අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

අප්‍රේල් 7, 2023

 

2023 අලුත් අවුරුදු උදාවේ රවි උච්චව සඳු සමව කුජ සතුරුව බුධ සමව ගුරු, සිකුරු, ශනි ස්වක්ෂේත්‍රව, රාහු – කේතු සතුරුව රාශි චක්‍රයේ සැරිසරයි.

 

 

මේෂ

සම්පත් ධනබලය හිමි වේ

 

ලග්නාධිපති සහ අට අධිපති කුජ වික්‍රමස්ථානගතව ගමන් කරන අතර රවි, බුධ, රාහු ලග්න ගතව ඇත. දෙක අධිපති සිකුරු ස්වක්ෂේත්‍රව විෂ්ණු යෝගයද උදාකරමින් දෙවැන්නේ සඳු දහයේ ශනි එකොළහේ ගුරු දොළොස් වැන්නේ ද කේතු හත් වැන්නේ ද ගමන් කරයි. අප්‍රේල් 22 ගුරු ලග්නයට පැමිණෙයි. සැප සම්පත් භුක්ති විඳීමේ භාග්‍යය ලැබෙන අතර ධන සම්පත් ද හිමිවේ. ඉගෙන ගත්, ගන්නා අයගේ අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතුවලට යහපත්ය. සහෝදරාදීන් සමඟ ගැටලු මතභේද ඇති වීමට ඉඩ තිබේ. උපතේදීත් සිකුරු දෙවැන්නේ සිටි අය සිකුරු දශා ගත කරන්නේ නම් පදිංචිය වෙනස් කිරීම ස්ථාන මාරු ලබා ගැනීම සුබදායක වේ. බුධ දශා තිබෙන අය මුදල් ගනුදෙනුවලදී පරිස්සම් විය යුතු ය. භූත බලපෑම්ද ඇති විය හැක. සඳු දශා ගත කරන අයට හිතේ අසහන ගති ඇති වේ. රවි දශා ගත කරන අය ආත්මාර්ථකාමීව ඉතා ඉහළින් තම කටයුතු කිරීමට උත්සාහ කරයි. එය ඔබට අවාසිදායක වේ. හිසේ, උෂ්ණ රෝග පීඩා ද ඇති විය හැක. ගුරු දශා ගත කරන අයට අප්‍රේල් 22 සිට වඩා සුබයි. රැකීරක්ෂා කටයුතු දියුණු වේ. ජීවිතයේ වැදගත් කටයුතු සාර්ථක ලෙස ඉටුවේ. සෙනසුරු දශා ගත කරන අයට ද ධනය ලැබීමට යහපත් වන අතර වංචා කාරයන්ගෙන් සොරසතුරන්ගෙන් ආරක්ෂා විය යුතු ය. අනතුරු පීඩාවලින්ද ආරක්ෂා විය යුතු ය. රන් රිදී භාණ්ඩ විශේෂයෙන් ආරක්ෂා කරගත යුතු ය. රාහු දශා ගත කරන අයට ගමන් බිමන් යෙදේ. ඉගෙනීම්වලට බාධා වේ. කේතු දශා තිබේ නම් කලකිරීම් ඇතිවේ.

 

 

මිථුන

 

