යුගදිවි සැපත අහිමි කරවන ග්‍රහයින් හඳුනා ගනිමු

ඔක්තෝබර් 15, 2021

වන්දි ඉල්ලා නඩුවක් උසාවියෙන් ඇසෙයි. අධිකරණයේ පිහිට පතන්නේ විවාහයෙන් පීඩාවට පත් වූ අයෙකි. ඇතැම් කාන්තාවක් දරුවකු සමඟ දෙමාපියන්වෙත ගොස් ඇත. එයද සහකරුගේ හැරයාමක් හෝ මියයාමක් නිසා සිදුවූවක් විය හැකිය. යුගදිවි සැපත අහිමි වීම විවාහයෙන් වෙන්වීම, විවාහය බිඳ වැටීම පමණක් නොවේ.

 

යුගදිවිය හා සබැඳුණු ලිංගිකත්වයේ බල දුබලකම් මතද මෙම අවාසනාවන්ත සිදුවීම් ඇතිවෙයි. පෙම් කරන කාලයේ නොදුටු නොගැළපීම්, දුර්වලතා අවබෝධ වන්නේ විවාහයෙන්ද මද කලකට පසුව ය. දේවාල, පුද පූජා ආදී ගුප්ත කටයුතුවල පිහිට පතන උදවිය එම ස්ථානවෙත නිරායාසයෙන්ම යොමු වන්නේ මෙම නොගැළපීම් හඳුනාගත් පසුවය.

හැරයාම වන්දි ලැබීමකට හෝ නීතිමය වෙන්වීමකට සාධකයක් විය හැකි ය. එයට පෙර තම ජන්මපත අනුව යුග දිවි සැපත අහිමි කරවන ග්‍රහයන් හඳුනා ගැනීම සහ එය අවබෝධ කර ගැනීම විවාහය රැක ගැනීමට මාර්ගයකි. ජන්ම පත්‍රයේ ග්‍රහ රටාව හඳුනාගැනීමෙන් එයට ගැළපෙන ග්‍රහ රටාවන් හිමි ජන්ම පත්‍රයක සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමට පහසුවෙයි.

කේතු හෝ සෙනසුරු හත්වැන්නේ වීම විවාහය දුර්වලවීමට හේතුවක් බව පොදු මතයකි. කුජ හත්වැන්නේ යෝග වීම විවාහය බිඳ වැටීමක් බව පැවසෙයි. මෙම නිගමනයන් අනුව ගැළපෙන විවාහයන්ද සිදුනොවන අවස්ථාවන් බොහෝ ය.

කේතු හත්වැන්නේ නම් කේතු හෝ සෙනසුරු හත්වැන්නේ වන ජන්ම පත්‍රයක් එම ජන්ම පත්‍රයට මනාව ගැළපෙයි.

 

සෙනසුරු හත්වැන්නට අයහපත් නොවන්නේ නම් එහි ගැටලුවක් නැත. සෙනසුරු හත් වැන්නට දිග්බලවඩයි. බලවත් වූ සෙනසුරු හත් වැන්නට යහපත් වූ විවාහයකට මඟ සලසයි. හතේ සෙනසුරු පිහිටි ජන්මියා යුග දිවියේ කවර බාධකයක් වුවද විඳ දරා ගැනීමට සූදානම්ය. එයට මුහුණ දීමේ බලය, ශක්තිය සෙනසුරු විසින් සලසනු ලබයි.

පාපීන් ලෙස හඳුන්වනු ලබන ග්‍රහයන් ජන්ම පත්‍ර අනුව විමසුම් කිරීමේ දී එකී අසුබ රටාවන්ගෙන් ඈත් වෙයි. ඇතැම් පාපි ග්‍රහයන් නොගැළපීම් අනුව අසුබ බලපෑම් ඇතිකරවන අවස්ථාවන්ද ඇත. විවාහයට බාධා කරනුයේ පාපි ග්‍රහයන් පමණක් ද? නැත එය තර්කානුකූල නොවන්නකි. සුබ ග්‍රහයන්ගෙන්ද යුග දිවියට බාධක ඇතිවෙයි. බුධ, ගුරු, සඳු, සිකුරු ආදී ග්‍රහයෝ සැම විටම සුබ ඵල උදානොකරති.

මිථුන, කන්‍යා ලග්න හිමියන් හට ගුරු පාපියෙකි. කන්‍යා ලග්නයට සිව්වැන්න සහ සත්වැන්න ගුරුට හිමිවෙයි. මිථුන ලග්නය වූ විට හත්වැන්න ධනුව වෙයි. එහෙයින් මිථුන, කන්‍යා ලග්න හිමියන්ට හට අනිටු පල උදාකරදීමට ගුරු ග්‍රහයා සමත්වෙයි.

