සමාජ මාධ්‍ය ජාල භාවිතයට දැඩිලෙස ඇබ්බැහිවීම නිසා වැළදෙන මානසික රෝග

ජූලි 16, 2021

පසුගිය දශක 2 ක පමණ කාලය තුළ අන්තර්ජාල ආශ්‍රිත සමාජ ජාල භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය නූතන ජන සමාජයට නැතුවම බැරි මූලිකාංගයක්වී ඇත.

ශ්‍රි ලංකාවේ දැනට මිලියන 31.8 ක් පමණ ජංගම දුරකථන භාවිතා කරන අතර, මිලියන 10.10 ක් පමණ අන්තර් ජාලය භාවිතා කරයි. එසේම ලංකාවේ ජනගහනයෙන් මිලියන 6.40 ක් පමණ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරයි. 2019- 2020 අතර කාලය තුළදී පමණක් ලංකාවේ ස්මාර්ට් දුරකථන භාවිතය මිලියන 2.2 කින් වැඩිවී ඇත. දැනට ලෝක ජනගහනය බිලියන 7.79 ක් පමණ වන අතර එයින් බිලියන 3.8 කට ආසන්න ජන සංඛ්‍යාවක් මෙම සමාජ ජාල භාවිතා කරයි.

මෙය වේගයෙන් ප්‍රචලිත විමට සෘජුලෙස බලපා ඇත්තේ වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි සහ ක්‍රියා කළ හැකි සංගත උපකරණයක් වන ස්මාර්ට් දුරකථන සහ ලැප්ටොප් පරිගණක භාවිතයේ ව්‍යාප්තියයි.මෙම උපකරණ වල ඇති අධි සම්බන්ධතා බව ((ඩරනඥප ජධදදඥජබඪමඪබර) නිසා ඕනෑම වේලාවක ඕනෑම අයෙකුට ප්‍රවේශවීමට හැකියාවක් ඇත. අන්තර් ජාල භාවිතය වත්මන් ජන සමාජයට යහපත් ජීවන තත්වයක් ලබාදීමටත් මානව ක්‍රියාකාරකමි වඩාත් පහසුවෙන් පවත්වාගෙන යාමටත් ඉහළ මට්ටමකින් දායකවී ඇති බව අප කවුරුත් දන්නා දෙයකි.

මෙලෙසින් අන්තර්ජාල භාවිතය වඩාත් හිතකර සහ ප්‍රතිඵලදායක වන්නේ එය තම අවශ්‍යතා සඳහා අවශ්‍ය වේලාවට යමි සීමාවක් තුළ භාවිතා කළහොත් පමණි. එහෙත් ප්‍රමාණය ඉක්මවා සමාජ ජාල භාවිතයට යොමුවීමෙන් හෝ ඊට ඇබ්බැහිවීමෙන් පුද්ගලයන් තුළ මෙන්ම පවුල් ඒකක තුළ කායික සහ මානසික වශයෙන් විවිධ ගැටලු ඇතිවිය හැකි බව මෑතකාලීන පර්යේෂණවලින් හෙළිදරව් වී ඇත. ස්මාර්ට් දුරකථන තුළින් සිදුවි ඇති මෙම ඇබ්බැහි වීම සමහර මනෝ විද්‍යාඥයන් විස්තර කර ඇත්තේ වත්මන් පරපුර ජංගම දුරකථනයට වහලෙක් වී ඇත යනුවෙනි.

