වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සාමයෙන් සනසවා ලෝසත එන්න නත්තල රැගෙන සුබසෙත
සාමය ගොඩනැඟීම සඳහා මූලික වන්නේත් මානව, දයාව දැක්වීමට හැකි වන්නේත් තම අසල්වැසියාගේ වේදනාව තේරුම් ගැනීමට හැකි වූ විටය. අද අප සමාජයේ විවිධ දුක් වේදනා අත් විඳීන අය අති විශාලය. ඔවුන්ට මානව, දයාව දැක්වීමට කිසිවෙක් නැත. තම දරු පවුල් රැකගැනීම සඳහා ඔවුන් නොවිඳීනා දුකක් නැත. සමහරවිට වැරදි කි‍්‍රයාවල පවා යෙදී නීතියේ රැහැනටද හසු වෙති. කිතු සමිඳුන් පවසා ඇත්තේ කබාය දෙකක් ඇති තැනැත්තා එයින් එක් කබායක් නැති අයෙකුට දිය යුතු බවය.
බුදුන් වහන්සේ දේශනා කළ පරිදි මනස විකෘති වී ඇති අයට කිසිවක් කළ නොහැක. විවිධ ලෞකික ආශා වලින් දූෂිත වී සිටින බලවත් බොහෝ අයගේ මනස විකෘති වී ගොසිනි. බල පරාක්‍රමයෙන් විරාජමානව වැජඹෙන ආත්මාර්ථකාමීන්ට මානව, දයාව සිහියට නැඟෙන්නේ ඔහුගේ බලය අහිමි වූ දාටය. ඉන්පසුව දක්වන සාමයෙන් ප්‍රයෝජනයක් නැත. එවිට සියල්ල සිදු වී හමාරය. “ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය නොහැක” යන කිතු සමිඳුන්ගේ දේශනා වලින් පැහැදිලි වන්නේ ධනය ලැබෙද්දී මානව, දයාව පෑලදොරින් පලායන බවයි. සාමයේ කුමරු වන අප කිතු සමිඳුන්ගේ නත්තල් සාම පණිවුඩය සනාථ කරමින් අනෙක් ආගම් ශාස්තෘවරුද දේශනා කොට ඇත්තේ ඒ හා සමාන පරම සත්යයන්ය.
ජේසුතුමන්ගේ දේශනාවල වැදගත්කම.
දිළිඳු ගවලෙනක උපත ලැබූ සාමයේ කුමරු ඒ මඟින් අපට දුන් ආදර්ශය වන්නේ, කරුණාව සහ මානව, දයාව දක්වමින් තම අසල්වැසියාටද ප්‍රේම කරමින් යහපත් දිවි පෙවතක් ගෙවන ලෙසය. අන්‍යයන්ගේ විපතේදී ඔවුන් සමඟ එක්වී ඔවුන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙසය. කි‍්‍රස්තුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී සඳහන් කළේ “අප අසල්වාසී ජනතාව සමඟ සහයෝගයෙන් දිවි ගෙවිය යුතු බවය. පිපාසා වූවන්ට පානය දීමද, සාගින්නේ සිටින අයට ආහාර දීමද, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර සැපයීමද, සිරගත වූවන් බැලීමට යාමද දුකට පත්වූවන් සැනසීමද, රෝගී වූ අයට ප්‍රතිකාර කිරීමද, සාමය සුරකින පුණ්‍ය කර්මයන් වන බවයි. තම ජීවිතය මෙන්ම අන්‍යයන්ගේද ජීවිත දීප්තිමත් කර ගැනීම සඳහා ඉවහල් වන අගනා දේශනා සෑම ආගම් ශාස්තෘවරයෙකු විසින්ම කර ඇති නමුත් අද සමාජයේ ඒවා පිළිපදින අය ඇත්තේ ඉතා ස්වල්පයකි. මෙම හේතුව නිසා වත්මන් සමාජයේ විශාල ජන කොටසක් කටුක දුක් වේදනා විඳීමින් සිටිති. ජේසුතුමන්ගේ දේශනය වන්නේ, “පළමුව දෙවියන් වහන්සේද, දෙවනුව ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට ඔබ පතන සියල්ල ඔබට ලැබෙනු ඇත.” එබැවින් තාවකාලිකව සුඛ විහරණය සලසන ලෞකික සම්පත් නොසොයා සාමයේ කුමරු දේශනා කළ පරිදි තමාට මෙන්ම තම අසල්වැසියාටද ප්‍රේම කරන්න යන අගනා වදන පිළිපදිමින් සාමය තුළින් අප ජීවිත ආලෝකවත් කර ගැනීමටද මේ නත්තලේ පටන්වත් අප අදිටන් කරගතයුතු වෙමු.
ජේසු උපත හා අසිරිමත් නත්තල් තාරකාව.
