රජුන් තනන හර්ෂා, සරලා, විමලා යෝග

නොවැම්බර් 29, 2024

ඡ්‍යොතිෂයෙහි පරාශර මහා ඍෂිවරයා මෙන්ම ඉන්පසුව බිහි වූ මහා පඬිවරු අවධාරණය කොට දක්වා ඇති විශේෂ යෝගාවලියක් මෙහිදී මාතෘකාව කර ගනිමු.

සාමාන්‍ය ඡ්‍යොතිෂ නිගමනය නම් කේන්දරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 4 එනම්, 1, 4, 7, 10 හා ප්‍රධාන ත්‍රිකෝණස්ථාන එනම්, 5, 9 යන භාවයෙන් විශිෂ්ටම ප්‍රතිඵල ගෙන දෙති යන්නය. 1, 4, 7, 10 යන ස්ථාන උපතක බලය මූර්තිමත් කරන්නේය. 5, 9 උත්පත්ති බලය පෝෂණය කරන්නේ ය. 5න් හා 9න් ධනය පිළිබඳව ප්‍රකාශ කරන බව බොහෝ අය නොදන්නවා විය හැකිය.

“පංචමහා තවමං චෛව

විශේෂං ධන මුඛ්‍යතී”

යනුවෙන් එය දැක්වේ. මේ අනුව ධනස්ථානය වන 2ටත් අයස්ථානය වන 11ටත් නැති වගකීමක් ධනය සම්බන්ධයෙන් 5 හා 9ට ඇත.

“චතුර්තං දශමං චෛව

විශේෂං ශුඛ මුච්‍යතී”

චතුර්තං යනු 4යි. දශමං යනු 10යයි. මේ ස්ථාන 2න් සුඛය පෙන්වයි. ගේ දොර ඉඩකඩම් යාන වාහන වස්තු සම්පත්, කෑම බීම, ඉඳුම් හිටුම් ආදී අනේක විධ සුව පහසුකම් 4න් හා 10න් ප්‍රකාශ වේ. මෙහිදී ලග්නය හා 7 ගැන අමුතුවෙන් කිව යුතු නැත.

මුළු කේන්දරයේම බර කරට ගනුයේ ලග්නයෙනි. 7 ලග්නයට කෙළින් ඇති භාවයයි. 7 විවාහය ගැන නිවේදනය කරන්නා සේම මුළු මහත් ජීවිතයෙහි ප්‍රධාන සතුට සමබරතාවය හා අන්‍යයන් සමඟ සබඳතා පැවැත්වීම, සමාජගත වීම ඒ තුළින් නියෝජනය කරන්නේ ය. මේ අනුව 1, 4, 7, 10, 5, 9, 2, 11 කේන්දරයක ඉතාම වටිනා භාව වේ. එනම්, සාධකයෝ වෙති. 2, 11 ධනස්ථාන නිසා ඒවාද පිළිගත් භාවයි. ලග්නය පෝෂණය කරන්නේ ලග්නයෙන් දෙකෙනි. ඒ ධනස්ථානයයි. 10 පෝෂණය කරන්නේ 10න් 2 නි. ඒ අයස්ථානයයි. මේ ආකාරයෙන් සමස්තයක් ලෙස 1, 4, 7, 10, 5, 9, 2, 11 සාධනීය භාවයෙන් වෙති. කේන්දරයේ දුෂ්ට, කෂ්ට භාවයන් හෙවත් ත්‍රිකස්ථාන ලෙස අනිටු ප්‍රතිඵල ගෙන දෙන භාවයන් ලෙස 6, 8, 12 ස්ථාන සැලැකේ.

6 සතුරු කරදර, ලෙඩ රෝග, බාධා, පීඩා, නියෝජනය කරන භාවයයි. 8 වැන්න මරණය සම්බන්ධ භාවයයි. 12 වියහියදම්, ධනහානි හා හිරේවිලංගුවේ වැටීම වැනි අයහපත් ප්‍රතිඵල නියෝජනය කරන භාවයයි. මේ නිසාම මේ ස්ථාන දුෂ්ට ස්ථාන ලෙස හැඳින්වේ. භාවිතයට මෙන්ම ලෝකයට සාපේක්ෂව පොදු න්‍යාය ධර්මතාවයක් ඇත. ඒ මෙයයි.

1. ධන + ධන = ධන වේ.

2. ධන + ඍණ = ඍණ වේ.

3. ඍණ + ධන = ඍණ වේ

4. ඍණ + ඍණ = ධන වේ. යන්නයි.

මෙහිදී දුෂ්ට, කෂ්ට භාව හෙවත් ත්‍රිකස්ථාන ලෙස හඳුන්වන මේ ඍණ භාවාධිපතියෝ ඍණ භාවයක නම් එය මහා ධනාත්මක ප්‍රතිඵල ගෙන දෙන කාරණයක් ලෙස මහා ඍෂි පරාශර හඳුන්වනවා සේම ඊටත් වඩා ඉහළින් මෙය සඳහන් කොට ඇත්තේ උත්තර කාලාමෘතය ලියූ කාලිදාස පඬිවරයාය. කාලිදාස පඬිවරයා මෙය සවිස්තරාත්මකව දක්වයි.

