දරුවාගේ අධ්‍යාපනය කේන්දරයෙන් දැනගන්න

මාර්තු 5, 2021

තම දුවගේ හෝ පුතාගේ අධ්‍යාපනය ගැන දෙමව්පියෝ විශාල බලාපොරොත්තු තබති. දරුවාට ඉතා හොඳ නැකතකින් අකුරු කියවති. දරුවා ජනපි‍්‍රය පාසලකට ඇතුළත් කිරීමට බොහෝ වෙහෙසද වියදම් ද දරති.

මෙහිදී දෙමාපියන්ට මතක් කර දිය යුත්තේ දරුවාගේ ජන්ම පත්‍රයේ උසස් අධ්‍යාපනය ලැබීමට වාසනා බලයක් ඇත්නම් කවරාකාරයකින් හෝ එයට ඉඩ සැලසෙන බවයි.

අධ්‍යාපනය ගැන බැලීමේදී කේන්දරයේ පස්වන භාවය ප්‍රමුඛස්ථානය ගනී. තුන්වැන්න,පස්වැන්න, නවවැන්න හා එකොළොස් වැන්න මනාව පරික්ෂා කර බැලිය යුතුය.

පස්වැන්නේ සිටින ග්‍රහයන්ද, පස්වැන්නාධිපතියා සිටින භාවයද පස්වැන්නට වැටෙන ග්‍රහදෘෂ්ටීන්ද සැලකිල්ලට ගත යුතුය.

ඥාන කාරක ග්‍රහයන් වන බුද හා ගුරු උසුලන තත්වයන්ද විශේෂ සැලකිල්ලට ගත යුතුය. පහ අධිපතියා සුබ භාවයක සිටීමත් පස්වැන්නාට ගුරුගේ හෝ බුදගේ දෘෂ්ටිය වැටීමත් උසස් අධ්‍යාපනයක් ලැබීමට හේතු වේ. ඉගෙනීම ලබන කාලයේ ගෙවන දශාවන්ද සැලකිල්ලට ගන්න. අපි උදාහරණ කේන්දරයක් ගෙන බලමු.

උපන්නේ ක්‍රි.ව. 1980.09.01 දවල් 1.50 ට රෙහෙණ නැකතේ ප්‍රථම පාදය. සඳු දශා ශේෂය වර්ෂ 09 යි , මාස 09 යි, දින 22 යි.

මොහුගේ අධ්‍යාපනය ගැන බැලීමේදී පහ අධිපති කුජ 11 වන අයස්ථානයේය. කුජගේ සප්තම දෘෂ්ටිය පස්වැන්නට වැටේ. එය ඉතා යහපත් ය. නව වැන්නේ රවි, බුද, ගුරු යෝගයක් ඇත. ගුරුගේ නව වන දෘෂ්ටිය පහට පතිත වේ. එයද යහපත් වේ.

මොහු ඉපදී ඇත්තේ ධනු ලග්නයෙන් හා මිථුන නවාංශකයෙනි. එම නිසා අට අධිපති සඳු 22 වන දෙර්කාණාධිපතියා වී හයවන සතෘස්ථානයේ සිටී. රවි, බුද, ගුරු යෝගය පාප කර්තරී යෝගයකට හසුවී ඇත. තවද බුද 64 වන නවාංශකාධිපතියාවී දුර්වලවී ඇත. මොහුට වයස අවු. 9 යි මාස 9 යි. දින 22 ක් පැවතියේ සඳු මහ දශාවයි.

කොළඹ ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ ඔහුගේ අධ්‍යාපන තත්ත්වය ඔහුගෙන්ම විමසමු.

‘මම මොන්ටිසෝරි යන කාලයේ ඉඳලම මට බඩේ අමාරුවක් තිබුණා. කලිසමේ කක්ක ගියාම අම්මට දන්වලා කලිසමක් ගෙන්න ගන්නව. ඊට පස්සේ කොළඹ අශෝක විද්‍යාලයට ඇතුළත් කළා.

අපේ ටීචර් හරිම හොඳයි. අපි හැමෝටම පුතා කියල ආදරෙන් කතා කළා. මට මුල් පාඩම් තේරුණේ නෑ. අල්ල ගන්න බැරි වුණා. ඒ නිසා වෙන්න ඇති මට ඕලෙවල් පාස්කරන්න බැරිවුණේ.

