විවාහයට ලැබෙන ඇය හෝ ඔහු කෙසේ වේවිද?

අප්‍රේල් 30, 2021

ඡ්‍යොතිෂය අනුව කෙනකුගේ විවාහය පිළිබඳව සොයා බලනුයේ කේන්ද්‍රයේ හත්වෙනි භාවයෙනි. හත්වැන්න අධිපතියා හා ඔහු සමඟ යෝගව සිටින ග්‍රහයින් හා සඳුගෙන් හත්වැන්නේ සිටින ග්‍රහයින් ගැනත් පරික්ෂා කිරීමෙන් ඔබට ලැබෙන සහකරුගේ හෝ සහකාරියගේ චරිත ලක්ෂණ ගැන සොයා බැලිය හැකිය. මේ අයුරින් හත්වැන්න බලවත්ව සුබ වූ විට යහපත් සහකාරියක් හෝ සහකරුවෙක් සමඟ වාසනාවන්ත යුග ජීවිතයක් ගතකිරීමට ඔහුට හෝ ඇයට හැකිවෙයි. ලග්නාධිපති හා හත්වැන්නාධිපති සමඟ සංයෝගවූ විටද වාසනාවන්ත එමෙන්ම දැකුම්කලු රූසිරියෙන් යුත් යහපත් බිරියක් හෝ වාසනාවන්ත ස්වාමි පුරුෂයෙක් හිමි වෙනු ඇත. එය එසේ වූ විටත් සෑම ලග්නයකටම මෙම ග්‍රහ පිහිටීම් බල නොපානු ඇත.

 

ලග්න අනුව මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි හතරට සත්වැන්නේ අධිපතිත්වය හා ලග්නාධිපතිගේ බුධ හා ගුරු යන නෛස්රාශික සුබයන්ට හිමිවන නිසා . එකී ලග්නවලට මෙම ග්‍රහ බලපෑම් නියමාකාරව යෙදේ. මෙහිදී හත්වැන්නාධිපති සිකුරු වුවද සුබ ග්‍රහයන් නිසා යහපත් විවාහ සහකාරියක් ලැබීමට හේතුවෙන නමුත් මෙම යෝගය 6,8,12 වැනි දුෂ්ට ස්ථානයක පිහිටීම විපරීත ප්‍රතිඵල ඇතිකරයි.

ජන්ම කේන්ද්‍රයක 6,8,9 අධිපති පාප ග්‍රහයින් සමඟ සම්බන්ධව සිටි විට හෝ යෝගව හෝ ලබා සිටි විට පහත් චරිතයකින් යුත් ස්ත්‍රියක් සමඟ විවාහවීමට බොහෝ විට සිදුවේවි.

හත්වැන්නාධිපති ගුරු සමඟ හෝ ගුරු විසින් දැකීම ඇතිව හෝ සිටි විට සැමියා ඉතා හිතවත්ව කටයුතු කරන යහපත් භාර්යාවක් ලැබෙයි. ලග්නයෙන් හත්වැන්නේ සෙනසුරු සිටි විට ධෛර්යවත් ගුණයෙන් යුත් භාග්‍යයක් ලැබෙනු ඇත. හත්වැන්නේ කුජ බලවත්ව සිටි කල හදිසි කෝපයෙන් යුත් ධෛර්යමත් රූපත් සහකාරියක් හෝ සහකරුවෙක් විවාහයට ලැබෙයි. එසේම බුධ හත්වැන්නේ සිටි කල උගත්, බුද්ධිමත්, කතත් සමඟ යුගදිවි ගත කිරීමට හැකිවේ. හත්වැන්නාධිපති හයවැන්නේ හෝ අටවැන්නේ සිටිවිට ශරීර සෞඛ්‍යයෙන් දුර්වල ස්ත්‍රියක් හෝ රෝගී බිරියක් ලැබීමට හේතු වේ. හත අධිපති ශුභ නවාංශකයක හෝ ගුරු සමඟ සම්බන්ධකම් ඇතිව හෝ සිටී නම් තමන්ට ඉතාමත් ලැදි යහපත් බිරිඳක් ලැබෙයි.

සත්වැන්නේ රාහු පිහිටීමෙන් විවාහ ජීවිතය අවුල් කරයි. මුල් කාලයේ විවාහ දිවිය මිහිරි වුවත් පසු කාලයේදී එය නීරස වේ. සමහර විටෙක විවාහ ජීවිතය සිහිනයක් වන්නට ද පුළුවන. සමහරවිට වැරදි විවාහයන්ට මැදිවී තම දේපළ සම්පත් පවා අහිමි කරයි.

කේතු සත්වැන්නේ සිටීමෙන් කොයියම් ආකාරයකින් හෝ තමාගේ තත්ත්වයට නොගැළපෙන සහකරුවෙක් හෝ සහකාරියක් ලැබිය හැකිය.

