වාස්තු දෝෂවලින් මිදෙන පහසු ක්‍රම

සැප්තැම්බර් 27, 2024

වාස්තු ශාස්ත්‍රයේ දක්වා ඇති විවිධ සිද්ධාන්තයන් අධ්‍යයනය කරන්නකුට මැනැවින් පසක් වන කරුණු වන්නේ එය ගොඩනඟන ලද්දේ අත්දැකීම් මත ගොඩනැඟුණු ආනුභූතික ඥානය මත පදනම් වී පමණක් නොවන බවයි. එනම් යම් අතින්ද්‍රිය ශක්‍යතාවන්ගෙන් හෙබි කෘෂි ආචාර්ය ආදී ප්‍රාඥයන්ගේ දායකත්වයෙන් ගොඩනැඟුණු මෙකී වාස්තු ශාස්ත්‍රය අදටත් වලංගු දැනුමක් අපට දායක කර දී ඇති බව පෙනේ.

මෙකී පෞරාණික ඓතිහාසික දැනුම් සම්භාරය අද ලොවට ගළපා දැක්වීම සඳහා අපට නූතන බටහිර විද්‍යාත්මක දැනුම භාවිත කිරීමට සිදු වී තිබේ. එයට හේතුව වන්නේ විද්‍යාවේ එන සංකල්ප හා ප්‍රවාද ආදියේ සුවිශේෂත්වය නිසා නොව එයට සමාජයෙන් ලබා දී ඇති වටිනාකම් නිසා බවද මෙහිදී කිය යුතු වේ. එසේම විද්‍යාවේ, විශේෂයෙන් බටහිර භෞතික විද්‍යාවේ එන සංකල්ප අනුව වාස්තු ශාස්ත්‍රය විග්‍රහ කරමින් අපට නූතන වාස්තු විද්‍යාවක් ගොඩනැඟිය හැකියි. මෙකී නූතන වාස්තු විද්‍යාව සමාජගත කිරීමත් අතිශයින් පහසු හා විශ්වසනීය වනවා මෙන්ම ඵලදායී වන බව පෙනේ.

සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රය සැලකුවද නූතන වාස්තු විද්‍යාව සැලකුවද කවර සිද්ධාන්ත භාවිතයෙන් හෝ සිදු කරන්නේ මනුෂ්‍යයාගේ ජීවන වටපිටාව විසින් එකී මනුෂ්‍යයාට ඇති කරන යම් බලපෑමක් පැහැදිලි කරදීමක් බව වටහා දිය හැකියි. එය විටෙක අශුභවාදී වාස්තු දෝෂ විවරණයක් සේම විටෙක ශුභවාදී ප්‍රතිඵල ගෙන එන වාස්තු විනිශ්චයක්ද විය හැකියි. මෙසේ ගොඩනඟා ගන්නා විවරණයන් විසින් වඩා යහපත් ජීවිතයක් ලබාදීම අභිප්‍රාව වන බව මෙහිදී අවසාන වශයෙන් වටහා ගත යුතු වේ.

වාස්තු පරීක්ෂාවකදී යම් ඉදිකිරීමක හඳුනා ගන්නා දෝෂවලට පිළියම් ලෙස එකී ඉදිකිරීමේ අංගයන්ගේ යම් වෙනසක් සිදු කිරීම අවශ්‍ය වේ. එසේ නොමැතිව ගුප්ත පිළියම් සලසන පුද පූජා විධි ඇතත් ඒවායෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව නිශ්චිත ඇගයීමක් කිරීම පහසු නොවේ. එබැවින් එවැනි දේ පොදු සමාජයට විවෘත ලෙස කාවැද්දීම පහසු නොවේ. එහෙත් එවැනි ගුප්ත පිළියම් භාවිත කිරීමට තවමත් සමාජයේ බොහෝ පිරිස් නිතැතින් යොමු වන බවක්ද පෙනෙන්නට තිබේ.

ඉදිකිරීම් කඩා බිඳ වෙනස් කරන අන්තයන් ඒ කිසිත් සිදු නොකර කළ යුතු පූජා භාවිතයෙන් පමණක් පිළියම් ආරක්ෂා කිරීමේ අන්තයක් අතර නිශ්චිත පහසු හා සරල පිළියම් සපයා ගැනීමේ නූතන බටහිර විද්‍යාත්මක ශිල්ප වුවද මේ වන විට භාවිතයට පැමිණ තිබේ.