තවත් සමහර මනෝ චිකිත්සකයන් පෙන්වාදී ඇත්තේ මෙම ඇබ්බැහිවීම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට බෙහෙවින් සමාන බවයි. විශේෂයෙන් මෙම ඇබ්බැහිවීමට වැඩි වශයෙන් හසුවී ඇත්තේ ළමා සහ තරුණ පරපුර වන අතර, දිනකට පැය 3 කට වඩා වැඩි කාලයක් සමාජ මාධ්‍යයන් වල නිරතව සිටින ඇමරිකා එක්සත් ජනපදයේ ළමා ජනගහනයෙන් 27% වැඩි සංඛ්‍යාවක් අයහපත් මානසික සෞඛ්‍යයෙන් පෙළෙන බව අනාවරණයවී ඇත. එසේම කාන්තා ජනගහනයෙන් මුහුණු පොත සහ ටිව්ටර් ආශ්‍රිත සමාජ ජාල භාවිතා කළ අයගෙන් 50% ක්ම පිළිගෙන ඇත්තේ එම භාවිතය තමාගේ ජීවිතයේ විවිධ ප්‍රශ්න සහ කරදර ඇතිවීමට බලපා ඇති බවයි. ලංකාවේ තරුණ ජනගහනයෙන් 28% ක් පමණ සමාජ මාධ්‍යවලට ඇබ්බැහිවී ඇති බව හෙළිවී ඇත.

මෙම ඇබ්බැහිවීම වර්ධනය වීමට මෑත කාලයේදි වැඩි වශයෙන් බළපා ඇත්තේ කොවිඩ් -19 නිසා නිවෙස්වලට සීමාවී සිටීමයි. මෙලෙසින් සමාජ මාධ්‍ය ජාලවලට ඇබ්බැහි වීමට හේතුවී ඇති කරුණු පහත දැක්වේ

1 එයට පහසුවෙන් පිවිසීමට ඇති හැකියාව සහ තොරතුරු වල පුළුල් බව

2 බහුවිධ සම්බන්ධතා සහිතවීම සහ මිත්‍ර සබඳතා ගොඩනඟා ගැනීමේ පහසුව

3 ක්ෂණිකව ප්‍රේක්ෂක අවධානය සහ ආකර්ෂණය ග්‍රහණය කර ගැනීමේ හැකියාව

4 නුදුටු නව දෑ දැකීමට ඇසීමට හැකිවීම සහ නවීකරණ විසරණය

5 නරඹන්නාට හෝ ක්‍රියා කරවන්නාට වැඩසටහන්වලට සම්බන්ධවීමේ හැකියාව

6 ලිංගිකත්වයට අදාළ කරුණු සඳහා මූලික තැනක් ලබාදීම

7 හාස්‍යෝත්පාදක බව පුදුම එලවන සුළුබව සහ චමත්කාර ජනක බව

8 නව්‍ය අත්දැකීමක්වීම සහ සමහර ආර්ථික සහ මූල්‍ය වාසි සදහා නව මාවත් බිහිවීම

මෙවැනි ලක්ෂණ හේතු කොට ගෙන මෙම මාධ්‍ය ජාලාවල දිගුවේලාවක් රුඳී සිටීමට කවුරුත් ප්‍රිය කරන අතර, එම වැඩ සටහන්වල හොඳ නරක විමසීමට වඩා සිදුවන්නේ එමඟින් කිසියම් ආස්වාදයක් ලැබීමයි. මෙලෙසින් යම් අයෙකුට කිසියම් ආස්වාදයක් හෝ වාසියක් ලැබෙනවිට මොළයේ ඇති ඩොපමයින් නම් රසායනිකය ශ්‍රාවය වී නැවත නැවතත් සතුටක් සහ පී‍්‍රිතියක් ලබාදෙයි. මෙය යමෙක් ආසාවෙන් චොකලට් වැනි රසවත් කෑමක් අනුභව කිරිමට බෙහෙවින් සමානය. මේ අනුව බොහෝ අය නොදැනුවත්වම එම මාධ්‍ය ජාලාවලට ආකර්ෂණය වී එහි දිගු වේලාවක් රැඳීසිටින අතර, වටිනා කාලයෙන් වැඩිකොටසක් ඒ සඳහා මිඩංගු කිරීමට පෙළඹීම තුළින් අප යම් කාලයක් තුළදී මෙම සමාජ ජාලා භාවිතයට ඇබ්බැහිවන බව මනෝවිද්‍යාඥයන් පෙන්වාදෙයි.

සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් ඇබ්බැහිවූවන් පිළිබඳව කරන ලද විවිධ පර්යේෂණ තුළින් පහත දැක්වෙන කරුණු අනාවරණය කරගෙන ඇත.

තමාගේ පවුලේ අය සහ ඥාතිමිත්‍රාදීන් ඇසුරු කරන කාලයට වඩා වැඩි කාලයක් සමාජ මාධ්‍ය භාවිතය සඳහා ගත කිරිම සහ පවුලේ සහජීවනාත්මක පැවැත්මට දැඩිලෙස බලපාන තම සහභාගිත්වය සහ මැදිහත්විම නොසලකා හැරිම මෙන්ම සමහර අත්‍යාවශ්‍ය ගෘහස්ථ කටයුතු අතපසු කිරිම.

දිගු කලක සිට පවත්වාගෙන ආ තම ජීවිතයට අදාළ සුපුරුදු සහ යහපත් ගති පැවතුමි වලින් ක්‍රමයෙන් ඈත්වීම සහ එය තමාට මෙන්ම අන්‍යයන්හට කරදරයක් හෝ අයහපතක්වීම

සමාජ ජාල ඔස්සේ නිරන්තරයෙන්ම එන විවිධ චරිත සමග තමාගේ චරිත ලක්ෂණ අනවශ්‍ය ලෙස සැසඳීම සහ එය තුළින් තම ආත්මාභිමානය පිළිබඳව කිසියම් සෘණාත්මක ආකල්ප ඇතිකර ගනිමින් මානසිකව අපහසුතාවයට සහ ආතතියට පත්වීම.

සමාජ මාධ්‍යයන් තුළින් තමාට එන හිරිහැරකාරි පෝස්ට් පිළිබඳව හේතු රහිතව කනගාටුවට හෝ කලකිරීමට පත්වීම.

තමාගේ අතිරේක කාලය මුළුමනින්ම සමාජ මාධ්‍ය සඳහා යොදා ගන්නා බැවින් තමාගේ ඉදිරි කටයුතු පිළිබඳව සැලසුමි කිරිමට සහ ක්‍රියාත්මකවීමට කාලයක් ඉතිරි නොවන අතර පෞද්ගලික සහ පවුලේ දියුණුවට අදාළ කටයුතු ක්‍රමයෙන් අතපසුවීම සහ එය ළමා හෝ දරු පරපුරට වැරදි පූර්වාදර්ශයක්වීම.

ඔබ ශිෂ්‍යයෙක් නම් සමාජ මාධ්‍යයට ඇබ්බැහිවීමෙන් සිදුවන්නේ දිගු කලක සිට පවත්වාගෙන ආ දෛනික අධ්‍යාපන කටයුතු සහ අධ්‍යයන රටාවෙන් ක්‍රමයෙන් ඈත්වීම සහ ඒ වෙනුවට සමාජ මාධ්‍ය තුළ ඇති විවිධ පෝස්ට්වලට ප්‍රතිචාර දැක්වීමට හෝ ඒවා විසඳීමට යොමුවීම තුළින් අධ්‍යයන කටයුතු පසුබැසීමකට ලක්වීමයි.

