ඩොලර් ගෙනෙන අරගලයක් අරඹමු...

ජුනි 10, 2022

 

වර්තමානයේ ශ්‍රී ලංකාව ඩොලර් අර්බුදයකට මැදිවෙමින් පවතී. මේ සඳහා සුදුසුම පිළියමක් ලෙස අපනයන ආදායම් වැඩිකර ගැනීමටත් ආනයනය වියදම් අඩුකර ගැනීමටත් අප උත්සුක විය යුතුය. රට තුළ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නංවමින් අපේ දේ අප රැක ගත යුතු කාලය එළඹ ඇත.

 

ඔබ දන්නවාද පසුගිය 2018 වසර තුළ පමණක් සෞඛ්‍ය සේවා සඳහා ලංකාවට දැරීමට වූ වියදම ඇමරිකානු ඩොලර් දසලක්ෂ 520කි. එය රුපියල් දස ලක්ෂ 80000 අධිකය. එමෙන් ම එය සමස්ත ආදායමෙන් 2.5% කි.

සෑම දේකින්ම ස්වයංපෝෂිත වූ අප රටට ආහාර, ඖෂධ ආදී විදේශයෙන් ගෙන්වන්නේ මන්ද, අද වන විට අප පුරුදුව ඇත්තේ මසකට වරක් ලැබෙන වැටුප ගෙන වෙළෙඳ සැලකට දී එයින් ලැබෙන අලංකාරව අසුරන ලද විවිධ ආහාර, ඖෂධ, අනෙකුත් භාණ්ඩ රැගෙන විත් පාරිභෝජනයට නොවේද, තවත් අයකු යටතේ සේවය කර වැටුපක් ලබා ගන්නා නිසා තමා විසින් සුළු හෝ ව්‍යාපාරයක්, කර හෝ නිෂ්පාදනය කර ගොඩනැගීමට ප්‍රයත්න දරන ජීවිත අප ලංකාව තුළ ඉතාම අල්පය. එම ක්‍රියාවලියට බොහෝ දෙනා බියක් දක්වති.

ආයුර්වේද වෛද්‍ය වෘත්තියෙන් ම ආරම්භ කර සිතා බලන්න. ඖෂධ නිෂ්පාදනය වෙත යොමු වී තමාගේ නිෂ්පාදන සිදු කිරීමට උත්සුක වන්නේ ඉතාම සුළු වෛද්‍යවරු ප්‍රමාණයක් පමණකි. නිෂ්පාදනාගාර සඳහා ප්‍රාග්ධනය ඔබ සතු නොවේ නම්, ඔබට තව කොතෙක් නිෂ්පාදන, ව්‍යවසායක සේවා සඳහා සහාය දැක්විය හැකිද? වර්තමානයේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන වෙනිවැල්, රත්නිතුල්, අමුකහ, ඉඟුරු මෙවැනි ඖෂධ සඳහා අප කොතෙක් ඩොලර් පිටරට පටවන්නේ ද මෙවැනි ඖෂධ වගා කිරීමේ ව්‍යාපෘති අරඹා මිනිසුන් දිරිමත් කර සහාය වීමට අපවන් ආයුර්වේද වෛද්‍යවරුන්ට ඇත්තෙන්ම හැකියාවක් නැත්තේ ද? මේ අපගේ මව්බිමයි, අපගේ දැනුමයි, අපගේ ශක්තියයි. රට තුළ අපට අවැසි ආයුර්වේදයට අවැසි සියලුම දේශීය ඖෂධ ශාක වගාව ආරම්භ කරමින් ඉන්දියාවට යන විදේශ විනිමය, මුදල් ඉතිරි කරගත හැකි නොවේද? එම මුදල් ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීමට යෙදවීම මඟින් රට තුළ ඉතාම දියුණු ප්‍රමිති සහගත ලෙස ඖෂධ නිෂ්පාදනය සිදුකළ හැකිය.

රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා කොතරම් ඩොලර් වැය කරන්නේ ද අපට ආයුර්වේදීය රූපලාවණ්‍ය නිෂ්පාදන කළ නොහැකිද? කහ, සුදු හඳුන්, රත් හඳුන්, මී පැණි, කලාඳුරු අල, කොත්තමල්ලි, වෙනිවැල් වැනි ඖෂධීය ස්වභාවික රූපලාවණ්‍ය ද්‍රව්‍ය අප රට තුළ නොවේද?.

කොතරම් ප්‍රාග්ධනය හැකියාව තිබුණ ද අප මෙවන් නිෂ්පාදන ක්‍රියාවලි සඳහා අත ගැසීමට බියක් හා සෘණාත්මක ආකල්පයක් දක්වයි. තමාගේ ශක්තිය හැකියාව තමා විසින්ම සඟවා ගනී. රජයේ හෝ වෙනත් අයගේ සහාය බලාපොරොත්තුවෙන් තම හැකියාවන් ඉදිරිපත් නොකර සිටී. මෙය ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සිටම සිදුවන අඩුවක් දෝ විටෙක මට සිතෙයි. කුඩාවට හෝ ඔබේම දෙයක් ආරම්භ කරන්නට බිය නොවන්න. ඔබට සුදුසු ස්වයං ව්‍යාපාරයක් සිදු කරන්න.