මොහු කොළඹ ජාතික පාසලක අධ්‍යාපනය ලබා ඇතත් සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් කීපයක් පමණි සමත්ව ඇත්තේ . එහෙත් ඔහුගේ පහ අධිපතියා අයස්ථානයේය. ඔහු නිර්මාණශීලි පුද්ගලයෙකි. සුවිශේෂී ඥාන ශක්තියක් ඔහු සතුව ඇත. ඔහු පර්යේෂණ කර නිපදවූ කෙමිකල් ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යයි.

මෙසේ අධ්‍යාපනය හෝ රැකියාව හෝ විවාහය හෝ කිසියම් කාරණයක් ගැන බැලීමේදි ඊට අදාළ භාවය පමණක් නොව සමස්ත කේන්ද්‍රයම පරීක්ෂා කර බලායි අවශ්‍ය කාරණය පිළිබඳ තීරණයක් ගත යුත්තේ.

අපි ඉතාම පිටිසර අයෙකුගේ කේන්දරයක් පරීක්ෂා කරමු. 1945 උපන් මොහුගේ කේන්දරයට එම කාලයේ ප්‍රසිද්ධ දෛවඥවරු පවසා ඇත්තේ ඉහළම උගතෙක් වන බවයි. නමුත් මොහු ඉතාම පිටිසර, උපන් පරිසරය හා සමාජ මට්ටම අනුව එය කෙසේවත් සිදුවේයයි සිතිය නොහැක.

මොහු 1945 06.29 දින කටක ලග්නයෙන් හා සිංහ නවාංශකයෙන් ඉපදී ඇත. දෙනට නැකතේ ප්‍රථම පාදයයි. කුජ දශා ශේෂය වර්ෂ 05 යි. මාස 5 යි. දින 10 කි.

මෙම කේන්ද්‍රයෙන් පහ අධිපති කුජ දසවැන්නේ සිකුරු සමඟ රුචක යෝග බලයෙන් සිටී. ගුරු දෙවැන්නේ සිටින අතර බුද චතුර්ග්‍රහ යෝග බලයකින් දොළොස්වැන්නේ සිටී.

මොහු ඉතා පිටිසර ගමක සාමාන්‍ය පවුලක උපත ලබා ඇති නමුත් චතුර්ග්‍රහ යෝග බලය නිසා කුඩා කලම පැවිදිවී ඇත. පිරිවෙන් අධ්‍යාපනය ලබා ඇති අතර ප්‍රාචීන පණ්ඩිත විභාගයද, විශ්ව විද්‍යාලයකින් ගෞරව උපාධියක්ද ලබා ඇත.

තම කේන්ද්‍රයේ උසස් අධ්‍යාපනයක් ලැබීමට ඇත්නම් උපන් පරිසරය හෝ දිළිඳු බව හෝ සාධකයක් නොවේ. සියලු බාධාවන් මැඬගෙන තම අභිමතාර්ථයන් ඉටුකර ගනු ඇත.

2017 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි. දරුවකුගේ කේන්ද්‍රය පරීක්ෂා කර බලමු. ඔහු ඉපදී ඇත්තේ 2001.11.05 දින කුම්භ ලග්නයෙන් හා මේෂ නවාංශකයෙනි. අද නැකතේ ප්‍රථම පාදයයි.

කුම්භ ලග්නයේ ග්‍රහ චාරය පරීක්ෂණයට ලක්කරමු. ලග්නාධිපති ශනි හතර වැන්නේය. පහ අධිපති බුද නව වැන්නේය. නවය අධිපති සිකුරුත් පහ අධිපති බුදත් නවයේ යෝග වී ඇත. දහය අධිපති කුජ දොළොස් වැන්නේ උච්චවී ඇත. මෙම ග්‍රහ පිහිටීම් සියල්ලම අධ්‍යාපනයට ඉතාම හොඳයි. 2017.02.23 සිට ගුරු මහ දශාව ලබා ඇත. ඉදිරි අධ්‍යාපන කටයුතුවලට එය ඉතා හොඳයි. අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත්වනු ඇත.

 

 

ඡ්‍යොතිර්වේදී,

රද්දොළුගම

ජේ.ඒ.ඇස් ජයකොඩි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.