කන්‍යා ලග්නය හිමි කාන්තාව

අගෝස්තු 12, 2022

කන්‍යා ලග්නය ලග්න කේන්දරයේ 06 වැන්න වන අතර ලග්නාධිපති බුධ ග්‍රහයා වේ. බුධගේ උච්ච රාශිය කන්‍යාව වන අතර තරමක් ලෝභ ගතියක් පෙන්නුම් කරන ආත්ම ශක්තිය අඩු මෙන්ම අන් අයගේ වැරැදි දකින බවක් ද කන්‍යා ලග්න හිමියන් වෙතින් පෙන්නුම් කරයි

කන්‍යා ලග්නය හා මකර, කුම්භ, හෝ මීන නවාංශකයකින් උපන් අය ඇඳුම් වලට හා මුදලට ගිජු අය වනු ඇත. මෙම නවාංශකයකින් උපන් කතුන් ඉතා අලංකාර ලෙස ඇද පැළඳ සිටීමටත් ඇඳුම් විලාසිතාවන් ප්‍රදර්ශනය කිරීමටත් කැමැතිය. මිහිරි ආහාර පාන පළා වර්ග කෑමට රුචියක් දක්වයි‍. නිතර ජලය බීමට අවශ්‍ය වෙයි. එමෙන්ම පුරුෂ පක්ෂය සමඟ වැඩි ආශ්‍රයට ප්‍රියතාවයක් දක්වයි.

ආත්ම විශ්වාසය මෙන්ම සිතේ ධෛර්යය ශක්තිය ද අඩු බවක් පෙන්නුම් කරයි. පිරිස් නායකත්වය හා පාලන බලය අත‌ට පැමිණියත් ක්‍රියාකිරීමේ හැකියාව අඩුය. මෙම අයගේ 22වැනි දෙර්කාණාධිපති ග්‍රහයා කුජ බැවින් ශරීරයේ උෂ්ණත්වය වැඩි අතර හදිසි අනතුරුවලටත්, බරපතල තුවාලවලටත් භාජනය වෙයි. ආ ගිය තැන සුළු කරුණක් නිසා හෝ කලකෝලාහල ඇති කරගනී. සමාජ රෝග බෝවීම වුවද පහසුය. සර්පයන් දෂ්ට කිරීමෙන් හා හදිසි අනතුරුවලින් ද ගින්දරින්, අනතුරු සිදුවීම පහසුය. එමෙන්ම විදුලිසැර මෙන්ම අකුණු සැරවලින්ද අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති කරයි. ලග්න කේන්දර‌යේ 3 වැන්නේ කුජ සිටිය හොත් පවුලේ බාලයා විය හැකි අතර නැතහොත් තමාට බාල සහෝදරියන් ඇති අයකු වනු ඇත.

හත් වැන්නේ කුජ සිටීමෙන් විවාහ ජීවිතය අවුල් වන අතර හදිසි අනතුරුවලින් ස්වාමියාට මරණය සිදුවීමට වුවත් ඉඩ ඇත. හතේ කුජ සිටීයදී ගුරුගේ දෘෂ්ටිය ලැබීමෙන් ස්වාමියාට මරණය සිදුනොවුණත් ඔහු රෝගියකු කිරීමට හෝ දික්කසාදවීමට හෝ කරුණු ඇති කරයි. කුජගේ මහ දශා අතුරු දශාවලදී ස්වාමියාට ලෙඩ රෝග හෝ මරණය සිදුවිය හැකිය. මෙම අයට සිකුරු මහ දශාව හෝ අතුරු දශාවන් විශේෂයෙන් සුබපල ඇති කරයි.

කන්‍යා ලග්නයේ දෙවැනි කොටස වශයෙන් මේෂ,වෘෂභ හෝ මිථුන නවාංශකයකින් උපන් අය හැඳීන්විය හැකි අතර මෙම අයට කුජ සුබ ග්‍රහයා පල ඇති කරයි. කුජ 10 වැන්නේ හෝ 11 වැන්නේ සිටීනම් එය ඉතාම යහපත්ය. ඉතා උසස් තත්වයකට පත් කරයි.