තත්ත්වය උසස් වේ

නව වසර ආරම්භයේ දී ලග්නාධිපති බුධ රවි රාහු සමඟ අයස්ථානයේ ගමන් කරන අතර කුජ ලග්නයේද කේතු පහේද සඳු අටේ, ශනි නවයේ, ගුරු දහයේ, සිකුරු දොළහේ ද ගමන් කරයි. බුධ දශා ගත කරන අයට වැඩි මහන්සියක් නැතිව ආදායම් තත්ත්වය දියුණු කරගත හැක. සෑම කෙනෙකුගෙන්ම ඵල ප්‍රයෝජන ලැබිය හැක. ව්‍යාපාර කටයුතු ද සාර්ථක වේ. සඳු දශා ගත කරන අයට සුබපල අඩුවේ. ජන්ම ඒරාෂ්ටකයක්ද පවතී. උපතේදී සඳු අටේ සිටි අයට අසුබ පල හිමිවේ. සෙම් දෝෂ පීඩා මෙන්ම ජලයෙන්ද අගුණ ද ඇතිවේ. විශාල ජලාශවල, ඇළ දොළ, වැව්, ගංගා ආදියේ නෑමෙන් වැළකිය යුතු ය. යුග දිවියේ සතුට අඩුවේ. රවි දශා ගත කරන අයට එතරම් වරදක් නැත. සමාජ තත්ත්වයක් ඇති කරගත හැක. නීරෝගිකම දියුණුව ඇති කරයි. සිකුරු දශාගත කරන අයට සමපලදායක වේ. දරුවන්ගේ දියුණුව ප්‍රමාද වේ. කුජ දශා ගත කරන අයට බාධක බිඳ දමා ඉදිරියට යා හැකි ය. කෙළින් වැඩ කටයුතු කරන අතර හදිසි අනතුරු පීඩාවලටද ලක් විය හැක. රෝගපීඩා ආදියට මුදල් වැයවේ. රෝග පීඩාවලදී සැලකිල්ලෙන් කටයුතු කළ යුතු ය. බාධක මැද දියුණුව ඇති වේ. ගුරු දශා ගත කරන අයගේ ද ආදායම් දියුණු වේ. ලැබීමට පහසු මාර්ග උදාවේ. ඉඩ කඩම් දේපළද උරුම විය හැක. හවුල් ව්‍යාපාර ද දියුණු වේ. ශනි දශා ගත කරන අය බාහිර දේවල් වලට වහල් නොවී තම ශක්තියෙන් පල ප්‍රයෝජනගෙන කිසිවකුට කරදර නොකර ගෞරවයෙන් යුතුව අදහස් ඉටුකර ගැනීමට දියුණුව ඇති කර ගැනීමට සමත්කම් භූමි ලාභ වාහන ලාබ වලට ද බලය තිබේ. රාහු දශා ගත කරන අයටද සුබ කොන්ත්‍රාත් ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. ධන යෝග උදාවේ. කේතු දශා තිබෙන අයගේ ඉගෙනීම දියුණු වේ.

 

කටක

 

ව්‍යාපාර දියුණුව

 

නව වසර උදාවෙද්දී ලග්නාධිපති සඳු හත්වැන්නේ ගමන් කරන අතර සෙනසුරු අටේ ගුරු නවයේ රවි, බුධ, රාහු දහයේ සිකුරු අයස්ථානයේ කුජ වැයස්ථානයේ කේතු හතරේද ගමන් කරයි. ගුරු අප්‍රේල් 22 දසවැන්නට පැමිණෙයි. අෂ්ටම ඒරාෂ්ටකයද යෙදී තිබේ. සඳු දශා ගත කරන අයට ශනි අටේ ගමන් කිරීම සුබ නැත. වියවුල් බාධා කරදර මෙන්ම අපල ඇති කරයි. ප්‍රසිද්ධිය ඇති වේ. උත්සාහයෙන් කටයුතු කළ යුතු ය. රවි දශා ගත කරන අයට මහන්සියේ තරමට වඩා යහපත් ප්‍රතිඵල ලැබේ. කාර්යශූර ලෙස කටයුතු කළ හැක. යටත් වීමට අකමැති නිසා රැකියා ස්ථාන මාරුද ඇති විය හැක. බුධ දශා ගත කරන අයද ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කරයි. අවබෝධයෙන් යුතුව නව වසරේ කටයුතු කළ හැක. ව්‍යාපාර රැකියා හැම දෙයකම දියුණුව ඇතිවේ. සිකුරු දශා ගත කරන අයටද සුබයි. ආදායම ධනය මෙන්ම ගෙදර දොර ඉඩ කඩම්වල දියුණුවද ඇති කරයි. ලිපි ද්‍රව්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය ආදී ව්‍යාපාර කරන අයගේ එම කටයුතුද දියුණු වේ. පිරිවර සම්පත් හිමි වේ. කටකයට යෝග කාරක කුජ දශා ගත කරන අයට ද නරක නැත. ඉගෙන ගන්නා අයටද යහපත් වේ. රැකියා සඳහා දුර බැහැර ගමන් යෙදිය හැක. ගුරු දශා ගත කරන අයටද සුබපල ඇතිවේ. උසස් අය සමඟ කටයුතු කිරීමට ලැබේ. රැකියා අංශවල සතුරු කරදර බලපෑමට ඉඩ ඇතත් ඒවා මර්දනය කරගත හැක. සෙනසුරු දශා ගත කරන අයට සුබ මදි. මළ මුත්‍ර ආශි‍්‍රත රෝග ද යෙදිය හැක. සතුට අඩුවේ. කපුටු දානය දෙන්න. රාහු දශා ගත කරන අයට රැකියා ස්ථාන මාරු යෙදිය හැකිය. විවේකය අඩුවේ. කේතු දශා තිබේ නම් දියුණුව අඩුවේ.

