ඔළබොඩුවේ “කොඩිගහකන්ද” හෙළ ඔසු රජදහනකි

දෙසැම්බර් 25, 2020

පවතින අඳුරට සාප කිරීමෙන් ලැබෙන සෙතක් නොමැත. මඳ එළියක් ලබාදීමට පහනක් දැල්වීම ඉතාමත් අගේය. බස්නාහිර පළාතේ වන අසිරියෙන් අණුවන “කොඩිගහකන්ද”ස්වභාව ධර්මයේ දායාදයකි. අනාගත පරපුර උදෙසා මේ අසිරිමත් වනය රැකිය යුතුය.

දේශීය වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ පාරිසරික ගැටලුවකි. රටේ වන ගහනය ක්‍රමයෙන් තුනීවෙමින් පවතියි. එය මානව ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිඵලයකි. මෙයට සාපේක්ෂව ඖෂධ ශාක සීඝ්‍රයෙන් වඳවීයාමට පටන්ගෙන ඇත. සෙසු පළාත් අභිබවා බස්නාහිර පළාතේ මෙම තත්ත්වය බරපතළය.

මෙහි වෙසෙන වෛද්‍යවරුන් අමු ඖෂධ සොයා ගැනීමේ බරපතළ ගැටලුවකට මුහුණපා තිබේ. නිශ්චිත ඖෂධ මෙන්ම ඒ වෙනුවට යෙදිය හැකි “ප්‍රතිනිධී ඖෂධ” ද වඳවී යමින් පවතියි. මෙයින් පාරම්පරික වෛද්‍යවරු ගැටලු දෙකකට මුහුණ පා තිබේ. පළමුවැන්න රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ශාක සොයා ගැනීමේ දුෂ්කරතාවයි. දෙවැන්න වෛද්‍ය ශිෂ්‍යයන්ට පාරිසරික ප්‍රායෝගික අද්දැකීම් ලබාදීමට ඇති අපහසුව වේ.

පවතින අඳුරට සාප කිරීමෙන් ලැබෙන සෙතක් නොමැත. මඳ එළියක් ලබාදීමට පහනක් දැල්වීම ඉතාමත් අගේය. බස්නාහිර පළාතේ වන අසිරියෙන් අණුවන “කොඩිගහකන්ද”ස්වභාව ධර්මයේ දායාදයකි. අනාගත පරපුර උදෙසා මේ අසිරිමත් වනය රැකිය යුතුය.

සුන්දර වනරජ දහන කොළඹ – කළුතර පරිපාලන දිස්ත්‍රික් දෙකේ සීමා මායිමේ පිහිටා ඇත. මෙය අයත් වනුයේ හොරණ ඔලබොඩුව උතුර ග්‍රාම සේවා වසමට වේ. ඉංගී‍්‍රසි පාලන සමයේ කඳු මුදුනේ ඉංගී‍්‍රසි කොඩියක් සිටවා තිබේ. ඒ මුහුදේ නාවික ගමනා ගමනයේ යෙදෙන නැව්වලට මඟපෙන්වීම සඳහා ය. මේ හේතුවෙන් “කොඩිගහකන්ද යන නම ව්‍යවහාරය වී තිබේ.

අක්කර 35 ක් පුරා විහිදී ඇති භූමියේ කඳු මුදුන මුහුදු මට්ටමෙන් අඩි 378 උසය.”මෙහි මුදුනට බටහිර ඉන්දීය සාගරයේ නැව්, කොළඹ නගරයේ උස් ගොඩනැගිලි, නිරතදිග තැනිතලාව මනාව දිස්වන බව ගැමියෝ පවසති.

වර්ෂ 1986 දී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් කොටගම මහතා සමීක්ෂණයක් කර ඇත. ඒ අනුව තෙත් කලාපීය ද්විතීයික පඳුරු වනාන්තරයක් වේ. මෙහි ප්‍රමාණයෙන් විශාල ගස්වලට අමතරව ඖෂධ පැළෑටි දහස් ගණනක් ඇති බව අනාවරණ වී තිබේ. ජෛව විවිධත්වයෙන් අනූන ස්වභාව සෞන්දර්ය පිරී භූමියකි.