1. 6 අධිපතියා 6, 8, 12 හේ සිටීනම් එය හර්ෂ යෝගයයි.

2. 8 අධිපතියා 8, 6, 12 සිටී නම් ඒ සරලා යෝගයයි.

3. 12 අධිපතියා 12, 6, 8 සිටී නම් ඒ විමල යෝගයයි. මේ තිදෙනාම එකට එක් වී සිටීම හෝ අන්‍යොන්‍ය වශයෙන් වීම ස්ථාන මාරු කරගෙන සිටීම යෙදී ඇත්නම් එය මේ යෝග තුනෙන්ම උත්පාද වී ඇති විපරිත රාජ යෝගය වේ. මේ විපරිත රාජයෝගයෙන් උපන් අය දේශපාලනයේ නියුතු නම් රාජ්‍ය බලය ලබයි. ව්‍යාපාරවල නියුතු නම් ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයෝ වෙති. කිසියම් විදියකින් ලේඛන, ප්‍රකාශන, දේශන හෝ තිබීනම් ශාස්ත්‍රිය අංශයක නියුතු නම් ඒ අංශයෙහි ප්‍රවීණත්වය ලබයි. තමා නියුතු වනුයේ කුමන අංශයක ද ඒ අංශයෙන් නමක් නැතත් ප්‍රසිද්ධියක් ගෞරවයක් ලබා ඉහළ මට්ටමට පත්වේ. එම ක්ෂේත්‍රයේ අනෙක් අයට වඩා ඉහළින් ගේ දොර, ඉඩකඩම්, යානවාහන, වස්තු සම්පත් ඇති කිසියම් වටිනා තැනක් හිමිකර ගන්නා අයෙක් බවට පත්වන්නේ ය.

උදාහරණයක් වශයෙන් ඔහු දේශපාලනඥයකු නම් අගමැති, ජනාධිපති ආදී තනතුරු ලැබීමට එය මහත් බලයෙකි. ඔහු ව්‍යාපාරිකයකු නම් දසත නම රැකි ව්‍යාපාරිකයෙකි. ඔහු ලේඛකයෙක් නම් කීර්තිමත් ලේඛකයෙකි. ඔහු කලාකරුවෙකු නම් ප්‍රබුද්ධ කීර්තිමත් කලාකරුවෙකි. අවම වශයෙන් ගත් කල ඔහු කරන්නේ කුමන රැකියා ක්ෂේත්‍රයක ද එහි ඔහුට නමක් ඇත. මෙය ඉංජිනේරුවෙක්, ආරක්ෂක සේවා අංශයේ නිලධාරීන්, මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමහර විට ඡ්‍යොතිෂඥයකු වුවත් එම ක්ෂේත්‍රයේ නමක් හදා ගත් ඉහළ මට්ටමේ කෙනෙකු වීමට මේ යෝගය බලපානු ඇත.

කේන්දරයෙහි දුෂ්ට හා අයහපත් ස්ථාන ලෙස සලකන 6 අධිපතියා, 8 අධිපතියා, 12 අධිපතියා එම ස්ථාන තුනේ එකක මිස වෙන කිසිදු ස්ථානයක සිටිය නොහැකිය. ඔවුන් තමාගේම රාශිවල සිටීමෙන් බලය ස්ථාපිත වේ. වෙනත් රාශියක සිටියත් එය මේ ස්ථාන 3න් එකක්ම විය යුතු ය. ඒ නිසා 6 අධිපතියා කරන කොට ගෙන හර්ෂ යෝගය ද (සතුට) 8 අධිපතියා 8 ම හෝ අනෙක් භාව දෙකෙන් කුමන හෝ තැනක සිටින්නේ නම් එය සරලා යෝගයද සදනු ලබයි. සරලා යනු මහා දුක් දොම්නස්වලින් තොරව සරල ආකාරයෙන් ජීවිතය ගත කිරීමේ හැකියාව ගෙන දෙන යෝගයකි.

