පිරිමියාගේ හිසකෙස් හා රැවුල

අප්‍රේල් 30, 2021

දේහ ලක්ෂණ මත චරිත ස්වභාවය ගැන කීමේදී හිසකෙස් ද වැදගත් තැනක් ගනියි. පිරිමියකුගේ හිසකෙස්වල ස්වභාවයත්, ගැහැණියකගේ හිසකෙස්වල ස්වභාවයත් ඔස්සේ දේහ ලක්ෂණ විද්‍යාව වෙනස්වූ ගන ස්වභාව දක්වයි.

 

අපි මෙහිදී අදහස් කරනුයේ පිරිමියකුගේ හිසකෙස්වල ස්වභාවය හා රැවුලේ ස්වභාවය මත ගති ලක්ෂණ චරිත ස්වභාවය පැරැන්ණන් විසින් දක්වන ලද අයුරු කෙටියෙන් දැක්වීමකි.

කිසියම් පිරිමියකුගේ හිසකෙස් ඉතා ඝණට ඒවගේ ඍජු ස්වභාවයෙන් හෙවත් කෙළින් පිහිටා ඇත්නම් ඒ පුද්ගලයා මහා වස නපුරු පුද්ගලයකු බැව් පවසයි. තමන්ගේ අදහස, මතය, තීරණය කිසි විටෙකත් වෙනස් නොකරන්නෙකි. ඉන් අනිකාගේ සිත් සතන් තලා පෙළා මහා පීඩනයට ලක්කරන්නෙකි. ඔහු ගන්නා තීරණ දූරදර්ශී විමර්ශනාත්මක නොවේ. ක්ෂණිකව තීරණවලට එළඹෙන්නකි. එහි බලය ගැන නොසිතයි.

එපරිද්දෙන්ම සිහින්වූ ද දික්වූ ද කෙස් ඇති තැනැත්තා මානසික දුර්වල තැනැත්තෙකි. ඔහුගේ ලිංගික ශක්තිය දුබලය. බෙලහීන නිදන්ගත රෝග පීඩාවන්ගෙන් යුතුය. කටයුතු කරුණු කාරණාවලදී මනා වැටහීමකින් තොරය. ඇසුරු කරන්නන් හට ඉතා හිතමිත්‍රය. ලෙන්ගතුය.

යම් පුද්ගලයකුගේ හිසකෙස් ඝන ලෙස වුවත් ඒවායේ සිනිඳු ස්වභාවයෙන් නම් හේ සමාජයට ඵලදායි පුද්ගලයෙකි. ඉතා තැන්පත් යහපත් ගතිගුණ පිහිටි ඔහු ආත්මාර්ථය පසෙක ලා පරාර්ථයම සිතන්නෙකි. ඉගෙනීමෙහි සමත්කම් පාන්නේය. හදවත කරුණා මෛත්‍රියෙන් යුතුය. සමාජයේ කවර තරාතිරමේ අය වුවද මෙවන් පුද්ගලයා පිළිගන්නෙකි.

හිසකෙස්වල පිහිටීම පහතට නැමී ගිය ස්වරූපයක් නම් එවන් පුද්ගලයා ක්ෂණික තීරණ ගන්නේය. දූරදර්ශී ව සිතාමතා කල්පනාකාරීව කටයුතු නොකරන්නේය. සමාජයේ අන්‍යයන්ට කිසිදු ගරු කිරීමක් සැලකීමක් තැකීමක් නැත.

යමකුගේ හිසකෙස් ක්‍රමවත් පිළිවෙළකට පිහිටා නැත්නම් ඔහු අවස්ථාවාදී පුද්ගලයෙකි. තමන්ගේ අදහස, අපේක්ෂාව ඉටුකරගන්නට අන්‍යයන් රවටන්නේය. කාමාධිකය.

රැවුල පිරිමි කමේ ලක්ෂණයකි රැවුල නැත්නම් ඔහු මහා මූසලයෙකු සේ සැලකීමක්ද වෙයි. තේජස් බව, නිර්භීත බව, රැවුලේ ස්වභාවය මත දක්නට ලැබේ. පැරැන්නෝ රුවුල දිගට වැවූහ. අවසර දේවයන් වහන්ස, බත් මුඛය පාන, ගන්ඩ අවසර යනාදී කියමන් අපේ ජන සමාජයේ පැවතිණි.

යම් පිරිමියෙකුගේ රැවුල ඝනව පිහිටා ඇත්තේනම් හේ අවංකය. විශ්වාසවන්තය. ඔහුගේ අදහස් ඉතා සාධාරණය. උසස්ය. අන්‍යයින්ගේ සිත් ඇද ගැනීමේ සමත්ය. පරිසරයට ඉතා ආදරේ කරන්නෙකි.

යම් පිරිමියකුගේ රැවුල සිනිඳු ලෙස පිහිටා ඇත්තේ නම් හේ යමක් මනා පිළිවෙළකට කරන්නට නොදත්තෙකි. වංකය, විශ්වාස කළ නොහැක්කෙකි. නිතරම අනිකා රවටන්නේය. අනිකා සුළුකොට තකන කිසිදු තැකීමක් සැලකිල්ලක් නැති හෙළා දකින ගති ඇත්තෙකි.

තවත් පිරිමියකුගේ රැවුල කිසිම ක්‍රමවත් පිලිවෙළකට නොපිහිටන්නට පිළිවන. එබඳු පුද්ගලයෝ සමාජයේ ගෞරවයට ලක් නොවෙයි. සමාජයෙන් තැකීමක් නොලබයි. මෙබඳු පුද්ගලයින් තුළ ඇත්තේ විවිධ ගති ලක්ෂණය මොවුන් අන්‍යයින් දෙස බලනුයේ ඊර්ෂ්‍යාවෙනි. අන් අයකුගේ සෞභාග්‍ය දියුණුුව බලා සතුටු නොවන මොහු තුළ ඇත්තේ ඊර්ෂ්‍යා සහගත ලක්ෂණය.

 

ආචාර්ය

සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.