 

 

 

වෘෂභ

 

අධිෂ්ඨානය බලවත්

නව වසර ආරම්භයේ දී ලග්නාධිපති සිකුරු මාලවී යෝගය උදා කරමින් ලග්නයේම සිටින අතර කුජ දෙකේ, කේතු හයේ, සඳු නවයේ සෙනසුරු සස යෝගය උදාකරමින් දස වැන්නේ ද ගුරු අයස්ථානයේ ද රවි, බුධ, රාහු වැයස්ථානයේද ගමන් කරයි. අප්‍රේල් 22 ගුරු දොළොස්වැන්නට පැමිණෙයි. තම උත්සාහය උපයෝගීකර ගනිමින් දියුණුව උදාකර ගැනීමට අධිෂ්ඨාන කර ගන්න. එය ඔබට කළ හැකි ය. සිකුරුගෙන් සුබ අසුබ පල දෙකම ලැබේ. රෝග පීඩා හේතු කොට ගෙන ධනයේ බලයේ පල ප්‍රයෝජන අඩු වීමට ද ඉඩ තිබේ. හිතේ තද අදහස් ද ඇති වේ. හිසේ සහ උදරයේ රෝග පීඩා යෙදිය හැක. බුධ දශාගත කරන අය මිල මුදලට මුල් තැන දී කටයුතු නොකිරීම නිසා දියුණුවට බාධා ඇති විය හැක. ගමන් බිමන් ද යෙදේ. සඳු දශා ගත කරන අයට ප්‍රසිද්ධිය, කීර්තිය හිමිවන අතර ගමන් බිමන් ද යෙදේ. රවි දශා ගත කරන අයට ද විදේශ ගමන් යෙදීමට ඉඩ තිබෙන අතර සුබ අසුබ පල දෙක ම ලැබේ. ගෙදර දොරට ඇල්ම බැල්ම ඇතිව සැලකීම අඩු වීමට ඉඩ තිබේ. විටින් විට වැඩ කටයුතු වෙනස් වීමට ද ඉඩ තිබේ. කුජ දශා ගත කරන අයට මංගල යෝගද උදාවේ. ඉගෙනීම් කටයුතුවලට ද යහපත් වේ. ආර්ථික ස්ථාවරයද යහපත් වේ. ගුරු දශා ගත කරන අය ආගමික අධ්‍යාත්මික අංශවලට යොමු විය හැක. දැනුම, බුද්ධිය වර්ධනය කරන කටයුතුවලටද බාධා නොවේ. වියදම් වැඩිවේ. සෙනසුරු දශා ගත කරන අයස්ථාන ද දියුණුව ඇතිවේ. රැකියා තනතුරු ලැබේ. නිලතල උසස් වේ. කරදරවලින් නිදහස් වීමේ හැකියාව පවතී. රාහු දශා තිබෙන අයගේ ඉගෙනීම්වලට බාධා වේ. ගමන් බිමන් ද යෙදේ. කේතු දශා තිබේ නම් ශරීර සනීපයේ බාධා පැමිණේ.

 

 

සිංහ

විදේශ සබඳතා

 

අලුත් අවුරුද්ද ආරම්භයේ දී ලග්නාධිපති රවි නවවැන්නේ උච්ච බලයෙන් බුධ, රාහු සමඟ ගමන් කරන අතර කේතු තුනේ, සඳු පහේ, ශනි හතේ, ගුරු අටේ, සිකුරු දහයේ සහ කුජ අයස්ථානයේ ගමන් කරයි. අප්‍රේල් 22 දා ගුරු මේෂ රාශිගත වේ. මෙම ග්‍රහ පිහිටීම යහපත් වේ. උගත්කම්, ගුණවත්කම් දියුණු වේ. ප්‍රතිපත්තිගරුකව කටයුතු කළ හැකි වසරකි. ඉගෙන ගන්නා අයගේ එම කටයුතු ද සාර්ථක ලෙස දියුණු වේ. විදේශ සම්බන්ධතා ද ඇති විය හැක. බලාපොරොත්තු නැතත් උරුම හිමිකම් ලැබේ. මානසික ශක්තිය වර්ධනය වේ. බුධ දශා ගත කරන අයට සුබයි. දැනුම බුද්ධිය වර්ධනය වේ. ආදායම් තත්ත්වය ද දියුණු කරගත හැක. සිකුරු දශා ගත කරන අයගේ රැකියා අංශ දියුණු වේ. ලැබීම් ද ඇතිවේ. මාලවී යෝගය ද යෙදී තිබේ. ව්‍යාපාර කටයුතු ද දියුණු වේ. සහෝදරයන් සමඟ කරන කටයුතුවලටද සුබයි. කුජ දශා ගත කරන අය සියලු කටයුතුවලට දක්ෂ වේ. ධනය ඉපදීමට ද දක්ෂ වේ. පොළොවෙන් ලැබීම් ද ඇතිවේ. ගොඩනැඟිලි ද්‍රව්‍ය ව්‍යාපාර කරන අයගේ එම ව්‍යාපාර දියුණු වේ. මැණික් ගරන අයට මැණික් ලාබද ඇතිවේ. ගුරු දශා ගත කරන අයට සමපල දායක වේ. උද්යෝගයෙන් යුතුව කටයුතු කළ හැක. සෙනසුරු හත්වැන්නේ දිග් බලයෙන් යුතුව ගමන් කිරීම එතරම් අසුබ නැත. මංගල කටයුතු ද උදා වේ. පුද්ගලික ව්‍යාපාර සාර්ථක වේ. හවුල් ව්‍යාපාරවලින් ද ප්‍රතිලාභ ලැබේ. ඉඩ කඩම් දේපළ හිමිකම් වේ. සඳු දශා ගත කරන අයට ඇස්වහ කටවහ දෝෂ ඇතිවේ. ශරීර සනීපයට බාධා වේ. රාහු දශා ගත කරන ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම්වලට බාධා වේ. ගමන් බිමන් යෙදේ. ප්‍රසිද්ධිය ඇති වේ. කේතු දශා ගත කරන අයගේ දියුණුව අඩුවේ.