කිතු සමිඳුන්ගේ උපත සමරන අසිරිමත් නත්තල හා ගෙතුණු තාරකාවේ කතාවත්, ශාස්තෘවන්තයන්ගේ පැමිණීමත් පිළිබඳව සඳහන් වන්නේ නව ගිවිසුමේ ශුද්ධ වූ මතෙව්තුමාගේ සුවිශේෂීයේය. කිතු සමිඳාණන්ගේ උපත පිළිබඳව මුලින්ම දැන ගනු ලබන්නේ බෙත්ලෙහෙම අසළ තම බැටළුවන් රැකබලාගෙන රැය පහන් කළ දුප්පත් එඬේරුන් විසිනි. කි‍්‍රස්තුස් වහන්සේගේ උපත පිළිබඳව ලෝකයා දැනගනු ලබන්නේ දීප්තිමත්ව අහසේ දර්ශනය වූ තාරකාව ඇසුරිනි. ශාස්තෘවන්තයන් තිදෙනා ජේසු නැමදීමට පැමිණෙන්නේ මේ වල්ගා තාරකාව පෙරදැරි කරගෙනය. එසේම මේ තරුව දුටු සමහර රජවරු පවා බියට පත් වූහ. පවතින රාජ්‍යය බලයට අභියෝග කළ හැකි සුවිශේෂි බලවන්තයෙකුගේ උපත සිදුවී ඇතැයි මේ දුර්ලභ තාරකාව දුටු පාලකයන්ට ගැතිකම් කළ පූජකවරු සැක පහළ කළහ.
විශිෂ්ට ජවසම්පන්න පුරුෂයන්ගේ උත්පත්ති සමයේ හාස්කම් ලෙස ස්වභාව ධර්මය තුළ විවිධ විපර්යාසයන් සිදුවන බවක් පිළිබඳව විශ්වාසයක් පෙරදිග මෙන්ම අපරදිග වැසියන් තුළ ද පවතී. බෞද්ධ සාහිත්‍ය යේ සිදුහත් කුමරුගේ උපත පිළිබඳව ඇදහිය නොහැකි විචිත්‍රවත් හාස්කම් සිදුවූ බවට වාර්තා වී ඇත. ගී්රක මැසිඩෝනියානු රණශූරයෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් කුමරාගේ උපත සිදුවූ සමයේද ආශ්චර්යමත් තාරකාවක් පායන ලද බව වාර්තා වේ. අසිරිමත් උපත් සමඟ මෙවැනි සුවිශේෂ තාරකාවන්ගේ හා අහසේ දර්ශනය වූ ආලෝක කදම්භයන් පිළිබඳව තවත් තොරතුරු සටහන්ව ඇත. ඒ සිද්ධීන් අතර ප්රමුඛ පෙළේ සිද්ධියක් ලෙසින් කිතු සමිඳුන්ගේ උපත හා දිස්වූ වල්ගා තාරකාවේ කථාවද ප්‍රචලිත එකකි. නත්තල පිළිබඳව කවුරුත් පාහේ දන්නා විස්මයජනක මනබඳීන කථාව ලෙස මේ වල්ගා තාරකාවේ උදාව පිළිබඳව අදටත් විවාද සම්පන්න මත පවතී. කෙසේ වෙතත් සෑම නත්තලම ඉදිකෙරෙන සෑම නත්තල් ගසකම හා ගවලෙනකම ඉහළින්ම දර්ශනය වන්නේ තාරකාවක සංකේතයයි.
දිවැසිවරුන්ගේ අනාවැකි.
අතිරමණීය කිතු උපත පිළිබඳව, කිතු උපතට පෙර දිවැසිවරුන් විසින් දෙවියන්වහන්සේගේ දේව අනාවරණයක් ලෙස මෙලොවට ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුණි. සෙසායා දිවැසිවරයාගේ අනාවැකියේ මෙලෙස සඳහන් වේ. සමිඳාණන් වහන්සේ නුඹලාට ලකුණක් දෙන සේක. “බලන්න කන්‍යාවියක් ගර්භිණීයව පුත්‍රයකු වදා එම්මෑනුවෙල් යන නාමය ඔහුට තබන්නීය. එතුමා අපේ රජවන සේක. උන්වහන්සේගේ නාමය අපූරුය. එතුමාණෝ අසිරිමත් උපදේශකවරයෙකු වන්නේය. එතුමා පරාක්‍රමවත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා හෙවත් සදාතන සාමයේ කුමාරයාණෝ යයි කියනු ලබන්නේය.” දිවැසිවරුන්ගේ අනාවැකි සම්පූර්ණ වී කිතු උපත සිදු විය. ශාස්තෘවන්තයන් තිදෙනාගේ සම්ප්‍රාප්තිය ශුභාරංචි පොතේ සඳහන් වන්නේ මෙලෙසිනි,