භූමිය පුරා පැතිරී පවත්නා වන ගහනය ශාක විශේෂ 133 න් සමන්විතය. ඒ අතර හොර, වල්දෙල්, පේරතඹල, කීන, දවට, කිතුල්, බෝ, ඉදි, වල්පිච්ච, බෝ, වෙසක්මල්, රුක්අත්තන,උඩවැඩියා වේ. මෙම ශාකවලින් සමහරක් විවිධ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස භාවිත කරයි. යටි වියනක් ලෙස ඖෂධ පැළෑටි විශාල ප්‍රමාණයක් ව්‍යාප්තය. ගුරු වෛද්‍යවරයකුට වෙද සිසුන් කැඳවාගෙන ගොස් ඖෂධ ශාක අභිමුඛව විග්‍රහ කිරීම් කළ හැකි ස්ථානයකි. ස්වභාවික පහසුකම් සහිත මෙවන් තවත් ප්‍රදේශයක් සොයාගත හැකිද යන්න ප්‍රශ්නයක්.

මෙම ස්වභාවික වන පෙතට ජීවය සපයන ජලවහන පද්ධතියකි. අවට විසිරී කඳුපන්තියෙන් ගලා බසින මනරම් දොළපහරවල් කීපයක් වේ. පාරම්පරික ගම්වැසියන් පහත සඳහන් පරිදි මෙම ජල දහරාවන් හඳුන්වනු ලැබේ.

උතුරු දෙසට ගලා බසින – තැඹිලි, දොළ

නැගෙනහිර දෙසට ගලා බසින – අඬන දොළ (නාස් දොළ)

දකුණූ දෙසට ගලා බසින – දිග්ගල දොළ

නිරිත දෙසට ගලා බසින – පීලි දොළ

නැගෙනහිර දෙසට ගලා බසින – ටැංකි දොළ

සිය දිය බෙත්මේ ජලය 100% ක් පානීය ජලය වශයෙන් භාවිතයට ගත හැකි පවිත්‍රතාවයෙන් යුක්තය.

මෙම ජලාශවල මත්ස්‍ය විශේෂ 16 ක් වෙසෙන බව සොයාගෙන ඇත. ඉන් මත්ස්‍ය විශේෂ 06 ක් ලංකාවට ආවේණිකය. සිංහ රාජයෙන් වාර්තාවන දේශීය මත්ස්‍ය සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයකි. රතු දත්ත සටහන්වලට ඇතුළත් කොළ කනයා, ලේ තිත්තයා යන මසුන් වෙසෙති.

ජල දහරාවල වෙසෙන මසුන් දැකීමෙන් චමත්කාරජනක ආශ්වාදයක් ලැබේ. ඉන් ලබාගත හැකි චිකිත්සා ක්‍රමයක්ද වේ. මානසික රෝග අවම කර ගැනීමට උපයෝගී කරගත හැකිවෙයි. මානසික ආතතියෙන් පෙළෙන රෝගීනට මෙම මත්ස්‍ය චලනයක් බැලීමට යොමු කළ යුතුය. එලෙසම මනාසේ අඳුරු හැඟීම් ඇති රෝගීන්ටද එය මානසික චිකිත්සාවකි. පැරණි පාරම්පරික වැසියන් මෙවැනි ස්වභාවික චිකිත්සාවන් හොඳින් දැන සිටියේය. එපමණක් නොව මත්ස්‍ය දර්ශනය නැරඹීම හෘද රෝගවලට හා අධිරුධිර පීඩනයට මනා ඔසුවකි. මෙවැනි මනෝ ප්‍රතිකාර දර්ශන කලාප රැක ගැනීම දිගුකාලීන අභියෝගයක් වේ.

මෙරටට ආවේණික විෂ වෛද්‍ය ක්‍රමය වසර දහස් ගණනක් අතීතයට උරුමකම් කියයි. ගුරු වෛද්‍යවරුන්ට වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා සජීවි සර්පයන් අවට පරිසරයෙන් පෙන්වීම දුෂ්කරය. එම අභියෝගය ජයගත හැකි ස්ථානයකි. කොඩිගහකන්ද වනය, මෙහි තුරුවදුළු අතරේ උරග විශේෂ 18 ක් වාසය කරයි. දියබරි, කබර රඳනකයන්, පළා පොළඟුන්, කොට පිඹුරන් යන මෙරටට ආවේණික උරගයන්ද වේ. ජාත්‍යන්තරව වඳවී යන රතු දත්තයන් හි ඇතුළත් පිඹුරා මෙහි වෙසෙති. දියනයි විශේෂයක් හා කටුසු විශේෂ දෙකක් සිටින බව සොයාගෙන තිබේ. පාරිසරවේදීන්ගේ හා තරුණ සත්වවේදීන්ගේ ගවේෂණ මගින් මෙහි දැක්වෙන දත්ත අනාවරණ වී තිබේ. මෙම පරිසරය විෂ වෛද්‍ය අධ්‍යාපන කටයුතුවලට ගැඹුරින් ප්‍රයෝජනයට ගත හැකිය.

