විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනෙන භද්‍ර යෝගය

ඔක්තෝබර් 18, 2024

ග්‍රහයන් අතර දැනුම, බුද්ධිය, ඥානය, ශිල්පීය අවබෝධය නියෝජනය කරන බුධධ ගග‍්‍ර්‍රහහයයා හඳුන්වනුයේ සෞම්‍ය වශයෙනි. “සෞම්‍යාං සෞම්‍ය ගුණෝපේතං” යනුවෙන් බුධහු ගැන දැක්වේ. සෞම්‍ය ගුණයෙන් යුක්ත යන අර්ථයෙන් ද බුධහු සෞම්‍ය ලෙස හඳුන්වයි.

ශරීරයට සම්බන්ධව නම් චර්මය නියෝජනය කරන බුධහු වාග් ශක්තිය, ප්‍රබන්ධය, කාව්‍ය නිර්මාණය, ශිල්පීය කුසලතාව මෙන්ම ගණිත මිනිත ඥානය ද වෙළෙහෙළඳාම ද සිනාමුසු මුහුණින් යුක්තව සිටීම, අන්‍යයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි වාග් විලාසය නියෝජනය කරන්නා ලෙස ද සඳහන් වේ. බුධහු බලවත් අය නිරන්තරයෙන්ම සතුටු සිනහවකින් යුක්ත වනු ඇත.

භද්‍ර යෝගය

බුධගෙන් යෙදෙන අතිශයින් බලවත් යෝගයක් නම් භද්‍රයෝගයයි. මෙය පංචමහා පුරුෂ යෝගවලින් එකකි. බුධහු මිථුන, කන්‍යා ආදී රාශිවලින් එකක් වී ලග්නය 4, 7, 10 ආදී ස්ථානවල යෙදී ඇත්නම් මේ භද්‍ර යෝගය යෙදේ.

මේ යෝගය ඇති ජන්මියා උසස් වූ ඥාන සම්භාරයකින් හෙබි, දැනුම, බුද්ධිය, ඥානය මුල්කර කටයුතු කරයි. උගත්කම පාදක කරගත් රැකියාවකම නියුක්ත, පොතපත ලිපි ලේඛන, ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනය යනාදී කුසලතාවලින් යුතු ඉහළ මට්ටමේ දැනුම් සම්භාරයක් ඇති අයකුවන බව පොතපතේ දැක්වේ.

බුධ මෙසේ භද්‍ර යෝගයෙන් යුක්ත නම් හිමිකරන ප්‍රතිඵල ජාතක රත්නාකරය නැමැති ඡ්‍යොතිෂ ග්‍රන්ථයෙහි මෙසේ දැක්වේ.

බඳයෙහි උපනුන් බඹයක් උසවෙති
 දිවියෙකු බඳු මුව ගජ ගමනය වෙති
සපිරුණ උරතල කලවා මහතැති
උඩඟුවෙ නිතරම බඳුනට සලකති

විෂ්ණු දේව පූජාව

බුධහු කේන්ද්‍රයෙහි පිහිටා ඇති තත්ත්වය මත ඔහුගෙන් බලවත් සේ ප්‍රතිඵල ලබා ගැනීමට නම් විෂ්ණු දේව පූජාව පැවැත්වීම ඉතාම වැදගත් වේ. බුධට කාරක දෙවියන් වන්නේ විෂ්ණුය.

නමාමි විෂ්ණු දේවංතං
සර්වාරක්ෂා විධායකං
අවිඝ්නං කුර්වතාං මය්හං
සර්ව කර්යේෂු සර්වදා

විෂ්ණු දෙවියන් උදෙසා නිල්පාට මලින් පිරුණු මල් වට්ටියක් තබා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනය කර මේ ගාථාව 7 වරක් කියා ආශිර්වාදය පතන්නේ නම් බෙහෙවින් යහපති. තම අරමුණු අපේක්ෂා ඉටුවේ. ආරක්ෂාවද ලබයි. භද්‍ර යෝගය එක එල්ලේ නොයෙදෙන ලග්න කීපයක්ද ඇත. මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, කුම්භ, මීන මේ ලග්නයි. එහෙත් මේ ලග්නවල වුවත් චන්ද්‍රයා මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවල සිටිත් දී බුධ එම චන්ද්‍රයාට කේන්ද්‍ර ගත නම් චන්ද්‍ර ලග්නයෙන් හෝ එම භද්‍ර යෝගය යෙදේ. එමඟින් ද නිසි ප්‍රතිඵල ලැබෙනු ඇත.

මැණික් පැලඳීම

බුධගෙන් ලැබිය යුතු ප්‍රතිඵල වඩ වඩාත් සඵල කර ගැනීම සඳහා වෛරෝඩි ගල පැළඳීම වඩාත් ප්‍රශස්තය. එසේ නොමැති නම් පච්ච ගලක් පැළඳීමද යහපත් වේ. භද්‍රයෝගය සහිතව මෙරට ඉපදුණු විශාල පිරිසක් ඉතාමත් ඉහළ මට්ටමේ පඬිවරුන්, ශාස්ත්‍ර ධරයන් උගතුන් වී ඇත. ලංකාවේ අතිශය ඉහළ මට්ටමේ විද්වතෙක් වන මහාචාර්ය තිස්ස කාරියවසම් මැතිඳුන්ගේ කේන්ද්‍රයේ බුධ භද්‍ර යෝගය උදා කරමින් 4වැන්නේ විය.