 

 

කන්‍යා

 

පෙර පින මතු වේ

ලග්නාධිපති බුධ, රවි, රාහු සමඟ අට වැන්නේ ගමන් කරන අතර කේතු දෙකේ සඳු පහේ සෙනසුරු හයේ, ගුරු හත්වැන්නේ, සිකුරු නව වැන්නේ සහ කුජ දස වැන්නේ ද ගමන් කරයි. රහස්‍ය කටයුතුවලට දක්ෂතා දක්වන අතර ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් භයානක වැඩවලට පවා ඉදිරිපත්වීමට පසුබට නොවේ. කරන කියන කටයුතු රැකියා ආදියට බාධා එල්ලවිය හැක. නහරගත රෝග පීඩා යෙදිය හැක. සිකුරු දශාගත කරන අයට සුබදායක වේ. පෙර පින් මතු වේ. කරන කියන කටයුතු දියුණු වේ. ලැබීම් ද ඇති වේ. ආර්ථිකය සහ පවුලේ දියුණුව ද ඇති වේ. උරුම හිමිකම් ද ලැබේ. කුජ දශා ගත කරන අයට රැකියා කටයුතුවලදී විරුද්ධවාදීන්ගෙන් බාධා එල්ලවිය හැක. වෙළෙඳ කටයුතුවලට සුබයි. අප්‍රේල් 22 ගුරු අටවැන්නට පැමිණේ. ගුරු දශා ගත කරන අයට බාධක කරදර අසහන මතු කරයි. සීමාව ඉක්මවා හොඳ හෝ නරක දේවල්වලට ඇබ්බැහිවීමට ඉඩ තිබේ. සෙනසුරු දශා ගත කරන අයට දැඩි අවධානයකින් කටයුතු කිරීම නිසා ශරීර සෞඛ්‍යය ආරක්ෂා කරගත හැක. ඉගෙන ගන්නා අය උනන්දුවෙන් කටයුතු කළ යුතු ය. වෙනත් අයට ඥාතීන්ට උපකාර කළත් ඒ අයගෙන් තමාට උපකාර ලබා ගැනීම අසීරු වේ. ආත්ම ගෞරවයෙන් කටයුතු කළ හැක. සඳු දශා ගත කරන අයටද සුබයි. ඉගෙන ගන්නා අයගේ එම කටයුතු දියුණු වේ. කරන කියන කටයුතු දියුණු වේ. ලැබීම් ද ඇතිවේ. මංගල යෝග ද උදාවේ. රවි දශා ගත කරන අය ඉවසීමෙන් කටයුතු කළ යුතු ය. ගින්නෙන් විදුලියෙන් පරිස්සම් විය යුතු ය. විරුද්ධවාදීකම්වලට මුහුණ පෑමට සිදුවේ. රාහු දශා ගත කරන අයටත් සුබ අඩුවේ. හිසේ හෝ ඇස්වල පීඩා ඇති විය හැක. වියදම් වැඩිවේ. කේතු දශා ගත කරන අයටත් එසේය. සුබ නැත. සුවඳැල් කෙසෙල් පැළයක් සිටුවා සාත්තු කරන්න.