රාහු, කේතු,කුජ, ශනි සත්වැන්නේ වීම ශුභ බව පිළිගත් සත්‍යයකි. කුජ, සිකුරු යෝගය මෙන්ම සඳු රාහු යෝගය ද සුබ වේ. සඳු සිතිවිලිවලට අධිපති ග්‍රහයා බැවින් සත්වැන්නේ සඳු ඇතිකරන රාගාධික ආවේගයන් රාහු විසින් වේගවත් කිරීමෙන් ජන්මියා වැරදි දේවල්වලට පෙළඹේ. එසේවූ විට විවාහ ජීවිතය පිළිබඳව සිදුවන දේ කිව යුතු නොවේ. කුජ, සිකුරු ශනි යෝගය යෙදීමෙන් විවාහ වන්නට පෙර වැඩිහිටියකුගේ අතවරයකට ලක්වීමට ඉඩ ඇත. එපමණක් නොව මේ නිසා දිගින් දිගටම වරදට පෙළඹෙන අය බවට පත්වෙයි.

චන්ද්‍රයා හෝ රවි ගුරුට නැතිනම් සිකුරුට සමීපව පිහිටි පමණට යුගදිවිය යහපත් වෙයි. සඳු කේන්ද්‍රයෙන් හෝ රවි කේන්ද්‍රයෙන් ගුරු සිකුරු පස්වැන්නේ නැතිනම් නමයේ පිහිටීම ද යහපත් විවාහයකට හේතුවෙයි.

යම් කේන්ද්‍රයක ලග්නයෙන්, චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 2,7,8 යන ස්ථානවල පාපයින් සිටීම අශුභය. ඉහත ලග්නභාවයන් පාපීන්ගෙන් පීඩාවීමද අශුභ ය. එහෙත් ගුරුට පෙනේ නම් එම දෝෂ භංග වේ. පුරූෂ කේන්ද්‍රයකද එසේම වේ. එබැවින් එවැනි පිහිටීම් ඇතත් ගුරුගේ දැක්ම සහිත කේන්ද්‍ර හිමිකාරියන් හෝ හිමිකරුවන් සමඟ වාසනාවන්ත යුගදිවි ගත කිරීමට හැකියාව ලැබෙයි. කුමන ප්‍රශ්න ආවත් වෙන් නොවී සිටීමට හේතුවන විශේෂ ගැළපීම් ද ඇත.

මේෂ, කටක, තුලා, මකර යන චර රාශි ලග්නවගලින් උපන් අයටය වෘෂභ , සිංහ, කුම්භ, වෘශ්චික යන තිර රාශි ලග්නවලින් උපන් අය ඉතා යහපත් වෙයි. මේෂ, කුම්භ, වෘශ්චික යන තිර රාශි ලග්නවලින් උපන් අය ඉතා යහපත් වෙයි. මේෂ, සිංහ, ධනු යන තෙජෝ රාශිවල උපන් අයට මිථුන, තුලා, කුම්භ යන වායෝ රාශිවල උපන් අය හොඳින් ගැළපේ. දෙදෙනාගේ ලග්න දෙක එකිනෙකට පහ නමයට හෝ තුන එකොළහට පිහිටියහොත් එයද වාසනාවන්ත යුගදිවියක් ගත කිරීමට හේතුවේ. විවාහ වී කල් නොගොස්ම වෙන්වීම හෝ වැන්දඹුවීමට තත්කාල කේන්ද්‍රයේ ලග්නයෙන් හෝ සඳුගෙන් හතේ අඟහරු ග්‍රහයාගේ හැසිරීමත් ලග්නයේ, හතේ සඳු පිහිටීමත් හේතුවෙයි.

මකර, කුම්භ දෙකින් එකක් ලග්නය වී මකර දෙකින් එකක චන්ද්‍රයා සිටියදී ලග්නයේ උදාවන ත්‍රිංශාංශකය ශනිගේ නම් එතරම් යහපත් නොවෙයි. නපුරු විෂම ගති ඇති හා ආත්මාර්ථකාමී ගති අධික තැනැත්තියක් වෙයි. කුජගේ නම් දාස මෙහෙර කරන්නාවූ දිළිඳු තැනැත්තියක් වෙයි. ගුරුගේ නම් යහපත් ගති ඇති තැනැත්තියක් වෙයි. බුධගේ නම් නොමඟට පාවිච්චිය කරන්නාවූ නුවණ ඇත්තියක් වේ . සිකුරු ගේ නම් වඳ ස්ත්‍රියකි.

ස්ත්‍රී කේන්ද්‍රයේ පස්වැන්න සුබ ග්‍රහයන්ට පෙනෙද්දී පස්වැන්න අධිපතියා හතර කේන්ද්‍රයේ හො නවයේ මිත්‍ර රාශිගතව සිටීනම් එලෙස උපන් තැනැත්තිය බොහෝ පිරිමි දරුවන් ලබන්නියක් වෙයි. නමයේ නම් ඔවුන් උසස් දරුවෝ වෙති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.