වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ

මැයි 21, 2021

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිදුවූයේ වෙසක් පුර පසළොස්වක දිනකදී ය. තවුතිසා දෙව් ලොව සංස්තුසිත දෙව්රජ ලෙස උපත ලබා සිටි බෝසතාණන් වහන්සේට මනුලොව ඉපිද සම්මා සම්බුද්ධත්වයට පත්වීමට කාලය එළඹ ඇතැයි දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් අයැද සිටියහ.

 

දෙවිවරුන් එසේ අයැද සිටියේ බුදු බව ලබා ඒ තුළින් ලෝකයාට සිදුවිය හැකි අපමණ වූ යහපත ගැන දැන සිටි බැවිනි. බුදුවන බෝධිසත්වයන් වහන්සේ නමකට අවශ්‍ය සුදුසු කාලය දීපය දේශය කුලය හා මව යන කරුණු පහ සම්පූර්ණ වී ඇති බව පෙනීගියෙන් ඉන් සතුටට පත් දෙවිවරුන් එසේ ආරාධනා කළහ. දාන පාරමිතාව සපුරා තුසිත දෙව් ලොව වැඩ සිටි බෝසතාණන් වහන්සේ සක්දෙවි රජුගේ ඇරයුමෙන් පස් මහ බැලුම් බලා දඹදිව කිඹුල්වත්පුර සුදොවුන් රජුට දාව මහාමායා අගබිසව කුස පිළිසිඳ ලුම්බිණි සල්උයනේ දී මෙලොව බිහි වූයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනදී ය.

දෙව් බඹුන්ගේ ඇරයුම පිළිගත් බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුතව මනුෂ්‍ය ලෝකයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත් අවස්ථාවේ දී මහාමායා දේවිය සිටියේ සුවබර සුව නින්දේ සැතපීමෙනි. සුදු ඇත් පැටවකු සොඬින් නෙළුම් මලක් ගෙන මහාමායා දේවිය වටා පැදකුණු කොට දකුණු ඇලයෙන් කුසතුළට ඇතුළුවන බව දැණින. එම සිහිනයෙන් පිබිදුණු දේවිය ඒ බැව් සුදොවුන් මහ රජුට සැළකර සිටියා ය. ඉන් මහත් ප්‍රබෝධයට පත් වූ සුදොවුන් රජතුමා රාජ සභාවේ නක්ෂත්‍රාචාර්යවරුන් ගෙන් සිහිනය ගැන කරුණු විමසන ලදී. එහිදී නක්ෂත්‍රවරුන් සුදොවුන් රජුට පවසා සිටියේ මහාමායා දේවිය දුටු සිහිනය ඉතා සුබ සිහිනයක් බවත් එය උතුම් පුත් කුමරකු දේවියගේ කුසේ පිළිසිඳගෙන ඇති බවත් ය. නක්ෂත්‍රාචාර්යවරුන්ගේ එම නිගමනය ඇසීමෙන් සුදොවුන් මහ රජුටත් මහා මායා දේවියටත් ඇති වූ පී‍්‍රතිය අතිමහත් ය.

එබැවින් පිරිවර සමඟ දෙමාපියන් බැලීමට යන අතර මඟදී රෝහිණී නදිය අසල දර්ශනීය ලුම්බිණි සල් උයනටද යෑමට කැමැත්තක් ඇති විය. ඒ අනුව ලුම්බිණි සල් උයනට ගිය මහා මායා දේවියට පුත් කුමරුන් බිහි වීමේ ලක්ෂණ ඇතිවීම නිසා වහ වහා අවශ්‍ය කටයුතු සලසන ලදී. එහිදී හැම දෙනා ප්‍රබෝධයට පත් කරමින් උතුම් පුත් කුමරකු ලැබිණ. ඒ වෙසක් පුන් පොහොය දිනකදී ය. එලෙස මව්කුසින් බිහි වූ බෝසතුන් බ්‍රහ්මයන් සතර දෙනෙකු විසින් රන් දැලකින් පිළිගත් අතර, ඒ අතර සතර වරම් දෙවිවරුන් ද වූහ. එම දෙවිවරුන් හා රාජකීයන් සමීපයෙන් අතින් උතුම් පුත් කුමරු පොළොවට පය තබන විට පොළොවෙන් නෙළුම් මල් පැන නැඟී හෙයින් එම නෙළුම්මල් හත මත පියවර හතක් තබා අප බෝසතාණන් වහන්සේ මෙසේ වදාළහ. මම ලෝකයට අග්‍රවෙමියි ශ්‍රේෂ්ඨ වෙමියි කියාය. මෙම පින්වත් කුමරුට නම් තැබීම සඳහා සුදොවුන් රජු විසින් අග්‍ර වූ බමුණන් එකසිය අට දෙනා කැඳවන ලදී.