 

තුලා

 

හිමිකම් ලැබේ

බක් මහ උදාවේ නව වසරේ ආරම්භයේ දී ලග්නාධිපති ස්වක්ෂේත්‍රබලයෙන් යුතුව අට වැන්නේ ගමන් කරන අතර කේතු ලග්නයේ සඳු හතරේ, සෙනසුරු පහේ, ගුරු හය වැන්නේ රවි බුධ රාහු හත් වැන්නේ සහ කුජ නව වැන්නේ ද ගමන් කරයි. යෝග කාරක සෙනසුරු පහේ ගමන් කිරීම සුබයි. කරදර බාධා ගැන අවදානයෙන් සිටින නිසා ඒවා මග හරවා ගත හැක. හිමිකම් අයිතිවාසිකම් ලැබේ. ප්‍රතිපත්ති පූජාවටද යොමු වේ. නවීන දේපළවලට අවධානය යොමු වේ. කුජ දශා ගත කරන අයට මංගල යෝග ද උදාවේ. මිල මුදල් ලැබීම් ද ඇතිවේ. සාධාරණ ලෙස ඒවා ලබාගනී. අප්‍රේල් 22 ගුරු හත්වැන්නට පැමිණෙයි. ගුරු දසා ගත කරන අය විශ්වාසය කඩ නොකර කටයුතු කරන නිසා සමාජ ගෞරවයට ලක්වේ. හවුලේ කරන කටයුතුවලින් ලාබ ප්‍රයෝජන ලැබිය හැක. වගකීම් සහිතව කටයුතු කරයි. සෙනසුරු දශා ගත කරන අයටද වරදක් නැත. සුබපල ලැබේ. නිවැරැදිව තම කටයුතු කිරීමට උනන්දු වේ. ස්ථිර අදහස් හා ප්‍රතිපත්තිවලින් යුක්ත වේ. බුධ දශා කරන අයට ද සුබයි. ඉගෙනීමේ යෙදෙන අයගේ එම කටයුතු දියුණු වේ. අන් අයගේ අධ්‍යාපන ශාස්ත්‍රීය අංශවල කටයුතු ද දියුණු වේ. මොනයම් හෝ ලැබීම් ද ඇති වේ. ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු ය. කලබලවීමෙන් වැඩ කටයුතු අවුල් විය හැක. හිසේ අමාරු නහරගත රෝග පීඩා යෙදිය හැක. සඳු දශා ගත කරන අයගේ රැකියා අංශ දියුණු වේ. රැකියා ලැබීම් ද ඇතිවේ. උරුම හිමිකම් මෙන්ම ගේ දොර වාසස්ථානද ලැබේ. ප්‍රසිද්ධිය ලැබිය හැක. රවි, රාහු දශා ගත කරන අයට අර්ශස් වැනි උෂ්ණ රෝග පීඩා යෙදිය හැක. හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. තම මතයට අනුව කටයුතු කරන අතර ලෝභකම් ඇතිවේ. කේතු දශා ගත කරන අයගේ ඥාන ශක්තිය යහපත් නම් උදාසීන ගති ද ඇතිවේ. රහස් කටයුතුවලට ද දක්ෂ වේ.

කුම්භ

 

සතුට පී‍්‍රතිය

නව වසර ආරම්භයේදී ලග්නාධිපති සෙනසුරු සස යෝගය උදාකර ලග්නයේ ම ගමන් කරන අතර ගුරු දෙකේ රවි බුධ, රාහු තුනේ, සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව හතරේ ද කුජ පහේ ද කේතු නවයේ සහ සඳු දොළොස්වැන්නේ ද ගමන් කරයි. උපතේ දී සඳු ලග්නයේ කුම්භ ලග්න ජන්ම ඒරාෂ්ටකද පවතී. එහෙත් ඔරොත්තු දෙන ශක්තියෙන් යුක්ත වේ. උසස් අදහස්වලින් යුතුව කෙලින් වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ඇතිවේ. සමාජ ගෞරවයට ලක්වේ. අප්‍රේල් 22 ගුරු තුන්වැන්නට පැමිණෙයි. තුන්වැන්නට ගුරු අසුබ වේ. එනිසා ගුරු දශා ගත කරන අයට තරමක් සුබ අඩුය. උෂ්ණ රෝග පීඩා ඇති විය හැක. ධනය සහ උරුම හිමිකම් ලැබීමට ඉඩ ඇතත් ඒවායේ පල ප්‍රයෝජන අඩුවේ. රෝග පීඩා නිසා කෑම බීම අගුණ වේ. කුජ දශා ගත කරන අයගේ රැකියා දියුණුව ඇති කරයි. රැකියාවෙන් සතුට පී‍්‍රතියද උදාවේ. ඉගෙන ගන්නා අය ඉගෙනීමට උනන්දුවිය යුතු ය. බඩේ පපුවේ උෂ්ණ රෝග පීඩා යෙදිය හැක. සිකුරු දශා ගත කරන අයට ඉතා සුබයි. ඉගෙන ගන්නා අයටද සුබදායක වේ. කලා ශිල්පීන්ගේ එම අංශද දියුණු වේ. යාන වාහන ලැබීම්ද ඇතිවේ. බුධ දශා ගත කරන අයටද වරදක් නැත. ඉගෙනීම්ද දියුණුවේ. අවදානම් වැඩවලින් අපහසුතාවයන්ට පත් විය හැක. කන්වල හෝ අත්වල අමාරු ඇති විය හැක. සඳු දශා ගත කරන අයට ස්ථානමාරු පදිංචිය වෙනස්වීම් ඇති විය හැක. සමාජ සේවා කටයුතුවල නිරතවීමට ද සිදු විය හැක. රවි දශා ගත කරන අය බිය සැක නැතිව කටයුතු කිරීමට ඉදිරිපත් වෙයි. සංවිධාන ශක්තිය ඇති වී කීර්තිය ප්‍රසිද්ධිය ද හිමිවේ. ගමන් බිමන් යෙදේ. ඉගෙන ගන්නා අයටද යහපත් වේ. නිලතල ලැබේ. හදිසි තුවාල පිඩා යෙදීමටද ඉඩ තිබේ. රාහු දශා ගත කරන අයට ද රවිට කී පල ලැබේ. උෂ්ණ රෝග පීඩා යෙදිය හැක. බලවත් දෝෂ නොවේ. කේතු දශා ගත කරන අයට දැනුමේ මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබීමට ඉඩ තිබේ.