සමනලයින්, පක්ෂීන්, ක්ෂීරපායින් හා උභය ජීවින් ගහනයක් මෙහි වෙසෙති. කුල හතකට අයත් සමනල විශේෂ 46 ක් කොඩිගහකන්ද ආශි‍්‍රතව වෙසෙන බව වාර්තා වේ. ඉන් විශේෂ 6 ක් ලංකාවට ආවේණිකය. රතු දත්තයන් හි වඳවීයාමට ලක්ව ඇති සමනලයින්ද වෙසෙන බව වර්තා වේ. ඖෂධ සළයන් වර්ධනයට මේ සතුන්ගෙන් සිදුවන පරාගන සේවය අතිමහත්ය.

මෙම පඳුරු වනගහන පක්ෂීන්ට රජදහනක් බඳුය. කුල 33 ට අයත් පක්ෂීහු විශේෂ 71 වෙසෙන බව වාර්තාකර තිබේ. මූකලන් කොට්රුවන්, ගිරා මලිත්තන්, හිසකළු කොණ්ඩයන්, මල් කොට්ටෝරුවන් යන මෙරටට ආවේණික පක්ෂීන් වේ. ඔවුන් වනගහනයට එක්කර තිබෙන අලංකාරය අපමණය. දවස පුරා කුරුලු ගී නාද දසත පුරා විහිද පැතිරෙන්නේය. ඉන් ඇතිවන මානසික ප්‍රබෝධය කියා නිම කළ නොහැකි වේ. මෙය යහපත් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන පාරාදීසයක්ය.

හරිත වියනෙහි සැරිසරන ක්ෂීරපායි සතුන් විශේෂ 16 ක් පමණ වේ. ඉන් කොළ වඳුරන් හා රිලවුන් ලංකාවට ආවේණිකය. මීට දශක දෙකකට පමණ පෙරාතුව ඉත්තෑවන්, ඕලුමුවන්, වල් ඌරන්, හඳුන් දිවියන්, උනහපුලුවන් බහුලව වාසය කර තිබේ. මෙම ගහනය වර්තමානය වන විට ක්ෂය වෙමින් පවතියි. ඒ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් කරන අනතුරු ඇඟවීමක නිරූපණයකි. මෙහි සඳහන් සමහර සතුන්ගේ කොටස් දේශීය ඖෂධ තැනීම සඳහා ගන්නා බවද රහසක් නොවේ. ඒ අනුව ඔවුන් ස්වභාවික පරිසරයෙන් අතුරුදන්වීම දේශීය වෛද්‍ය ක්‍රමයට අහිතකර බලපෑමක් බව පැහැදිලිය.

‘කොඩිගහකන්ද’ වනය හුදකලාව පසුවුවද ඔළබොඩුව ගමේ ජනතාවට නිහඬව අපමණ සේවයක් කරයි. කඳු මුදුනේ සිට ගලන ජල දහරාවන් ප්‍රදේශයෙහි කුඹුරුබිම් කීපයක් පෝෂණය කරනු ලැබේ. එපමණක් නොව ගමේ පහත් බිම්හි පවතින ලීං,පොකුණු, ඇළ මාර්ග යන ජල මූලයන් පෝෂණය කරයි. ආයුර්වේද ප්‍රතිකාර ලබන්නන් ඖෂධීය ශාක හා පැළෑටි මෙම වනයෙන් සොයාගනු ලැබේ. ගමේ වැසියන් අවශ්‍ය කරන දර සපයා ගැනීමට ද උපකාරි වේ. ව්‍යාපාරික වශයෙන් නොව යැපුම් අවශ්‍යතාව මත හානියකින් තොරව ප්‍රයෝජනයට ගනු ලැබේ.

