දික්කසාදය හා දෙවැනි විවාහය

සැප්තැම්බර් 17, 2021

ජීවිතයේ නිසි වයස ළගාවත්ම බොහෝ දෙනා තම විවාහ ජීවිතය ගැන සිහින මවමින් බොහෝ බලාපොරොත්තු පැතුම් සිතෙහි රඳවාගෙන සාමකාමී යුග දිවියක් ගත කිරීමට ආශාවකින් යුතුව කටයුතු කරනු ඇත. සමහරු තම සිතැඟි අනුව දෙමාපියන් සොයා දුන් අයකු සමඟ විවාහ වන අතර තමා සොයාගත් සහකරු හෝ සහකාරිය සමඟ වසර ගණනක් ඇසුරකින් පසු විවාහ දිවියට පා තබනු ඇත.

 

කුමන අයුරකින් හෝ යුගදිවියට පත් වී ඔවුනට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරිමට නොලැබෙන අවස්ථා ද ඇතිවේ. මාසයක් දෙකක් වැනි කෙටි කලකින් මෙන්ම විවාහ වී වසර තිහ හතළිහක් පසු වී වුවත් විවාහ ජීවිතය නීරස වී දික්කසාදය කෙරෙහි යොමුවන අවස්ථා ද අද සමාජයේ නැතුවා නොවේ.

දික්කසාදය කෙරෙහි හේතු වන බොහෝ කරුණු ඇති අතර ජීවිතයට මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු පීඩා දික්කසාදයකින් කෙළවර වීමට අදාල නොවන කරුණු ද වීමට පුළුවන‍. බොහෝ විට විශ්වාසය පළුඳු වීම, අනියම් ලිංගික ඇසුර, අකාරුණික භාවය නිසා ද දික්කසාදය වෙත යොමුවනු ඇත. දික්කසාදය කුමන කාරණයක් සම්බන්ධයෙන් සිදුවුවද ඒ් කෙරෙහි ග්‍රහ බලපෑම බොහෝ සෙයින් බලපානු ඇත.

දික්කසාදය කෙරෙහි සහකරුගේ මෙන්ම සහකාරියගේ කේන්ද්‍රයේ ග්‍රහ බලපෑම් එකසේ බලපාන බැව් පැහැදිලි වී ඇත. එක් කේන්ද්‍රයක් හිමි අයකුගේ දික්කසාදයක් සිදුවන යෝගයක් යෙදී තිබියදී අනෙක් කේන්ද්‍ර හිමියාගේ කේන්ද්‍රයේ එවැනිම යෝගයක් යෙදී ඇති නම් එවැනි පුද්ගයන්ගේ දික්කසාදය අනෙක් පුද්ගලයන්ගේ දික්කසාදයට වඩා ඉක්මන් වනු ඇත. තනි බලයට වඩා බලයන් දෙකක් එක් වූ විට එහි ක්‍රියාත්මක වේගය වඩාත් හොඳීන් සිදුවේ.එබැවින් විවාහයකට පෙළඹෙන පුද්ගලයන් දෙදෙනාගේ කේන්ද්‍රවල ඇති අයහපත් ග්‍රහ පිහිටීම් ගැන වැඩිපුර සැලකිලිමත් වීම යහපත් වනුඇත. අඟහරු හා සෙනසුරු යෝග වීම හෝ කුජ සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වීම විවාහය බිඳ වැටීම හෝ දික්කසාදයට සෘජුවම බලපාන යෝගයකි. මෙම යෝගය හෝ දෘෂ්ටිය ලග්න කේන්ද්‍රයේ ලග්නය, දෙක, හත, අට යන ස්ථානයක වේ නම් වඩාත් අශුභදායකය. මෙම ස්ථානයක අඟහරු නීච වීමෙන් දික්කසාදය පහසු කෙරේ. මෙම යෝගය හෝ දෘෂ්ටිය කේන්ද්‍රයේ කුමන ස්ථානයක පිහිටිය ද එමඟින් යම් අහිතකර බලපෑමක් ඇතිවේ.