 

ධනු

 

 

සිතුම් පැතුම් ඉටුවේ

 

නව වසර ආරම්භයේදී ලග්නාධිපති ගුරු ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව හතර වැන්නේ කේන්ද්‍රගතව ගමන් කරන අතර සඳු දෙකේ, සෙනසුරු තුනේ, රවි, බුධ, රාහු පස්වැන්නේ සිකුරු හය වැන්නේ කුජ හත් වැන්නේ සහ කේතු අයස්ථානයේද ගමන් කරයි. අප්‍රේල් 22 ගුරු පස්වැන්නට පැමිණෙයි. එවිට ගුරු ත්‍රිකෝණ බලයෙන් යුතුය. ඕනෑම අමාරු දෙයක් වුවත් කිරීමට දක්ෂතාවය ඇති වේ. ගමන් බිමන් යෙදේ. මුදල් යොදවා කරන ව්‍යාපාර කටයුතුවලද සුබයි. ගුරුගෙන් යහපත සැලැසේ. සෙනසුරු දශා ගත කරන අයට ද එතරම් වරදක් නැත. සිතුම් පැතුම් සාර්ථක වේ. කීර්තිය ප්‍රසිද්ධිය ලැබේ. කුජ දශා ගත කරන අයටද සුබයි. උපායශීලීව කටයුතු කළ හැක. දැනුම බුද්ධිය වර්ධනය වේ. උෂ්ණ රෝග පීඩාද යෙදිය හැක. සිකුරු දශා ගත කරන අයට මධ්‍යස්ථ පල ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබීමට ඉඩ ඇත. බුධ දශා ගත කරන අයට ද සුබදායක වේ. මංගල යෝග ද උදාවිය හැක. රැකියාවලට සුබදායක වේ. කලා සාහිත්‍ය අංශ පොත්පත් ආශි‍්‍රත කටයුතු දියුණු වේ. සඳු දශා ගත කරන අයට තරමක් සුබවාදී සෙම් දෝෂ පීඩා ඇති වේ. ජලයෙන් අගුණ ගෙනදිය හැක. ඇස්වල පිඩාද ඇති විය හැක. ආදායම් ලැබීමක් වියදම් වීමත් එකලෙස ඇති වේ. රවි දශා ගත කරන අයට සුබදායක වේ. ඉදිරියට යාමේ බලය ශක්තිය ඇති වේ. උසස් සිතුවිලි ඇති වේ. ඉගෙන ගන්නා අයගේ එම කටයුතු ඉතා සාර්ථක වේ. රැකියා තනතුරුවල උසස්වීම් ආදිය ඇති විය හැක. රාහු දශා ගත කරන අයට සමපල දායක වේ. අමාරුවෙන් ඉගෙනීමේ කටයුතු දියුණු කරගත හැක. කේතු දශා ගත කරන අයට ගේ දොර ඉඩ කඩම් ලැබේ.

