වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ධනවතෙකු වීමේ වාසනාව ඔබටත් ඇත්ද?
පෙර කරන ලද කුසල හා අකුසල කර්ම අනුව මේ ජීවිතයේ දී මිල මුදල් ලැබීම්, යාන වාහන, ගේ දොර ඉඩකඩම් නිලතල වැනි සියලු ලැබීම් ඔබගේ කේන්ද්‍රයෙන් මනා ලෙස පෙන්නුම් කරනු ඇත. මහා ධන ලාබ මෙන්ම සාමාන්‍ය සුළු ලාබ ලැබීම් පවා ඔබගේ පෙර කුසල් අනුව ඔබට ලැබෙනු ඇත.
ඔබගේ කේන්ද්‍රයේ ධන ලාබ ලැබෙන හා නොලැබෙන ග්‍රහ පිහිටීම් අතරින් ලග්නාධිපතියා දෙකේද, 11 අධිපතියා 10 වැන්නේත්, කේන්ද්‍රයේ 2 අධිපති සිටි නවාංශකාධිපතියා ශුභ රාශිගතව සිටිවිට ධනවතකු වනු ඇත.
දෙක දහය අධිපතියන් යෝගව කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණ ගතව සිටිවිට ද ධනයෝග උදාවේ. තුන, හය, එකොළහට සෞම්‍ය ග්‍රහයන් තැන්පත් වූ විට ධන සම්පත් ලැබේ. සතර කේන්ද්‍රයේ ශුභ ග්‍රහයන් තැන්පත්වීමද ධනය ලැබීමට හොඳ පිහිටීමකි. තමාගේම රාශියක් වී 5 වැන්නේ හෝ 11 වැන්නේ සෙනසුරු සිටිවිටද ධනවත් වේ. 10 වැන්න අධිපතියා සිටි නවාංශකාධිපතියා 11 අධිපතියා සමඟ යෝගවී සුබ තත්ත්වයෙන් සිටි විට ධනය ලැබේ.
ග්‍රහයන් හතර දෙනෙකු ස්වක්ෂේත්රව සිටීමද ධනය ලැබීමට හේතුවකි. දෙක අධිපතියා බලයෙන් යුතුව 9, 10, 11 වැනි රාශියක ඇති විටද ධනය ලැබේ. ගුරු ග්‍රහයා 11 වැන්නේ ද 05 වැන්න මේෂ රාශිය හෝ සිංහ රාශිය වී එහි රවි සිටි විටද ධනවත් වේ.
ලග්නය සිංහය වී රවි, කුජ, ගුරු සිටීමද මනා ධන යෝගයකි. කටකය ලග්නය වී සඳු, කුජ, ගුරු සිටීමද මහා ධන යෝගයකි. මේෂ ලග්නයෙහි කුජ, බුධ, ශනි, සිකුරු සිටීමද මහා ධනයකට හිමිකම් කියන යෝගයකි. මීන රාශිය ලග්නය වී සඳු, කුජ, ගුරු සිටීමද ධන යෝගයකි.
මිථුන ලග්නයේ බුධ, ශනි, සිකුරු සිටීම මෙන්ම මිථුන ලග්නයේ සිටින බුධව ශනි, සිකුරු විසින් දැකීමද ධනය ලැබීමට යහපත් වේ. තුලා ලග්නයේ රවි, සඳු, සිකුරු සිටින විටද ලග්නයේ සිටින සිකුරු, රවි, සඳු විසින් දැකීමද ධන යෝගයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>