සඳු, බුධ, සිකුරු වැනි ග්‍රහයෝ ජන්මියා ලෞකික දිවියෙන් ඉවත් කිරීමට සූදානමක් නැත. දුර්වල වීම, නීච වීම මත යුග දිවියට විවිධ වූ බාධක මතුකරවයි. ගුරු හිමි මීන රාශියේ දී සිකුරු උච්ච වෙයි. සිකුරුගේ උච්ච බලය මත යුග දිවිය පීඩා කරවන්නේ සිකුරු උච්චව ලග්නය හත හෝ අටවන භාවයේ පිහිටි විටදී ය. මීන ලග්නයට ලග්නයේ ද කන්‍යා ලග්නයට හත්වැන්නේ දී ද සිංහ ලග්නයට අට වැන්නේ දී ද සිකුරු අයහපත් පලාපල ගොනුකරයි.

සිකුරු උච්ච බලයෙන් සිටියද සිංහ ලග්න හිමියන්ගේ යුගදිවිය මද කලකින් නීරස වෙයි. අසාර්ථක වෙයි. සිකුරු කුජ සමඟ යෝගව කවර නම් ලග්නයක කවර රාශියක බලවත් වුවද එය යුගදිවි සැපතට බාධකයෙකි. කුජ සිකුරු ලග්නයේ හෝ හත් වැන්නේ වූයේ නම් ජන්මියා අඩු වයසින්ම යුග දිවියට පොළඹවයි. එලෙසින්ම විනෝදකාමී සල්ලාල ගති පහළ කරවයි. අනියම් ඇසුරට අනාචාරයට යොමුවන ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම කුජ සිකුරු බලය ප්‍රබලව පෙන්නුම් කෙරෙයි. ලග්නය හෝ හත් වැන්නේ සිකුරු කවර පාපියෙකු සමඟ යෝග වුවද එය විවාහ දිවියට බාධකයකි.

සිකුරු උච්ච වීම විවාහයේ සාර්ථකත්වයට වඩා වගකීමකින් තොරව කටයුතු කිරීමට ජන්මියා පෙළඹවීමකි. විවාහ වූ අයෙකුගේ වගකීම් යුතුකම්වලට වඩා විනෝදය නිදහස අගයන එවැන්නන් යුගදිවියේ උතුම් සාරධර්ම හඳුනානොගනියි. ගුරු සිකුරු සංයෝගය ද විවාහයට අහිතකරය. සතුරු ග්‍රහයන් දෙදෙනෙකු වන ගුරු සිකුරුගෙන් විවාහ දිවියේ ආකල්පයන් පරස්පරව දක්වයි. එය දෙදෙනෙකුගේ මත ගැටුම් වලට සහ යුගදිවි සැපත හීන කිරීමට මග සලසයි. ගුරු සිකුරු මෙන් ගුරු බුධ සංයෝගයද සතුරුය. ඔවුන් භාවඵල නසයි. ධනු මීන ලග්නවලට බුධ ලග්නගතවීම යහපත් නැත.

යුග දිවි ගැටලුවලින් විවාහය දෙදරා යාමට සඳු ග්‍රහයාද මූලික වෙයි. සඳු සමඟ කුජ හය හත අට වන භාවයනට යෝගවීමද විවිධ වූ ලිංගික ගැටලු ලිංගික ආබාධ මතුවීමකි. සඳු ග්‍රහයා ශනි සහ රාහු සමඟ එක්ව සිටීමද යහපත් නැත. නීච වූ සඳු හත් වැන්නට අසුබ ඵල උදාකරවයි. යුගදිවි සැපතට හානිකර ග්‍රහයන් පිළිබඳව විමසුම් කිරීමේ දී ශුභ ග්‍රහයන් සහ පාපි ග්‍රහයන් මෙලෙස යැයි දැක්වීම නිවැරැදි නොවේ.

සඳු ගුරු බුධ, සිකුරු වැනි ග්‍රහයකු විසි දෙවන දෙර්කානාධිපතිව හත් වැන්නේ යෝගවීම හෝ හත්වැන්නාධිපති වීම යුගදිවි ගැටලුවකි. ඇතැම් විට අවිවාහක යෝගයක්ද විය හැකියි. ලග්නාධිපතියාගේ නීචවීමද ජන්මියාගේ බල දුබලවීමට හේතුවකි.

යුග දිවිය පිළිබඳ විමසුමේ දී පුරුෂ කේන්ද්‍රයේ ලග්නය දෙවැන්න හත්වැන්න පරීක්ෂා කළ යුතු ය. ස්ත්‍රී කේන්ද්‍රයේ පාප ග්‍රහයන් හඳුනා ගැනීමත් චන්ද්‍රයාගෙන් සහ සිකුරුගෙන් හත්වැන්න හා අටවැන්න සෙවිමත් වැදගත් ය.

යුගදිවි සැපත අහිමි කරවන ග්‍රහයින් හඳුනා ගැනීමට ජන්ම පත්‍රයක ග්‍රහ රටාව විමර්ශනාත්මකව දැකිය යුතු වෙයි. දෝෂ සහ දෝෂ භංගවීම්ද නිසිලෙස හඳුනාගැනීමට එය පහසුවවකි. නිවැරැදි ඡ්‍යොතිෂවේදියාගේ දැක්ම එයට අනුගතය.

 

ඡ්‍යොතිෂවේදී

මතුගම ජයනෙත්ති

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.