දෙවැන්න හා හත්වැන්න අධිපතියන් සංයෝව සිටියදී ඒම සංයෝගය බලවත් පාපීන්ගේ දෘෂ්ටියට ගොදුරුවීමද අයහපත්ය. විවාහයට වැඩි බලපෑමක් ඇති ස්ථානයක යෙදීමෙන් දික්කසාදයට මග පෑදේ. සෙනසුරු වැනි පාප ග්‍රහයකු රාහු සමඟ ලග්නයේ සංයෝග වීම විවාහයේ පැවැත්මට යහපත් නොවේ. එම සංයෝගයද විවාහ කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරයි. එහෙත් එය බ්‍රහස්පති පාප දෘෂ්ටියට ලක් වුවහොත් එම හත් වැන්න අධිපතියා නීචව හෝ සතුරු බලයෙන් යුක්තව හෝ හත්වැන්නේ සිටීමද යහපත් නොවේ. හත්වැන්න අධිපතියා බලවත් ලෙස පීඩාවට පත් වූ විට ද විවාහයට අහිතකර බලපෑම් ඇති කරවන අතර හත හා එකොළහ අධිපතියගේ සංයෝගය පාපයන්ගේ දෘෂ්ටියට ලක් වීමෙන් විවාහ කැඩී යාමට වුවත් ඉඩ ඇති අතර අයහපත් මහ දශාවක් පවතින කාලයකදී දික්කසාදය සිදුවිය හැකිය.

හත්වැන්න හා අට වැන්න අධිපතියාගේ සංයෝගය වරෙක සිය සහකරුට මරණය පවා ගෙන දිය හැකි අතර ඒසේ නොවුණහොත් දික්කසාදයකින් හෝ විවාහය කෙළවර වනු ඇත. හත් වැන්න අධිපතියා නීචව 6,8,12 යන ස්ථානයක සිටියදී අඟහරු වැනි පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක් වීමද දික්කසාදයට හේතුවක් වන අතර මෙම යෝගය යෙදී විවාහයට සෘජු සබඳතාවයක් ඇති ස්ථානයක රාහු සිටී නම් වැඩි කල් නොගොස් දික්කසාදය සිදුවන ඇත.

එමෙන්ම ලග්න කේන්ද්‍රයේ දෙවැනි විවාහයකට යොමු වීමේ පිහිටීම් ඇත්නම් අනියම් සබඳතාවයක් මත හෝ දෙවැනි විවාහයක් සිදුවනු ඇත. විවාහය පාලනය කරන්නේ සඳු සිකුරු හා හත්වැන්නේ සි‌ටින ග්‍රහයන්ය. පිරිමියකුගේ විවාහය සිකුරු විසින් පාලනය කරන අතර කාන්තාවකගේ විවාහය කුජ විසින් පාලනය කරයි. බහු විවාහ යෝග ක්‍රියාත්මක වන්නේ සෙනසුරු ඒ්රාෂ්ටක හා රාගික සිතිවිලි උත්පාදනය වන මහ දශා හෝ අන්තර් දශා පවතින කාල තුළදීය. බහු විවාහ වල බලය ශූන්‍ය කරන යෝග ඇත්නම් ඒ්වා ක්‍රියාත්මක් නොවනු ඇත‍. ඒක කේන්ද්‍රයක රවි උච්චව සිටියදී අනෙක් කේන්ද්‍රයේ රවි නීච වීමෙන් දෙදෙනා‌ගේ අදහස් විෂම තත්වයෙන් පැවැතීමට පිළිවන.‍ එවැනි පරස්පර යෝග යෙදීම නිසා සාමය සමගිය ඇති නොවේ.

