සුබ ගණ පිහිටුවමින් ඇරැඹි සුබසෙත වසර 53 සපුරයි

මැයි 27, 2022

 

පත්තර මහගෙදර ඒකාලෝක කරන මහා පහන් ටැඹක් සේ සිය ආලෝකකිරණ දසතම විහිදුවමින් නැඟී සිටින සුබසෙත පුවත්පත තම ස්වර්ණමය දිවියේ 53වැනි කඩඉම පසුකරන්නේ අභිමානවත්වය. එදා වේල්ල වීදියේ අතින් අකුරු අමුණමින් මුද්‍රණ කලාවට අත්පොත් තබමින් සිටි අවධියේ ජාතියේ පිනට උපන් ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ආරම්භ කරන ලද්දේ රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙනේ මහ නාහිමි රත්මලානේ ධම්මාලෝක හිමියන් සකසා දෙන ලද විජයග්‍රාහී දිව්‍යමය සුබ මුහුර්තයෙනි. ඒ ඉතා බලගතු නැකතකිනි. එහි ස්ථාවරත්වය නිසාම ලේක්හවුස් ආයතනය තුන්කල්හිම නිරුපද්‍රිතව වැජඹෙනු ඇතැයි එදින උන්වහන්සේ වදාළ බැව් අපි අසා ඇත්තෙමු.

 

එවකට පත්‍ර කලාවේ පතාක යෝධයකු වූ පියසේන නිශ්ශංක, නම් මහා පත්‍ර කලාවේදියාගේ මූලිකත්වයෙන් හා මඟපෙන්වීමෙන් සුබසෙත පුවත්පත ඇරැඹුණි. එවකට දිනමිණ ප්‍රධාන කතුවරයාව සිටි පියසේන නිශ්ශංක ශූරින් සුබසෙත ප්‍රධාන කර්තෘ ලෙස සුබසෙත පුවත්පත අරඹන්නේ ද සුබ නැකතකිනි.

ඡ්‍යොතිෂ්‍ය, හස්ත රේඛා, ගුප්ත විද්‍යාව, ශාන්තිකර්ම, ආයුර්වේදය යන අප රටේ ප්‍රධාන සංස්කෘතික දායාදයන් ඉදිරි පරපුර සඳහා රැකගනිමින් ඔවුන් දැනුවත් කරමින් අප අනන්‍යතාවය තහවුරු කිරීමට සුබසෙත අගනා තෝතැන්නක්ම විය. වසර පනස්තුනක් පුරා එලෙස ඡ්‍යොතිෂයටත්, ආයුර්වේදයටත් එක මඟ ගත හැකි පුවත්පතක් වී නම් ඒ සුබසෙතම විය.

මීට වසර පනස්තුනකට පෙරාතුව එනම් 1969.05.28 බුධ දින සුබසෙත බිහිවන්නේ, මහා පුවත්පත් කලාවේදී පියසේන නිශ්ශංක, බඹරැන්දේ සිරිසීවලී නාහිමි, තෙල්ලඹුරේ පවරකිත්ති හිමි, පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි’ වෛද්‍යාචාර්ය, ආර්.බුද්ධදාස, දෙහිවල වෛද්‍යාචාර්ය ඇම්. සාදිරිස්, බොරැස්ස ආයුර්වේදයේ අධිපති විලියම් අල්විස් ආදි මහ වෙද ඇදුරන් සමඟ දින ගණනාවක් කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

‘සුබසෙත’ යන නාමය පුවත්පතට තැබීම ද ආවාට ගියාට සිදු නොවිණි. එය ද කල්යල් බලා සුබ ගණ පිහිටීමෙන් යෙදූ නමකි. ‘සුබසෙත’ යනු ලඝු අක්ෂර තුනක්ම උපයෝගී කර ගනිමින් තැබුණු නමක් විය. එහි අර්ථය වූයේ ‘ආයුබලයයි’. ඡ්‍යොතිෂයට අනුව යමෙකුගේ නාමය ආයු, සැප, බල, ප්‍රඥා, ප්‍රසිද්ධිය, පැවැත්ම සඳහා ගණ පිහිටුවා යෙදීම සිදු කෙරේ. එය ඉතාම සුබදායකය. එලෙස චිරාත් කාලයක් වැජඹෙන මෙම ඡ්‍යොතිෂ පුවත්පතට ද ‘සුබසෙත’ යන නම තැබිණි. එතැන් පටන් සතියක් පාසා රටේ අනාගතය මෙන්ම සමස්ත ඡ්‍යොතිෂ දහම ද දිනෙන් දින අලුත් වන ආයුර්වේද දැනුම ද සාර්ථක සුබ පෙරනිමිති ද රටට දැයට ගෙන එන්නට සුබසෙත නිතැතින්ම කැපවී කටයුතු කරනු ලබන්නේය.

ඒ අනුව ඡ්‍යොතිෂය ශාස්ත්‍රයත්, ආයුර්වේද ශාස්ත්‍රයත් පෝෂණය කිරීම සුබසෙතෙහි මූලික අරමුණ වූවාට සැක නැත.

1969.05.28 දින සිට මෙතෙක් සුබසෙත පැමිණි ගමන් මඟ ඉතා දිගු විය. අද වන විට පත්‍ර කලා ලෝකයේ තම ඔද තෙද පතුරුවමින් පෙරමුණේ සිටින්නට සුබසෙත සමත්ව තිබීම ආඩම්බරයට කරුණකි. තවතවත් දිගුකල් වැජඹෙන්නට සුබසෙතට දිගාසිරි පතමි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.