සුදොවුන් රජු විසින් කැඳවන ලද අටෝරාශියක් බමුණන්ගෙන් එම බමුණන් සමඟ සිටි ළාබාලම බමුණා වන කොණ්ඩඤ්ඤ නම් බමුණා කියා සිටියේ ඒකාන්තයෙන්ම කුමරා ලොව්තුරා බුදුවන බවයි. ඒ කෙසේ වෙතත් උපත ලද රාජ කුමරුගෙන් ලොවට සිදුවන සෙත ගැන සැලකූ බමුණන් සියලු දෙනාගේම තීරණය වූයේ සිද්ධාර්ථ යන නම කුමරාට තැබීමටයි. ඡ්‍යොතිෂඥයින් කුමරුගේ ජන්ම පත්‍රය පිළියෙළ කොට පලාපල විචාරණය කළහ. උපතේදී යෙදී තිබූ ග්‍රහයන්ගේ රාශි ගමන අනුව උන්වහන්සේ ලෝක පූජිතවන බවයි. බුද්ධ කාලීන යුගයේ දී නැකැත් පිළිබඳව දැඩි විශ්වාසයක් රාජ්‍ය ප්‍රසාදීන් අතර පවා ද පැවැති බව ඉන් පැහැදිලිවම පෙනේ.

වෙසක් පොහෝ දිනක සිදු වූ බෝසත් උපතෙන් පසුව මුළු මහත් ලොවටම මහත් සැනසුමක් ගෙන දෙමින් වැඩුණු උන්වහන්සේ යසෝදරා දේවිය සරණපාවාගෙන රම්‍ය, සුරම්‍ය හා සුබ යන මාලිගා තුනෙහි අපමණ වූ පී‍්‍රතියෙන් කල්ගත කළහ. දිව්‍ය සැප විඳිමින් සිටි බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක සියල්ල අනිත්‍ය බව අවබෝධකරගෙන ජීවිතය ගැන කළකිරී මහාභිනිෂ්ක්‍රම ය කර පැවිදි වූ සේක. ගිහි ගෙයින් නික්ම පැවිදිව වසර හයක් මුළුල්ලේ ඉතා දුෂ්කර ක්‍රියාවල යෙදෙමින් සිටි අප බෝසතාණන් වහන්සේ එළඹුණු වෙසක් පුර පසළොස්වක රාත්‍රියෙහි සිහින පහක් දුටු අතර එම සිහිනවල තේරුම විමසා බලා තමන් ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත්වන බව තීරණය කර ගත්හ. එහෙයින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩමකර උන්වහන්සේ අපරාජිත පර්යාංකයෙන් වැඩ සිටි සේක.

එසේ වැඩ සිටි බෝසතුන් වහන්සේ බිය ගැන්වීමට වසවර්ති මාරයා නොගත් උත්සාහයක් නැත. එය නිෂ්ඵල කරමින් වසවර්ති මාරයා පළවා හරිමින් චතුරාර්ය සත්‍යයෙන් නැඟී සිට ඤාණ දස්සන විසුද්ධිය ඇතිකර බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. ඒ වෙසක් පුන් පොහෝ දිනදී ය. එලෙස මහත් දුෂ්කර ක්‍රියාවල යෙදෙමින් සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක්ම දෙව් මිනිස් සැමගේ යහපත උදෙසා දහම් දෙසමින් වැඩ උන් සේක. අසූ වියට එළඹ සිටි බුදුන් වහන්සේ වෙසක් පුන් පොහොය දිනයේදී කුසිනාරානුවර උපවත්තන නම් සල් උයනට වැඩමකොට එහි පනවන ලද ආසනයක සැතපුන සේක. එසේ සැතපී සිටි බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කොට බෝසතාණන් වහන්සේ උපන්ස්ථානය, බුදු වූ ස්ථානය ධම්සක් සූත්‍ර දේශනාව සිදුකළ ස්ථානය හා පිරිනිවන් පානා ස්ථානය බුද්ධ පරිනිර්වාණයෙන් පසු වැඳුම් පිදුම් කිරීම සඳහා යොදා ගන්නා ලෙස පෙන්වා දුන් සේක.

එසේ දම් දෙසූ බුදුන් වහන්සේ එළඹි වෙසක් පුන් පොහොය දින පශ්චිමයාමයෙහි පිරිනිවන්පාන බව මල්ල රජ දරුවන්ට දැනුම් දෙන ලෙස ආනන්ද තෙරුන් වහන්සේට දන්වා අවසන් බුද්ධ වචනය ප්‍රකාශ කොට පිරිනිවන් පා වදාළ සේක. එසේ දම්දෙසා බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහොය දින පශ්චිම යාමයේ පිරිනිවන්පාන බව මල්ල රජදරුවන්ට දැනුම් දෙන ලෙස ආනන්ද මහ තෙරුන් වහන්සේට දන්වා අවසන් බුද්ධ වචනය ප්‍රකාශ කොට පිරිනිවන් පා වදාළ සේක. එම අවස්ථාවේ දී භයංකාර භූ ජලනයක් ද ඇති වූ අතර මුළු අහස් කුස අන්ධකාර වී මහා ගර්ජනාවක් ද ඇති විය.

 

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත්.එම්.පී. රාජපුර

සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.