12 අධිපති 12 ම හෝ 6, 8 ස්ථානවල සිටී නම් එය විමල යෝගයයි. මල යනු අපිරිසුදු දුක් දොම්නස් පීඩා යන අයහපත් පැත්තයි. විමල යනු එම දෝෂයන්ගෙන් මුක්ත නැතහොත් එම පීඩාවන්ගෙන් ඉවත් වූ යන අර්ථයයි. මේ නිසා හර්ෂා, සරලා, විමලා යෝග එකක් තිබුණත් ඉන් ප්‍රතිඵල ලැබේ. 2 ක් නම්, වඩාත් වැඩි ප්‍රතිඵල හිමිය. තුනම යෙදුනේ නම් හර්ෂා, සරලා, විමලා යෝග තුනම ඉස්මතුවීම නිසා විපරීත රාජ යෝගය ඒ අනුවම යෙදේ. මෙවැන්නෝ උපන් තත්ත්වයට වඩා කීප ගුණයකින් ඉහළට යන සමහර විට දුක් දොම්නස් කරදර පීඩා විඳගෙන ජයග්‍රහණය ලබන කවර හෝ හානියක්, පීඩාවක් නැතහොත් ගැටලුවක් එසේත් නැතහොත් මහා හානිකර සිද්ධියක් තමාගේ යහපතට පෙරළීමෙන් ලබන ඉහළ මට්ටමේ තැනක්, ජයග්‍රහණයක් ලබන්නෙක් විය හැකිය. මේ යෝගවලට අදාළ සාමාන්‍ය ස්වභාවය නම් මෙකී යෝග ප්‍රතිඵල ලබන්නා සේ කිසියම් පීඩාවකින්, පාඩුවකින් හෝ අර්බුදයකින් හෝ අගහිඟයකින් පසුව සුවිශේෂ ජයග්‍රහණයක් ලබන්නේය. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කේන්දරයේ 6 අධිපති 6 වැන්නේ අට අධිපති 12 වැන්නේද සිටීමෙන් හර්ෂා, විමලා යෝග යෙදීමෙන් එතුමා ලංකාවේ ඉහළම තනතුර දරන්නා වීමට අවශ්‍ය මාවත සැකසුණි. ඒ තමාට වඩා අඩු වයසින් සිටි ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ අභාවයෙන් පසු දේශපාලන අර්බුද මධ්‍යයේ ඉහළට යෑමේ අවස්ථාවක් ලබමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති තනතුරට පිවිසුණේ නොයෙකුත් දුක් කම්කටොලු පීඩාවන් මැඬ ගනිමිනි. පියාගේ මරණය, විශේෂයෙන්ම සැමියා වූ විජය කුමාරතුංගයන්ගේ මරණය වැනි දුක් දොම්නස්වලට මුහුණ දී ඉන්පසු තමාට බලය ලැබීමේ මාවතකට එක්වෙමිනි.

එතුමියගේ 8 අධිපති 12 වැන්නේ ද 12 අධිපතිද 12 වැන්නේ ද වෙමින් සරලා විමලා යෝගයන් යෙදුණි. මේ අනුව බලන කල හැමවිටම යම් යම් විශේෂ නමක්, තැනක් ලබාගත් අයට මෙවැනි යෝග නිසා එකී මාවත විවෘත වූ බව කිව යුතු ය.

මේ ආකාරයෙන් කවරකුගේ හෝ මේ යෝගයක් යෙදී ඇත්නම් හෝ විපරිත රාජයෝගයක් යෙදී ඇත්නම් එහි ආශිංෂණය ලබා ගැනීම සඳහා තවත් විශේෂත්වයක් තිබිය යුතු ය. එම ජන්මියාගේ කේන්දරයේ බලය තහවුරු කරන තවත් පිහිටීමක් තිබිය යුතුය. පංච මහා පුරුෂ යෝගයක් ලග්නාධිපති බලවත් වීම, ත්‍රිකෝණ යෝගයක්, ධර්ම කර්මාධිපති යෝගයක් වැනි දෙයක් තිබේ නම් මේ විපරිත රාජයෝගයට ඔරොත්තු දෙන බලයක් ගොඩනඟයි. විපරිත රාජ යෝගයේ ප්‍රතිඵල ගෙන දීමට කේන්දරය ශක්තිමත් විය යුතුය.

උත්පත්ති කේන්දරය බලවත් නම් විපරීත රාජයෝගයේ ප්‍රතිඵලය ඉහළින්ම ලැබේ. ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතුන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඉහළම උප්පත්ති බලයකින් සිටිය දී මේ යෝගයත් යෙදුණු නිසා ඔවුන් බලවත්, ඉහළම ඡන්ද ප්‍රතිඵල ලැබූ ජනපතිවරු විය.

මෙවැනි විපරීත රාජයෝග ඇති අය ඔවුන්ට ඊශ්වර, කතරගම වැනි දෙවියන්ට පුද පූජා පැවැත්වීම විශේෂයෙන්ම සිද්ධ, සූනියම් වැනි දෙවිවරුන්ට පූජා පැවැත්වීම තුළින් ආරක්ෂාව, ජය ලබා ගැනීමට හැකි වේ.

සූනියම් දෙවියන් උදෙසා මේ ශ්ලෝකය කියවා පින්දීම යහපත් වේ.

සිවමස්තු නමෝ රාමඞ
කන්ද සේනාධි සමාගමඞ
වඩිඟ තන්ත්‍ර මණීඛණ්ඨඞ
ඔඩ්ඩි මංගල නමෝ නමඞ

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.