එඬරු තෙල්, තල තෙල්, අබ තෙල්, කොහොඹ තෙල්, කුරුඳු තෙල් වැනි තෙල් වර්ග පවා අප විදේශයන්ගෙන් වන අතර එඬරු, තල, අබ, කොහොඹ වැනි දේ ලංකාව තුළ ඉතා හොඳින් වගා කළ හැකි මෙන්ම ඉබේම මෙම පොළොව තුළ වැවෙන ශාකයන් ය. නිකරුනේ ගස් යට වැටී යන එඬරු ඇට, කොහොඹ ඇට, තල ඇට කොතරම් ද මෙයින් තෙල් නිපදවීම අපට අවශ්‍යව ඇත්තේ යන්ත්‍රයක් පමණි. තාක්ෂණයේ දියුණුවත් සමඟ නිෂ්පාදනය කර ඇති විවිධ යන්ත්‍ර සූත්‍ර අපමණය. යන්ත්‍රයක් ගෙන්වීමට ඩොලර් වියදම් කිරීම ආයෝජනයක් මිස අපතේ යාමක් නොවේ. මෙවන් යන්ත්‍රයක් විදේශයෙන් ගෙන්වා ගෙන හෝ අප රට තුළ මෙම ඖෂධීය තෙල් නිෂ්පාදනය කර රට තුළ මෙන්ම විදේශයන් තුළ පවා අපනයනය කර ඩොලර් රටට ගලා ඒමට මං මාවත් විවර කර ගනිමු.

අපි නුවණින් කටයුතු කරන වගකීම් සහිත ජාතියක් වෙමු. මාළුවෙක් සැමදා මිලදී ගෙන ආහාරයට ගන්නවාට වඩා බිළී පිත්තක් මිලට ගෙන එයින් මාළුන් බිළී බාගෙන අනුභවය ලාභදායී බව කතාවට කියන කියමනකි. නමුත් මෙහි අර්ථය සැබෑවකි. දිනපතා විදේශයට ඩොලර් පූජා කරනවාට වඩා රට තුළ ඩොලර් නිපදවිය හැකි මාර්ග තනා ගැනීමට අප උත්සුක වෙමු.

ඔබට හැකියාව තිබේද? ඔබේ වත්තේ ඉඩකඩ තිබේද? ඔබට ධනය තිබේද? මින් එකක් හෝ ඔබට ඇත්නම් නොපමාව ප්‍රයෝජනයට ගන්න. ඔබේ අසල්වැසියා තෙල් වර්ග නිෂ්පාදනය කරන්නේ නම් ඔබ ඔහුට වඩා ලොකු තෙල් නිෂ්පාදනාගාරයක් සැකසීමට යත්න දරන්නට එපා. ඔබ ඔහුට සහය වන්න. ඔහුට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ආයතනයක් ඉදිකරන්න, ඔහුට අවශ්‍ය බෝතල්, ස්ටිකර් ආදිය සපයන ස්ථානයක් ඇති කරන්න. එම තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් පිහිටුවන්න. මේ ඕනෑම ලෙසකට ඔබට ඔහුට සහාය විය හැකිය.

පිදුරු, පොල් ලෙලි, කොළරොඩු, ප්ලාස්ටික්, වීදුරු එකී නොකී බොහෝ දේ නැවත භාවිත කළ හැකි ආකාරයක් සිතන්න. ඒ හා සම්බන්ධ නිෂ්පාදන සිදු කරන්න. ස්වීඩනය වැනි පොහොසත් රටවල වාහන ධාවනය වන්නේ කෙසේද මේ පිළිබඳ සොයා බලන්න.

මෙතරම් ගවගාල්, එළුවන්, කුකුළන්, ඌරන් ඇති කරන රටක ජීව වායුව නිපදවිය නොහැකි ද එයින් අප ගෘහස්ත ඉන්ධන අවශ්‍යතා සපුරාගත හැකි නොවේද?

රටක් ජාතියක් ලෙස එක්ව සමගියෙන් ගොඩනැගෙමු. අපේ ගෙදර ගැටලුවක් පැණ නැඟුණු විට සහෝදර, සහෝදරියන් ඇනකොටා ගනී නම් අපේ අම්මා කෙතරම් හිතින් ගතින් පීඩා විඳී ද ඇය රෝගී වී අයාලේ මිය යන්නා සේම අප සැමගේම මව මේ ශ්‍රී ලංකා මාතාවයි. ඇය ආර්ථික, සමාජීය, දේශපාලනික යන සෑම අතින් ම ගැටලුවකට මැදි වී ඇති අවස්ථාවක එකිනෙකා ඇන කොටා ගනිමින් පිල් බෙදී ගහමරා ගැනීමෙන් අපේ ශ්‍රී ලංකා මාතාවට මිය දෙනු නියතය. අතීතයේ රන් අකුරින් ලියැවුණු අපේ රට දැන් දැන් මැකීයයි. සෑම දෙනා එක්ව නැගී සිටිමු.ඩොලර් විදේශ ගත කිරීම නවතා විදේශීය ඩොලර් මෙරටට ගෙන්වන අරගලය සඳහා ඔබේ තරුණ ජීවිතය කැප කරමු. හැමෝම එක්ව එකාසේ දල දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමට කැප වෙමින් අපේ මව්බිම මෙම ආර්ථික අර්බුදයෙන් ගලවා ගනිමු. මවුබිමට අපි සැවොම එකා මෙන් රැකගමු.

 

වෛද්‍ය ගුණවතී එදිරිසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.