“බලව” පූර්ව දිසාවන්හි ඔවුන් දුටු තාරකාව ළදරුවා උපන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුනට පෙරටුව ගියේය. ඔවුහු තාරකාව දැක මහත් උද්දාමයකින් පී‍්‍රති වූවෝය. ඔවුහු ළදරුවා උපන් තිඹිරිගෙට වැද ළදරුවා ස්වකීය මව වූ මරියා සමඟ සිටිනවා දැක බිම වැටී උන්වහන්සේට නමස්කාර කොට තමුන්ගේ කරඬු විවෘත කර රන් ද, කට්ටකුමංජල් ද, සුවඳ ලාටු ද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය. තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙසට දෙවියන් වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ. ඔවුහු අන් මඟකින් තමුන්ගේ රටට ගියෝය. මේ රජවරුන් හෝ සෘෂිවරුන් හෝ ශාස්තෘවන්තයන් හෝ යන තිදෙනාට පෙරදිග සිට ජෙරුසලමට පැමිණීමට මේ අසිරිමත් තාරකාව මඟ පෙන්වූ බව විශ්වාස කරති. ඇත්ත වශයෙන්ම මේ තාරකාව කුමක්ද? මෙය වල්ගා තාරකාවක් යැයි ශුද්ධ වූ මතෙව්තුමා තම සුභාරංචි පොතේ සඳහන් නොකරයි. එසේනම් මෙය වල්ගා තාරකාවක් වූයේ කෙසේද? නැතහොත් එය පිපිරෙන තාරකාවක් ලෙස අහසේ පහළවන සුපර්නෝවාවක්ද? විද්‍යාඥයින්ගේ අදහස් අනුව මෙවැනි තාරකා කලින් කලට ස්වභාව ධර්මයේ පහළ වී ඇත.
ජේසු බිළිඳා උපත ලැබූ බෙත්ලෙහෙම
“බෙත්ලෙහෙම” වත්මන් පලස්තීනයට අයත් වේ. බලසම්පන්න රෝම අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ “දාවිත්ගේ නගරය” වූ බෙත්ලෙහෙම සත්‍ය වශයෙන් අදටත් කීර්තිමත්ව බැබළෙන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසු බිළිඳාගේ උපත හේතුවෙනි. එදා ඉතා කෲර ලෙස යුදෙව්වන් තලාපෙලා පීඩනයට පත් කළ අධික බදුබර පටවමින් ඔවුන් ණයකරුවන් හා අසරණයන් කළ වරදට දෝ බෙත්ලෙහෙම දිව්‍ය පුත්‍රයෙකුගේ උපතකට ඉඩ සලසමින් අදටත් මතුවටත් සමස්ත කිතුණුවන්ගේ පුද බිමක් බවට පත්ව තිබීම එක් අතකින් හාස්කමක් බඳුය. ඉතා කුඩා භූමි වපසරියකට සීමා වුවත් “ආබ්‍රහම්” පරපුරේ සිට “දාවිත්” පරපුර දක්වා රජ පරම්පරා 14 කට නිජබිම වූ බෙත්ලෙහෙම ජේසුතුමන්ගේ භාරකාර පියා වූ “දාවිත්” රජ පරපුරේම ජෝසප්ගේ (ජුසේ) උපන් ගමයි. ජේසුස් වහන්සේ උපත ලැබූ සුවිශේෂී ස්ථානය දැක බලා ගන්නට මෙහි පැමිණෙන පිරිස සාමාන්‍යයෙන් වාර්ෂිකව දස ලක්ෂය ද ඉක්මවයි.
ජේසු උපත සිදු වූ ගවලෙන
උත්පත්තියේ දෙව් මැදුරේ කුඩා ගුහාවක් ගෞරවණීය ලෙස ආවරණය කර ඇති අතර එය අසිරිමත් ජේසු බිළිඳාගේ උපත සිදුවූ ගවලෙන ලෙසද ඒ ආසන්නයේම කිරිගරුඬ පොළොව මත නිමවා ඇති දර්ශනීය තරු වළල්ලක් ඇති තැන මරියාවන් ජේසු බිළිඳා ප්‍රසූත කළ ස්ථානය ලෙසද ලතින් බසින් මෙහි ලියා තිබෙනු අද එහි යන්නකුට දැකිය හැකිය. එල්ලෙන පහන් දොළොසකින් දර්ශනය වන මෙහි පුවරුවක (Hic De Virgine Maria Jesus Christhus Natusest) යනුවෙන් සඳහන් කර ඇත. (මෙහි අරුත කන්‍යා මව්තුමිය ජේසු බිළිඳා බිහි කළ තැන යන්නයි.) ජේසු බිළිඳාට මරිය මවුතුමිය කිරි පෙවූ ස්ථානය ද අර්ධ කවාකාර හුණුගල් බිත්ති වලින් ඊට යාබදව මෙහි දක්වා ඇත. මරියතුමිය ජේසු බිළිඳාට කිරි පොවන දර්ශන රැගත් සිතුවම්ද මෙහිදී දැකබලා ගත හැකිය. මෙම ස්ථානය කිතුණුවන් අතර ප්රකටව තිබෙන්නේ ‘Milk Grotto’ නමිනි.