වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අවුරුදු සිරිත් නිසි ලෙස ඉටු කරමු
හෙළ සංස්කෘතිය අනුව වැදගත්ම ප්‍රමුඛත්වයේ සැලකෙන හෙළ සිරිතට විරිතට මෙන්ම නැකැත් චාරිත්‍රවලට ද මුල්තැනදී කටයුතු කරන සූර්ය මංගල්‍යය මිහිමත වෙසෙන මානවයනට සතා සිව්පාවුනට පමණක් නොව තුරුලතා ආදියට වැඩිම බලපෑමක් ඇති සූර්යයා මුල්කරගෙන පැවැත්වෙන මංගල්‍යයක් වෙයි.
සූර්ය මංගල්‍ය හා බැඳුණු චාරිත්‍ර රාශියක් ඇති අතර ඒවා ගැන කිසිම හැඟීමක් නොමැතිව හිතුමතේට වැඩ කිරීම නිසා නොයෙකුත් වස්දොස් වැරදි ඇතිවේ.
ඡ්‍යොතිෂයට මුල්තැන දෙමින් නිසි ලෙස නැකැත් චාරිත්‍ර නිසි අයුරින් ඉටුකිරීමෙන් නීරෝගි සම්පත මෙන්ම දියුණුව සෞභාග්‍යය ද උදාකර ගැනීමට හැකිවනු ඇත. මෙම චාරිත්‍ර කටයුතුවලදී ගෘහනියට මුල්තැනක් ලැබෙනු ඇත. ගේ දොර සහ පරිසරය පිරිසුදු කිරීමේ කටයුතු තම වගකීමක් ලෙස සලකා ගෘහණිය එදා මෙන්ම අදත් එම කටයුතු මැනවින් ඉටු කරන්නීය.
ගෘහනියගේ මෙම කටයුතුවලට ගෘහමූලිකයා ද උදවුවීමෙන් ගෙදර ශි‍්‍රයාකාන්තාව රජ කරනු ඇත. අලුත් අවුරුදු නැකත් ඉටු කරන කාලය තුළ පවුලේ සාමාජිකයින් සියලුදෙනාම නිවසේ රැඳී සිටීම යහපත් වේ. අවුරුදු නැකතට පෙර යෙදෙනුයේ නොනගත කාලයයි. එම කාලය තුළ ආගමික කටයුතු කරනු හැර අන් කිසිවක් කිරීම සුදුසු නැත. පුණ්‍ය කාලය ආරම්භයේ සිට ආහාර අනුභව කර ගනුදෙනු කරන මොහොත දක්වා කිසිම ගනුදෙනු කිරීමක් නැති නමුත් හෙළ සිරිත් අගය නොකරන අය එම කටයුතු ගැන සැලකිල්ලක් නොදක්වා විවිධ ක්‍රීඩාවන් කිරීමට පවා පෙළඹෙති. නැකැතට ලිපගිනි දැල්වීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම යන චාරිත්‍ර ඉතා වැදගත් චාරිත්‍ර වන අතර මෙම කටයුතුවලට සියලුදෙනාම එකාවන්ව සහභාගි වී කටයුතු කිරීම ඉතාමත් සතුටට කරුණක් වනු ඇත.
ලිප ගිනි දල්වන නැකැත් චාරිත්‍රයේ දී නිවසේ සාලය මැද ලිපක් බැඳ කිරි ඉතිර වීමත්, කුස්සියේ ඇති ස්ථිර ලිප දල්වා කිරිබතක් ලිප තැබීමත් සිදු කරති. දුවාදරුවන් එක්ව කිරි ඉතිරවීම සිදු කරන විට ගෘහනිය ස්ථිර ලිප දැල්වීම සිදුකරන්නීය. ආහාර පිසීමේ සියලු කටයුතුවලට ගෘහමූලිකයාවද සම්බන්ධ කර ගැනීමට ගෘහණිය උනන්දුවිය යුතු ය.
මවගේ උපදෙස් පරිදි දරුවන් කෑම මේසය පිළියෙළ කිරීම සිදුකරන අතර ශුභදිශාව බලා ආහාර ගැනීමට හැකිවනසේ මේසය පිළියෙල කරගත යුතු ය.
මේසයට සුදු ඇතිරිල්ලක් දමා පිත්තල පහනක් ද මේසය මත තබා පහන්තිර යොදා සූදානම් කර කැවුම්, කොකිස් වැනි අවුරුද්ද වෙනුවෙන් සාදන ලද කැවිලි පෙවිලි ආදියත් පිස ගන්නා ලද කිරිබත් ද තබා බුලත් අතක් ද මේසය මත තබා ආහාර මේසය සකසා ගත යුතු ය.
ආහාර අනුභවය හා වැඩ ඇල්ලීම හා ගනුදෙනු කරන නැකැත යෙදුණ විට මුල් තැන දෙන්නේ වැඩ ඇල්ලීමටය. පාසල් යන දුවාදරුවන් තමාගේ පාසල් පොත් ගෙන පාඩම් කටයුතු සිදු කිරීමත්, ගෘහණිය හා ගෘහමූලිකයා වත්තේ ගහකොළ සිටුවීම හෝ තමා කරන රැකීරක්ෂා කටයුතුවල නිරතවීමත් සිදු කරනු ඇත. ගෘහණිය ළිඳ සමඟ මුලින්ම ගනුදෙනු කිරීම සිදු කරයි. ගෘහ මූලිකයාට ද බුලත් කොළයක ඔතන ලද පඬුර බැගින් දරුවන් අතට දීම සිදුකරයි. දරුවන් ඒවාගෙන මවුපියන් නමැදීම සිදුකරයි.
පසුව පියා භාර්යාවට මෙන්ම පිළිවෙළින් දරුවන්ට ද කිරිබත් කවා ආහාර අනුභවය කිරීම සිදු කරයි. මෙම සෑම කටයුත්තක්ම නියමිත වේලාවට නියමිත දිශාව බලා චාරිත්‍රානුකූලව සිදු කිරීමෙන් සතුට සෞභාග්‍යය මෙන්ම යහපත ද දරුවන්ගේ කටයුතුවල සාර්ථක බවක් ද උදාකර ගැනීමට හැකිවනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී,
ගීතිකා සමරතුංග