මෙම සමාජ මාධ්‍යයන්වලට ඇබ්බැහිවූවන් විසින් ඉදිරිපත් කරනු ලබන පෝස්ට් සඳහා ප්‍රතිචාර හෝ ලයික්ස් ලබා ගැනිම සඳහා කිසියමි අවදානම්කාරි චර්යාවන් දැක්වීම නැත්නම් සමහර නීතියට පටහැනි විහිළු තහළු මෙන්ම හිංසාකාරි පෝස්ට් කිසිදු පාලනයකින් තොරව ඉදිරිපත් කිරීම නිසා පෞද්ගලිකත්වයට හානිකර දෑ සිදුවන අතර, බොහෝවිට නීතිමය නඩුහබ වලට පටළැවීමට සිදුවන බව පෙනේ. මෑතකාලින පර්යේෂණවලට අනුව ගැටවරවියේ ජනගහනයෙන් 10% ක් පමණ සමාජ මාධ්‍යජාලා ඔස්සේ අන් අයට හිරිහැර වෙන ආකාරයේ පෝස්ට් ඉදිරිපත්කරන බව සොයා ගෙන ඇත. මෙය හඳුන්වන්නේ සයිබර් බුලින් (ජරඡඥප ඡභතතරඪදඨ) යනුවෙනි.

රාතී‍්‍ර කාලයේදි වැඩිවශයෙන් සමාජ මාධ්‍ය භාවිතයට කාලය මිඩංගු කිරීම නිසා කලක් හුරු පුරුදු නිදා ගැනිමේ රටාවන් වෙනස් වන අතර, බොහෝවිට ප්‍රමාණයට වඩා අඩුවෙන් නිදා ගැනීම සිදුවේ. මිට අමතරව ප්‍රමාණය ඉක්මවා ජංගම දුරකථන භාවිතයත් සමඟ නින්දට අත්‍යාවශ්‍යවන මෙලටොනින් ශ්‍රාවය විම ඇහිරීයාම නිසා සැපවත් නින්දක් නොලැබීමෙන් පහසුවෙන්ම කාංසාව සහ විෂාදයට පත්වීමට සිදුවේ.

මනෝචිකිත්සකයන් පෙන්වා දෙන පරිදි සමාජ මාධ්‍ය තුළින් බොහෝවිට සෘණාත්මක ආකල්ප ඇතිවිය හැකි අතර, එහි එන බොහෝ දෑ තම ජීවිතය සමඟ සැසඳීමෙන් තමන් මෙතෙක් ලබා ගෙන ඇති දෑ පිළිබඳව සහ තමාගේ පෙනුම පිළිබඳව කලකිරිමක් ඇතිවේ. එසේ නම් තම ජීවිත කාලය තුළ බොහෝ දේවල් මඟහැරි හෝ අතපසුවී ඇති බව (ජ්ඥචප ධට ථඪඵඵඪදඨධභබ) පිළිබඳව දැඩි කලකිරිමක් සහ පසුතැවිමක් ඇතිවේ. තමන් මීට වඩා උනන්දු වුවා නම් වඩාත් සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමට තිබු බව ඒ පිළිබඳව ඇතිවන කිසියමි කැපිපෙනෙන පසු තැවිමක් සහ ඉච්ඡාභංගත්වයක් සිත තුළ ඇතිවීම මෙන්ම තමා අසාර්ථක පුද්ගලයෙක්ය යන සිතුවිලි ගලා ඒම තුළින් මානසික වශයෙන් ඇතිවන පීඩනකාරි තත්ත්වය නිසා යම් අයෙක් තුළ ආතතිය සහ විෂාදය වර්ධනය විය හැකිය. මෙලෙසින් ජංගම දුරකථන තුළින් ප්‍රමාණය ඉක්මවා සමාජ මාධ්‍යජාල භාවිතයට නැඹුරුවීමෙන් පුද්ගලයන් සමාජ ආශ්‍රයෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් තනිවී හුදකලා ජීවිතයකට හුරුවෙන බවත් කල් යන විට තනිකම (තධදඥතඪදඥඵඵ) වර්ධනය වීම තුළින් විවිධ මානසික රෝග ඇතිවන බව මනෝවිද්‍යාඥයන් පෙන්වාදී ඇත. කෙසේ වෙතත් මෙලෙසින් සමාජ මාධ්‍යවලට ඇබිබැහි විමේ ප්‍රතිවිපාක එම පුද්ගලයන් තුළ පහත දැක්වෙන ආකාරයට යම් විෂම චක්‍රයක් ලෙසින් වර්ධනය විය හැකිබව පෙනේ.