පාප ග්‍රහයන් හත් වැන්නේ හෝ අටවැන්නේ සංයෝගව සිටියදී අඟහරු 12 වැන්නේ නම් එම අයගේ පළමු විවාහය වැඩි කාලයක් නොපවතී.අඟහරු සමඟ රාහු සංයෝග වූ විට අයහපත් තත්වය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇත.හත්වැන්නේ සිකුරු නීච තත්වයට පත්වීම හෝ සතුරු බලයෙන් යුක්තව බලවත් පාපීන්ගේ දෘෂ්ටියට ගොදුරු වීමද විවාහය බිඳ වැටීමට හේතුවකි. දෙවැන්න හා හත්වැන්න අධිපතියාගේ සංයෝගයද ප්‍රථම විවාහයේ පැවැත්මට හිතකර නොවේ.

මෙම සංයෝගයට සිකුරු එක්වී සිටියදී රාහුගේ දෘෂ්ටියට ලක් වුවහොත් වඩාත් අසතුටුදායකය. හත්වැන්න අධිපතියා පාප ග්‍රහයකු සමඟ සංයෝගව සිටීම නිසා හත් වැන්න දුර්වලත්වයට පත්වේ. එම නිසා පළමු විවාහය කැඩීදෙවැනි විවාහයක් සිදුවීමට ද ඉඩ තිබේ.

හත්වැන්න අධිපතියා සරාගී හැගීම් ඇති කරවන ග්‍රහයකු බවට පත්වී සිටියදී බලවත් අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියට යොමුවීම යහපත් නොවේ. හත් වැන්න අධිපතියා 12 වැන්නේ දුර්වල වීමද සුබදායක පිහිටීමක් නොවනු ඇත. මෙවැනි යෝගයක් යෙදුණ විට අනියම් සබඳතා ඇතිවීමේ ප්‍රවනතාවය වැඩියි.

බුධ හත්වැන්න අධිපතියා වී රවි සමඟ 5 වැන්නේ සංයෝගව සිටියදී අඟහරුගේ දෘෂ්ටියට ලක්වීම අනියම් සබඳතා ඇතිවීමට හේතුවකි. සඳු රාහු සමඟ සංයෝග වීමද අනියම් සබඳතා වලට හේතුවේ. නමුත් ඒ නිසාම දෙවැනි විවාහයක් සිදුනොවේ. මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති හා අට වැන්න අධිපති කුජ වී අඟහරු සමඟ කේතු දෙවැන්නේ සිටින විට දෙවැන්න අධිපති 5 වැන්නේ සිටීමෙන් කුජගේ දෘෂ්ටියට ලක්වීම සුබදායක නොවන අතර සෙනසුරු ලග්නයේ ගමන් කරන කාලය වන විට විවාහ බිඳ වැටීමට ඉඩ ඇත.

ධනු ලග්න හිමියන්ගේ හත් වැන්න අධිපති කේතු සමඟ සංයෝගව 12 වැන්නේ සිටින විට සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වීමත් හය අධිපතියා හා 12 වැන්න අධිපතියා වූ සිකුරු ලග්නයේ සංයෝග වීමත් නිසා හත්වැන්න වූ විවාහ ස්ථානයට එම දෘෂ්ටිය වැටීමෙන් ද විවාහ දෙකක් හෝ කීපයක් ඇතිවීමටද ඉඩ තිබේ.

ඔබ කුමන අයුරකින් යුග දිවියට පත් වුවත් යුග දිවියේ බාධක ඇති කරන ග්‍රහ පිහිටීම් ඇත්නම් විවාහ දිවියේ ඇති සතුට, සමඟිය, සාමයට නොයෙක් බාධා ඇතිවිය හැකි බැවින් විවාහ වීමට පෙර හොඳීන් කේන්ද්‍ර සටහන් වල පිහිටීම් ගැන දැන විවාහයට එළැඹීමෙන් දුෂ්කරතා මඟහැර තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය උදාවනු ඇත.

 

ජ්‍යොතිෂවේදිනී

ගීතිකා සමරතුංග

 

සකස්කළේ

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.