිඳ ගනු ලබයි. දරුවන් පිළිසිඳ ගැනීමේ දී මාසේ ශුද්ධියෙන් 04 වන දිනයේ සිට උචිත දිනවල බිරිඳ හා ස්වාමි පුරුෂයා දිවා කල නා පිරිසිදූ වී රාත්‍රීයේ දී පුරුෂයා දකුණු පසින් ද ස්ත්‍රීය වම් පසින් ද යහන් ගත වී එක්වීම ඡ්‍යෝතිෂානූකූලව ඉතා සුදුසුය. එවිට යහපත් දරුවන් පිළිසිඳ ගනු ඇත.

දරුපල අහිමි අය තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරවාගෙන එම දරු පල ප්‍රමාදය දිගුකාලීන ද කෙටිකාලීනද යන්න පළමුව විමසා බැලිය යුතුය. ඇතැම් විට වසරක් දෙකක් හෝ තුනක් වශයෙන් හෝ පහ, හය, දහය වශයෙන් දිගු කාලයන්වලදී ද දරුපල හට ගැනීමේ තත්ත්වයක් පවතී. කෙසේ නමුත් දරුපල ඇති කර ගත හැකි ශාන්ති කර්මයක් හෙවත් අති විශේෂ බෝධි පූජාවක් පහත සඳහන් වෙයි.

අති විශේෂ බෝධි පූජාව

ආගමික වතාවත් ඉටු කරනු ලබන අනුහස් ඇති බෝධින් වහන්සේ නමක් තෝරා ගෙන එම ස්ථානය අතුගා පිරිසිදු කොට සුවඳ දූපයක් අල්ලා එම ස්ථානය මේ සඳහා සුදුසු පරිදි සකසා ගන්න.

මෙම බෝධි පූජාව සතියේ සඳුදා හා සිකුරාදා දිනවල උදෑසන 6.00 ත් 8.00 ත් අතර කළ යුතු අතර සවස (6.00 ත් 8.00 ත් අතර) කරන්නේ නම් කිරිබත් වෙනුවට පලතුරු යුෂ පමණක් පිදිය හැකිය. කෙසේ වෙතත් මෙම බෝධි පූජාව වඩාත් සුදුසු වන්නේ උදෑසන කිරීමය. ඒ සඳහා පිරිසිදුව සාදාගත් කිරිබත් පිඟානක් කිරි කළයක් (යෝගට් කෝප්පයක ප්‍රමාණයේ මැටියෙන් තැනූ කළයක් ) සුදු මල් වට්ටියක්, සුදු කොඩියක්, හොඳ ඉදුණු අඹ ගෙඩියක්, ගිතෙල් පහනක්, සුවඳ පැන් කළයක්, වී පොරි ස්වල්පයක්, සුදුහඳුන් ස්වල්පයක් ද බන්දේසියක තබා ගිතෙල් පහනක් ද දල්වා බෝධියෙහි තැන්පත් කරන්න. බෝධි පූජා ගථා කියමින් පූජාව තබන්න.

වී පොරි ස්වල්පයකට ගිතෙල් දමා අනා ඒවායින් බෝධිය වටා දුම් අල්ලන්න. බෝධිය නෑවීමේදි සුවඳ මිශ්‍ර පැන්වලින් බෝධිය නාවන්න. ඒ සෑම විටකම ඉහත කී අරමුණ සිතට ගන්න. පසුව බෝධි පූජාව තබමින් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට පූජා කරන්න.

මෙම ශාන්ති කර්ම තුළින් ඔබ උපදවන්නේ අති ප්‍රබල කුසල කර්මයෙකි. බලගතු පිනකි. ඒ පින් බලයෙන් දරුපල නැති කළ අකුසල බලය දුරුවේවායි පතමින් අරමුණු කරමින් මෙම බෝධි පූජාව අවසන් කරන්න. එසේ අවසන් කර ඔබ උපදවා ගත් ඒ කුසලයේ අග්‍ර වූ භාගය සත්පත්ති මෑණියන්ට අනුමෝදන් කරන්න. එසේ අනුමෝදන් කර තමන්ට නීරෝගී දරු සම්පතක් ලබා ගන්නට අවහිර වන සියලු බලවේග බාධා සිඳ බිඳ දරුපල ඇති කර දෙන ලෙස ඉල්ලා සිටින්න. පහත සඳහන් ගාථාව කියා පින් අනුමෝදන් කරන්න.

යං අම්මේහි කතං පුඤා්ඤාං 
සබ්බ සම්පත්ති සාධකං 
සත්පත්තිනි දේව මාතානං 
ඉමං පුඤ්ඤානු මෝදනං

(නිර්මාංස ආහාරවේලක් ගත යුතු අතර කිලිවලට හසු නොවී ධාර්මික දිවි පෙවතක් ගත කළ යුතුයි.)

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, සම්පත් එස් කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.