මේවා අතරෙන් පළමු ක්‍රමය වන්නේ අවට පවත්නා ස්වභාවික ශක්තීන් කැඳවා ගැනීමට අවශ්‍ය ශිල්ප ක්‍රම භාවිතයට ගැනීමයි. ඒ සඳහා පරිසරයේ සරල වෙනස් කිරීමක් සිදු කිරීම ප්‍රමාණවත් වේ. නිදසුනක් ලෙස ඊශාන ප්‍රධාන නැඟෙනහිර හා උතුර මැනවින් විවෘත කර අප ගතට වැඩි අන්තරීක්ෂ ශක්ති ප්‍රමාණයක් කැඳවා ගැනීමයි. එසේම නිරිත ප්‍රධාන බස්නාහිර, දකුණ දිශාබල ප්‍රයෝජනවත් හා උසින් වැඩි පැතිරී ගොස් ඇති ගස්වැල් ආදිය රෝපණය සිදු කළ හැකියි. එවිට ඉදිකිරීම වෙත ගලා ආ අන්තරීක්ෂ ශක්තිය ඉවත්ව යෑමේ හෙවත් පිටතට කාන්දු වී යාම වළක්වා ගත හැකියි. මෙසේ සකස් කිරීමෙන් සිදු වන්නේ පවත්නා ශක්තියේ ප්‍රමාණය ඉදිකිරීම තුළ වැඩිවී අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාවය (Cosmic Energy Intensity) වැඩි වීමයි.

මෙයට අමතරව විවිධ සජ්ඣායනා හා ගායනා ශක්තිමත් හඬකින් සිදු කිරීමෙන්ද යම් ශුභවාදී ප්‍රතිපල අත්කර ගත හැකියි. එහිදී ඉදිකිරීමෙන් පවත්නා අන්තරීක්ෂ ශක්තිය වඩා ක්‍රමවත්ව තිබීමත්ව ස්ථාවර වීමත් සිදු විය හැකියි.

එසේම සුවඳවත් මල් පිපෙන ගස් වර්ග පරිසරයේ වැඩි වැඩියෙන් පිහිටුවීමෙන් බලවත් ශුභ ශක්තීන් පරිසරයට එකතු වීමත් බරපතළ වාස්තු දෝෂවලින් ඇති කරන ඇතැම් බලගතු හා පහත් ආත්මයන්ගේ සැරි සැරීම් ද මැනවින් පාලනය කරමින් යහපත් පරිසරයක් ගොඩනඟාගත හැකියි.

විවිධ ජල මූලාශ්‍ර වාස්තු සිද්ධාන්තවලට අනුකූලව යම් යම් ස්ථානවල පිහිටුවීමත් දැවැන්ත අන්තරීක්ෂ ශක්ති සංස්කරණයක් සිදුකිරීමට සහාය කර ගත හැකියි.

ගින්දර, තාපය වැනි මේ ශක්ති ප්‍රභවයන් නිශ්චිත ස්ථානවල පිහිටුවීමෙන් විස්මිත ප්‍රතිපල උදාකරගත හැකියි.

මෙයට අමතරව අද ක්‍රමානුකූලව වර්ධනය වෙමින් සමාජයේ පැතිරෙමින් පවත්නා අධි බලැති චුම්භක, පිරිමිඩ, ලෝහ (තඹ හා රන්) මෙවලම් භාවිත කිරීමෙන්ද ඉදිකිරීම්වල පවත්නා වාස්තු දෝෂවලින් ඇති කරන අශුභ ශක්තීන් මැඬ පැවැත්වීමට හැකියාව උදා වනු ඇත.

කෙසේ වෙතත් මෙවැනි විවිධ ක්‍රමවේදයන් යොදා ගනිමින් වාස්තුමය වශයෙන් ශුභවාදී බලවත් ඉදිකිරීමක ජීවත්වීමෙන් යමකු සතු ශක්තිමය ප්‍රභවය තීව්‍ර වී සාර්ථක ක්‍රියාකාරීත්වයක් උදා කර ගැනීමට හැකියාව සැලසෙනු ඇත. මෙසේ සාර්ථකත්වය උදා වන්නේ කෙසේදැයි යන්නද නූතන බටහිර විද්‍යාවේ එන සංකල්ප අනුව ඉතා නිශ්චිත කොට පැහැදිලි කර දිය හැකියි. මෙවැනි පුළුල් අර්ථයකින් වාස්තු සිද්ධාන්ත පරිශීලනය කරනු ලැබීමෙන් පුද්ගලයකු පමණක් නොව සමස්ත සමාජයම අතිශය යහපත් ප්‍රභාමත් දියුණු තත්ත්වයක් දක්වා ගොඩනැඟිය හැකි වනු ඇත.

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.