එතුමා මිථුන ලග්නයෙන් උපන්නෙකි. අතිශය ප්‍රසිද්ධම ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයකු, කවියකු, හිටිවන කවියකු, ප්‍රසිද්ධ ලේඛකයකු වූ අභවප්‍රාප්ත පියසේන රතුවිතාන සූරීන්ගේ කේන්ද්‍රයේ ද බුධහු 4 වැන්නේ උච්චව භද්‍ර යෝගය උදාකර සිටියේය. එතුමා ද මිථුන ලග්න හිමියෙකි.

සඳුගේ පුතු

මේ හැර බුධහු සඳුගේ පුත්‍රයා ලෙසද හැඳින්වේ. ‘සොමි ශූත හෙවත් චන්ද්‍ර ජෞ වශයෙන් හඳුන්වනුයේ බුධහු ය. චන්ද්‍රයා සිතට කාරකයා වන අතර බුධ සිතුවිලිවලට කාරකයා වේ. සාමාන්‍යයෙන් බුධහු පීඩාකාරීවීම එතරම් යහපත් නැත. බුධ තමාගේ පරම හතුරා ලෙස සලකන කුජ සමඟ එක්වීම නිසා ‘මති භ්‍රමණය’ හෙවත් මස්තකය භ්‍රමණය වීම නොහොත් ඔළුව හරිහැටි ක්‍රියාත්මක ලෙස පාවිච්චි කිරීමට අපහසුවීම යන තත්ත්වයන්ට පත් වේ.

මෙනිසා බුධ - කුජ සංයෝගය ඔළුවේ අවුල් ඇති කිරීමට හේතුවකි. එය එසේ වුවත් බුධ, කුජ එකට එක් වී සිටිය දී ගුරුගේ ත්‍රිකෝණ දෘෂ්ටිය ඊට එල්ල වන්නේ නම් හෝ මේ ග්‍රහයන් දෙපොළ සමඟ ගුරු සංයෝග වන්නේ නම් ජන්මියා ශූර ඥානයකින් හෙබි ගණිත මිනිතයෙහි දක්ෂ තාක්ෂණමය විෂයයන් කෙරෙහි සුවිශේෂ හැකියාවක් දක්වයි. ඉංජිනේරු ශිල්පය, තොරතුරු තාක්ෂණය වැනි දෑ සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් ඇති අයකු විය හැකිය.

පාප පීඩිත බුධ

ඉලෙක්ට්‍රොනික්, ඉංජිනේරු වැනි ක්ෂේත්‍රයන් හි ප්‍රවීණයෝ මේ ග්‍රහ යෝගයෙන් උපදිති. කුජගෙන් බුධ ඉතාමත් පීඩා වී අසුබයන්ට පාප කර්තරී වී ඇත්නම් මානසික ඒකාග්‍රතාවයකින් යුක්තව කටයුතු කිරීමට අපහසු වනු ඇත. මේ ආකාරයෙන් බුධ ඉතා හොඳින් ඇති තරමට බෙහෙවින්ම සුබ ප්‍රතිපල ද පීඩාකාරීව ඇති තරමට අයහපත් ප්‍රතිපලයක් ද ගෙන දෙනු ඇත. බුධ සෞම්‍යශීලී ග්‍රහයෙක් වශයෙන් හඳුන්වන නිසාම 8, 12 ආදී භාවයන්ට බුධ ශුභ නැතැයි සාමාන්‍ය ඡ්‍යොතිෂඥයෝ පිළිගනියි. එය අන්ධානුකරණයෙන් යුත් මතයකි. බුධට අට ඉතාමත් ම සුබය. 12ට ද ඉතාමත්ම සුබය.

“අන්ත බුධහු සිටියොත් වැයස්ථානයේ දන්ත ගජන් සේ නිරිඳු සමානය.” මින් අදහස් කරනුයේ බුධ අන්ත හෙවත් 12 වැනි භාවයේ සිටින්නේ නම් ඇත් දළ ඇති ඇතෙක් හා සමාන රජකු සේ වන්නේ යයි. පිළිගැනීමයි. එනිසා එය විශිෂ්ටය. ලංකාවේ ජනාධිපතිධුර දැරූ තිදෙනෙකුම බුධහු 12 වැන්නේ සිටි අයයි. මීළඟට බුධ 8 වැන්නේ සිටීම දක්වා ඇත්තේ මෙසේ ය.

මන්තුට කර බුධ සිටි අටවැන්නේ
ගම්බිම් වාලුත් මුදල් ලබන්නේ
රන් රිදියෙන් ලාභය බෝවන්නේ
පුන්සඳ මෙන් ගත බබළයි උන්නේ

බුධ අට වැන්නේ සිටීම ඉහත සඳහන් සුවිශේෂ ප්‍රතිඵල ලබන්නෙකි. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලිකාවක් වන සිරිමාබෝ බණ්ඩාරනායක මැතිණියගේ බුධහු 8 වැන්නේ විය. ඉහත කී කවියෙන් කියූ සියලු ලක්ෂණ ඇයට පැවතුණි. මේ ආකාරයෙන් බුධ යහපත් ලෙස පිහිටියා නම් යහපත් ප්‍රතිපල ගෙන දෙයි.

බුධහු ලග්නයේ නම් එම බුධ දිග්බල යැයි සැලකේ. ඒ අනුව බුද්ධිය, ඥානය, ඉගෙනීම, දැනුම, ශිල්පාවබෝධය ඇති අයෙක් වීමට මෙය හේතු වේ.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

සටහන - තුෂාරි නේරංජා වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.