මෙම අයට රවි ග්‍රහයා අසුබ පල ලබා දෙන ග්‍රහයා වන අතර මානසික වද වේදනා විඳීමට ද සිදුවන ඇත. වාචාල හෝ පහත් අදහස් ඇති අය වන අතර අන් අය අතර ගරුසරු නොලැබීමට ද හේතු යි. රවි ග්‍රහයා 6,8,12 නම් පියාගෙන් ප්‍රයෝජන අඩුය. රවි 10 සිටීම රැකියා කටයුතුවලට බාධා ඇති කරයි. රජයේ රැකියාවක් ලැබීමට විශේෂයෙන් බාධා ඇතිවේ. අමාරුවෙන් රැකියාවක් ලැබුණත් එය කරදර බාධා මධ්‍යයේ කරගෙන යාමට සිදුවේ. අල්ලස් දූෂණ වැනි අයථා ක්‍රියා සම්බන්ධ චෝදනාවලට ලක් වීමට ඉඩ ඇත.

රැකියාවේ උසස් වීම් පමාවීම වැනි කරුණුවල‌ට ද හේතු ඇති කරයි. සිකුරු හා කුජ මහ දශා අතුරු දශා කාලයන් අසුබයි. කන්‍යා ලග්නයේ තෙවන කොටස වන කටක, සිංහ, හෝ කන්‍යා නවාංශකයකින් උපන් අයට ගුරු 22 වැනි දෙර්කාණාධිපතියා වන බැවින් සුබපල අත් නොකරයි. කොයි කරුණකදී වුවත් වහා කලබල විම දක්නට ලැ‌බේ. සැරපරුෂ අන්දමින් කථා කිරීමත් මේ අයගේ මනස‌ට ඇතිවන වේදනාව නිසා රෝගාබාධ වුවද සෑදිය හැකිය. අනුකම්පා ගතිය ද තරමක් දුරට අඩුවන අතර මේ අයට වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් ප්‍රයෝජන අඩු වේ. ගුරු ග්‍රහයා 11 වැන්නේ නම් ඔහු හෝ ඇය පවුලේ වැඩිමලා වීමට පුළුවන. ගුරුග්‍රහයා 04 වැන්නේ නම් සිතේ නිතර අවිශ්වාස ගතියක් සැකමුසු බිය ගතියක් ඇති කරයි. 10 වැන්නේ ගුරු සිටී නම් ගුරු මහ දශා අතුරු දශා කාලයන්හි රැකියාවේ පවා කරදර ඇතිවිය හැකි අතර ගුරු 7 වැන්නේ නම් ජාතියෙන් හා ආගමෙන් වෙනස් පුරුෂයකු හා විවාහ වීමට ද ඉඩ තිබේ.

ගුරු 7 වැන්නේ සිට 7 වැන්නට පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටේ නම් විවාහය පමා වීමට හෝ නියම වයසට පෙර නොගැළපෙන අයකු හා විවාහ වීම, ජාතියෙන් හෝ ආගමෙන් වෙනස් සහකරුවකු හිමිවීමට හේතු ඇති කරයි. විවාහකයකුගේ අනියම් භාර්ය්‍යාවක් වීම හෝ අතවරයන්ට ලක් වීම ආදී අසුබ ඵලයක් වුව ද ඇති කළ හැකියි. සිකුරු මහ දශා හෝ අතුරු දශාවන්හි දී ගේ දොර ඉඩ කඩම් ධනය ලැබීමද සාර්ථක යුග දිවියක් ගෙන යාමට ද හේතු වේ. ජය අංකය වශයෙන් 2 හා 11 දැක්විය හැකි අතර ඕ ‍‍ අකුර ජය අක්ෂරය වේ. ප්‍රබල ධන යෝග යෙදී ඇත්නම් හදිසි වාසනා ඇති කරනුයේ වයස අවුරුදු 11,20,29,38,47 යන වයස් වලදී වනු ඇත.

ජ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

සටහන

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.