 

වෘශ්චික

 

ඉඩ කඩම් ලාභ

ලග්නාධිපති කුජ අටවැන්නේ සිටින අතර සඳු තුන් වැන්නේ සෙනසුරු හතරේ ගුරු පහේ රවි, බුධ, රාහු හයේ සිකුරු හත්වැන්නේ කේතු දොළොස්වැන්නේ ද ගමන් කරමින් අලුත් අවුරුද්ද ආරම්භ වේ. අප්‍රේල් 22 ගුරු හය වැන්නටද පිවිසෙයි. කුජ දශා ගත කරන අයට සුබ අසුබ පල දෙකම ලැබේ. නීතිගරුකව කටයුතු කරන අතර සහෝදරාදීන්ට අපල යෙදීමටද ඉඩ තිබේ. අමනාපකම් ඇති විය හැක. වැටීම් තැළීම් සමහරවිට නඩු හබ යෙදීමටත් ඉඩ තිබේ. ගුරු දශා ගත කරන අයට උෂ්ණ රෝග පීඩා ද යෙදිය හැක. ඇස්වල පීඩාද යෙදිය හැක. සතුරු කරදර නිසා ධන හානි යෙදිය හැක. බුද්ධිමත් ලෙස සිතා බලා කටයුතු කළ යුතු ය. කතා බස් කළ යුතු ය. දරුවන් නිසා ධනය වියදම් වීමට ද ඉඩ තිබේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමට බාධා ඇති වේ. සෙනසුරු දශා ගත කරන අයගේ උපතේ දී සඳු හතරේ සිටියේ නම් ජන්ම ඒරාෂ්ටකය පවතී. ආත්ම ගෞරවයෙන් යුතුව කටයුතු කළ හැක. ඉඩ කඩම් හිමිකම් ලාබ ලැබෙයි. පපුවේ රෝග පීඩා යෙදිය හැක. සිකුරු දශා ගත කරන අයට මංගල යෝග උදාවේ. උසස් තත්ත්වයේ විවාහයක් සිදුවිය හැක. හවුල් ව්‍යාපාරවලට සුබ අසුබ ඵල දෙකම ලැබේ. උරුම හිමිකම් ලැබේ. බුධ දශා ගත කරන අයට මහන්සියේ තරමට ප්‍රතිඵල යහපත් නොවීමට ඉඩ තිබේ. චිත්ත පීඩා ද ඇති විය හැක. උදරගත රෝග පීඩා යෙදිය හැක. අවදානම් වැඩවලින් කරදර ඇති විය හැක. ලැබීම් ද ඇති වේ. සඳු දශා ගත කරන අයටද වරදක් නැත. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම්වලට සුබයි. ගමන් බිමන් යෙදෙන අතර උරුම හිමිකම් ලැබීම් ද ඇති වේ. රවි දශා ගත කරන අයට සතුරු කරදර මර්දනය කරගත හැක. ඔරොත්තු දෙන ශක්තිය ඇතිවේ. රෝග පීඩා අඩුවේ. බිය සැක නැතිව කටයුතු කළ හැක. රැකියාවලට යම් බාධක යෙදිය හැක. යුක්තියට ගරු කරයි. රාහු දශා ගත කරන අයටද සමාන පල ලැබේ. ස්ත්‍රීන්ට ප්‍රසූත දෝෂ යෙදිය හැක. රහස් වැඩවලට දක්ෂතා ඇති වේ. කේතු දශා ගත කරන අයගේ දියුණුවට බාධා වේ. උදාසීන ගති ඇති වේ.

 

 

මීන

රැකියා දියුණුව

 