යමෙක් තනිකමින් හෝ ආතතියෙන් නැත්නම් විෂාධයෙන් පෙලෙන විට ඊට පිළියමක් ලෙස සමාජ මාධ්‍යජාල භාවිතයට පෙළඹේ.

සමාජ මාධ්‍ය ජාල වැඩි වශයෙන් භාවිතා කිරිමේදී ඒවායේ එන චරිත සහ සිදුවීම තම චරිතය සමඟ ගැලපීමේදී බොහෝ දෑ තමාට මඟහැරි ඇත යන භීතිය ඇතිවේ.

මෙම සෘණාත්මක සිතුවිලි සෘජු ලෙස පුද්ගලයන්ගේ මනෝභාවයන් විෂාදය සහ ආතතියට සම්බන්ධ ලක්ෂණ වර්ධනය කිරිමට හේතුවේ.

මෙමඟින් සිදුවන්නේ නැවත නැවතත් අන්තර් ජාල සමාජ මාධ්‍යයන් තවදුරටත් වැඩිවශයෙන් භාවිතා කිරීමට නැඹුරුවිමය.

පාසල් වියේ ළමුන් මෙම සමාජ මාධ්‍යජාල භාවිතයෙන් වළක්වා ගැනීම සඳහා පහත සඳහන් මඟ පෙන්වීම් අනුගමනය කළ හැකිය.

වයසින් අඩු ළමයින් ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් කිරිම.

ගැටවරවියේ ළමයින් අතර මෙම දුරකථන සහ සමාජ මාධ්‍යජාලය භාවිතයේ සීමාවන් පැනවීම සහ එය අධික්ෂණය කිරීම.

නිවස තුළ සහ ඉන් පිටත දී ළමයින්ගේ චර්යාවන් පිළිබඳව විමසිල්ලෙන් සිටීම සහ පාසල් අධ්‍යයන කටයුතු, මිතුරන්,ඇඳුම්-පැළඳුම්,පොත්පත් යනාදිය පිළිබද ව සහ චර්යාත්මක වෙනස්කම් පිළිබඳව සැලකිල්ලෙන් සිටීම.

ළමයින් හට මෙම සමාජ මාධ්‍ය ජාල සමිබන්ධ අනර්ථකාරි ප්‍රතිඵල පැහැදිලි කරදීම.

ළමයින් ව්‍යායාම් සහ ක්‍රීඩා සඳහා යොමුකිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම.

පුස්තකාල භාවිතය, කියවීම ,නව නිර්මාණ බිහිකිරීම, ඉලෙක්ට්‍රොනික, විද්‍යාත්මක ප්‍රායෝගික කටයුතු සහ පාරිසරික කටයුතු මෙන්ම වගා කටයුතු සඳහා ළමයින් තුළ උනන්දුවක් ඇතිකිරීම

අනාගතයට ප්‍රයෝජනවත් විනෝදාංශවලට ළමයින් යොමුකිරිම මෙන්ම වාදනයට සහ ගායනයට දක්ෂතා ඇත්නමි ඒ සඳහා සහායවීම.

ගුණගරුක සහ ආදර්ශමත් යහළු- යෙහෙළියන් ඇසුරු කිරිමට උපදෙස්දීම.

දැනටමත් මෙම ඇබ්බැහිවීමේ තත්වයට පත්වී ඇති වැඩිහිටියන් සඳහා වන මනෝවිද්‍යාත්මක ප්‍රතිකර්ම තවත් මෙවැනි ලිපියකින් යථා කාලයේදි ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරමි.

 

මනෝවිද්‍යා උපදේශක සහ

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

ටී.එම්. කුලරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.