‘කොඩිගහකන්ද” පාමුල උඩබංගලාව නමින් හඳුන්වන වලව්ව වේ. සොයාවරුන් ගේ පරම්පරාවේ බලවතුන් භාවිතාකළ නිවාඩු නිකේතනයකි. මෙහි පුද්ගලික පක්ෂී කෞතුකාගාරයක් පවත්වාගෙන ගොස් තිබේ. ලියුම්කරු මෙම ස්ථානය නැරඹීමට කීප අවස්ථාවක් ගොස් ඇත. එම ගමනේ පුරෝගාමියා වූයේ ‘ඔලබොඩුව් හන්දියේ වෙසක්මල් නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය වසන්ත කුමාර පෙරේරා මහතාය. ඔහුගේ පැහැදිලි කිරීම් හා ලබාදුන් අද්දැකීම් මෙම ලිපිය නිර්මාණය කිරීමේ පෙලඹුම වේ.

වලව්වේ භූමිය පුරා විසිර පවතින රාජ්‍ය තාන්ත්‍රික සංකේත කීපයකි. “ජපන් අකිහිතෝ අධිරාජ්‍යය , ඩී.එස්. සේනානායක අගමැතිතුමා, සර් ජෝන් කොතලාවල මැතිතුමා, එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා යන හිටපු නායකවරයෝ රෝපණ කළ ශාක වෙති. ඒවා පිළිවෙළින් අසෝක, කළුවර , මැංගුස්, ඇහැළ යන ගස් වේ. ග්ලෝස්ටර් ආදිපාද ,රවින්ද්‍රනාත් තාගෝර් මුවආණ්ඩුකර වැනි කීර්තිදරයන් මෙම ස්ථානයට පැමිණ ඇත.

මෙරට ප්‍රථම සාහිත්‍ය සම්මේලනය ඩී.බී. ජයතිලක මහතා මෙම ස්ථානයේදී පවත්වා තිබේ.

මෙම වටිනා ඔසු අරණ සංරක්ෂණය සඳහා වැඩකටයුතු කරණුයේ ‘මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම” වේ. ඔවුන් 2008 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ජෛව සංරක්ෂණ කටයුතු රැසක් අරඹා ඇත. එමගින් වැසියන් පරිහරණය කරන භූමිවල සෝදා පාළුව වැළකීමට ගල් වැටි යොදා තිබේ. පරිසර හිතකාමි ගෙවතු වගා ව්‍යාපෘති මගින් ගැමි දිවියට ශක්තියක් සපයයි. ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරෙන් කෙරෙන නිෂ්පාදන මග පෙන්වීම් රැසක් වේ. ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් වනයේ සදීමා මායිම් ලකුණු කොට තිබේ. මෙහි අධ්‍යයන කටයුතුවලට පාසල් හා දහම් පාසල් සිසුන් සහභාගි කර ගැනීම අගය කළ යුතුය. සංරක්ෂණයට අවශ්‍ය මඟපෙන්වීම සඳහා මිහිතල “මිතුරෝ නිරතුරුව“ මැදිහත් වේ.

“සමහර මානව ක්‍රියාකාරකම් “කොඩගහකන්දේ’ මතු පැවැත්මට බරපතළ තර්ජනයකි. වනගහනය වටා මහා පරිමාණව සිදුවන කළුගල් කැඩීම් ව්‍යාපාර වේ. ඉන් භූගත ජල ස්වභාවයේ පැවැත්ම වෙනස්වීමට පටන් ගෙන තිබේ. ඉන් මතුපිට පස් ස්ථරය ඉවත්වයාම සිදුවන බවද පෙන්වා දෙයි. ගල් බෝර දැමීමෙන් නිකුත්වන අධික ශබ්දය නිසා පක්ෂීන් හා සෙසු සතුන් වනයෙන් බැහැර වන්නේය. වනයේ ගස් වෙළෙඳාම සඳහා කපා දැමීම බලවත් තර්ජනයකි.

මෙය මිහිතල මිතුරෝ පරිසර සංවිධානය ඉදිරිපත් කර ඇති තොරතුරුවලින් මතුකරන අනතුරකි.

ඉඟි කර ඇති අනතුරු යථාර්ථය වුවහොත් සිදුවන අගතීන් කීපයකි. මිනිස් පැවැත්මට නිතර ඔක්සිජන් වායුව හා ජලය ප්‍රදේශයට අහිමි වේ. එමෙන්ම මානසික සහ කායික සෞඛ්‍යයට හිතකර භූමියක් විනාශ වන්නේය. ශාක හා සතුන් මුල්කොටගත් ජෛව විවිධත් සම්පත විනාශ වනු ඇත. දේශීය වෛද්‍ය කටයුතුවලට අවැසි වටිනා ඔසු වැනසී යාම වළක්වා ගත නොහැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.