ලග්නාධිපති ගුරු ලග්නයේම ගමන් කරන අතර රවි රාහු, බුධ දෙවැන්නේ ද සිකුරු තුන් වැන්නේත් කුජ හතරේ, ද යෙදෙයි. සඳු එකොළොස්වැන්නේ ද සෙනසුරා දොළොස් වැන්නේ ද, ගමන් කරයි. ගුරු අප්‍රේල් 22 දෙවැන්නට පැමිණෙයි. ගුරු දශා ගත කරන අයගේ ධනය දේපළ දියුණු වේ. ස්වාධීනව කටයුතු කළ හැක. කරන කියන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. රැකියා අංශ ද දියුණුවේ. ඉගෙනුම් කටයුතුවලට සුබයි. කුජ දශා ගත කරන අයට ද සුබයි. ඉගෙන ගන්නා අයට සහජ දක්ෂතා ඇතිවේ. උරුම හිමිකම් ලැබිය හැක. සිකුරු දශා ගත කරන කලාකරුවන්ට එකී අංශවලින් ප්‍රසිද්ධිය ලැබිය හැක. බුධ දශා ගත කරන අයට මංගල යෝග උදාවේ. සෑම තැනකදීම තම වාසියට කටයුතු කර ගැනීමට හැකියාව ඇති වේ. ඉගෙනීමේ යෙදී සිටින අයට ද යහපත් වේ. ඉගෙනීම දියුණු කරගත හැක. උරුම හිමිකම් ලැබේ. දත්වල අමාරු උගුරේ ආබාධ ඇති විය හැක. සඳු දශා ගත කරන අයට පොළොව සම්බන්ධ කටයුතුවලින් දියුණුව ඇතිවේ. උරුම හිමිකම් ද ලැබිය හැක. රැකියා ව්‍යාපාර හේතු කොට රාජ්‍ය සබඳතා ඇතිවිය හැක. ඉගෙනීම්වල නියුතු අයට තරමක් බාධා යෙදිය හැක. රවි දශා ඇති අය ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. නිදහස පතා සටන් කිරීමට යාමෙන් අපහසුතාවයන්ට පත්වීමට ඉඩ කඩ තිබේ. සමාජයේ කැපී පෙනීම ඇතිවේ. හිසේ උෂ්ණ රෝග පීඩා ඇති විය හැක. වියදම් වැඩිවේ. ශනි දශාගත කරන අයට බලාපොරොත්තු නොවූ වියදම් ඇතිවීමට ඉඩ තිබේ. නිවැරැදි ලෙස කටයුතු කිරීමට හැකිවේ. කකුල්වල වාත වේදනා ඇතිවිය හැක. පිටස්තර අයගෙන් උපකාර ලැබේ. රාහු දශා ගත කරන අයටද කරදර බාධක අබිබවා කටයුතු කළ හැක. බලාපොරොත්තු සාර්ථක කරගත හැක. ඉගෙනීම්වලට බාධා වේ. යුග දිවියට බාධාවේ. කේතු දශා ගත කරන අයට දැනුමේ මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබෙයි. ලේ විෂවීමේ රෝග යෙදිය හැක. සාධාරණ ලෙස කටයුතු කරයි.

 

 

මකර

 

නව නිර්මාණ

2023 අලුත් අවුරුදු ආරම්භයේ දී ලග්නාධිපති සෙනසුරු ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව දෙවැන්නේ ගමන් කරන අතර, සඳු ලග්නයේ ද ගුරු තුන්වැන්නේ, රවි, බුධ, රාහු හතර වැන්නේ ද, සිකුරු පස් වැන්නේත්, කුජ හයේ, කේතු දහයේ ද ගමන් කරයි. ලග්න ඒරාෂ්ටකයේ අවසාන කොටස එතරම් අයහපත් නැත. ස්ථිර ප්‍රතිපත්තිවලින් යුතුවන අතර ආග්ම ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කළ හැක. ඉගෙන ගන්නා අයට බාධක නැත. කරන කියන කටයුතුවලද දියුණුව ඇති වේ. අප්‍රේල් 22 ගුරු හතර වැන්නට පැමිණෙයි. ගුරු දශා ගත කරන අයගේ ගෙදර දොර දියුණුව ඇති වේ. ඉගෙන ගන්නා අයට ද යහපත් වේ. ඉඩකඩම් සම්බන්ධ කටයුතු වගා ව්‍යාපාර කරන අයගේ එම කටයුතු ද දියුණු වේ. පලදීම යහපත් වේ. කුජ දශා ගත කරන අයද උපායෙන් යුතුව තම කටයුතු කරගෙන යාමට හැකි වේ. කරන කියන කටයුතු රැකියා ආදියේ දියුණුව තරමක් අඩු විය හැක. යුග දිවියට බාධා විය හැක. කරදර බාධා මැද දියුණුව ඇති වේ. සිකුරු දශාගත කරන අයට සුබදායක වේ. කලා කටයුතුවල නියුතු අයට ද යහපත් නව නිර්මාණ බිහි කළ හැක. ව්‍යාපාර රැකියා කටයුතු ද දියුණු වේ. බුධ දශා ගත කරන අයට ද සුබයි. උනන්දුවෙන් කටයුතු කළ හැක. අධ්‍යාපන ශාස්තී‍්‍රය අංශ ද දියුණු වේ. ගමන් බිමන් ස්ථාන මාරු යෙදිය හැක. ඉඩ කඩම් සම්බන්ධ අවුල් වියවුල් ඇති විය හැක. සඳු දශා ගත කරන අයට මංගල යෝග උදා වේ. ඉගෙන ගන්නා අයටද සුබදායක වේ. සමාජයේ ඉහළින් කටයුතු කිරීමට හැකියාව ඇති වේ. රවි දශා ගත කරන අයට පපුවේ උෂ්ණ රෝග පීඩා යෙදිය හැක. ඉඩ කඩම් සම්බන්ධ ආරාවුල් යෙදිය හැක. ස්ථානමාරු, පදිංචිය වෙනස් වීම්ද යෙදිය හැක.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.