වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ශාන්ති කර්මයක් වූ අලුත් අවුරුද්ද
“ඇයි අපේ රටේ මිනිස්සු තවමත් ඔය යක්ෂ, භූත, දේව සංකල්ප එක්ක ඉන්නේ”?
“කොහොමද දරුවෝ එහෙමම ඉන්නා වගක් කියන්නේ”?
“නෑ ගුරුන්නාන්සේ සීයෙ අපි තවමත් ඒව අදහනවා නේ.”
“එහෙම ඇදහීමක් නොවෙයි දරුවෝ. මිනිස්සුන්ට සිද්ධ වෙන දේවල් එක්ක විශ්වාසයක් නැති වුණාම අන්තිමට දෙයියන්ඩ බුදුන්ඩ කියනවා. එහෙමත් බැරි දෙයක් නම් ඉතින් මිනිස්සු කාලි අම්මට හරි කියනවා.”
“අනුන්ගෙ අසාධාරණකම්වලට නනීතියෙන් දඬුවම් නැත්නම් කාලිට පුළුවන්ද දඬුවම් දෙන්න.”
“එහෙමම තියන්ඩ එපා දරුවෝ හරි වෙලාව ආවම උන්දැ ඒ ඒ අයට හරියන දඬුවම් දෙනවා. මේ ගෙවන්නේ ඔයාලගේ පින්”
“ගුරුන්නාන්සේ මට දැන ගන්න ඕනෑ ඔය කංකාරිවල නැද්ද මොනවත් සිංහල අවුරුද්ද ගැන..”
“ඔහ් දරුවෝ අපූරු පුරස්නයක් නෙව ඇහුවේ. උත්තතර දෙන්ඩ ටිකක් අමාරු”
“ඒකනෙ ගුරුන්නාන්සේ කීවාට ඔය සාස්තරේට ගහන්ඩ එකක් නෑ කියලා අඩු ගානේ අවුරුද්දවත් නෑ නොවැ ඕක ඇතුළේ.”
ගුරුන්නාන්සේ සේනක දිහා බැලුවේ ය. මේක පත්තරවලට එව්ව මෙව්ව ලියන්ඩ ඇන්න දැන් යමක් කමක් දිහා බරසාරෙට බලන්ඩ පුරුදු වෙලා. ඔහු ළඟ තිබූ බුලත් තට්ටුවෙන් ඒදා ගත් විටක් කාක්කණපය්යේ තිබූ සිහින් පිත්තල වංගෙඩියට දමා කීප වරක් කොටා ගත්තේ ය. එය විවර කරද්දී ආ සුවඳ සේනකගේ නැහැය පිනා ගියේ ය.
“ගුරුන්නාන්සේ.....”
“ඔව් ඔව් මං දන්නවා. ටිකක් ඕනෑ කියන්ඩ”
ඔහු ඇඟිලි තුඩුවලින් ගත් බුලත් විට ඔහුට පෑවේ ය.
“ගුරුන්නාන්සේ බුලත් කෙටුවම හරි සුවඳයි”
“ඒ සේනක දරුවෝ හොඳට කෙටුවම එනසල්, කරාබුනැටි, කරඳමුංගු අපූරුවට කළවම් වෙනව නෙවැ.”
“දැන් මක්කටෙයි මේ හදිසියේම අවුරුද්දයි කංකාරියය හා ගස්සන්ට යන්නේ?”
“මං දන්නව මං දන්නවා, ගුරුන්නාන්සේට ඒකට දෙන්න උත්තරයක් නැතුවා කියන්න.”
“එහෙමයි හිත එතකොට”
“ඔහු ඇඟිලි දෙකකින් තදකර ගත් දෙතොල් අතරින් මුදා හල බුලත් කෙළ පාර මිදුලේ කොණ රතු පැහැයෙන් සටහන් වූයේ ය.
“දරුවෝ”
“ඕන ඕක තමයි අපි හුඟක් වෙලාවට වරද්ද ගන්න තැන. අපි හිතනවා අපේ දේවල්වල හුඟාක් දේවල් නෑ කියලා. ඒකට ඉතින් හේතුත් නැතුවාම නොවෙයි. ඒ හන්දා අපි බලමුකෝ සේනක දරුවගේ පුරස්නේ.”
“අනේ නෑ ගුරුන්නාන්සේ සීයේ මං එහෙම දෙයක් කීව නොවෙයි. ගුරුන්නාන්සේලා ආ පස්සට යන්න හදනවා කියලා කට්ටිය කියන හන්දා තමයි මට එහෙම කියවුණේ.”
“දරුවෝ ඔයාට මට වඩා ආයුෂ ඇතුවා. ඉඳලා බලන්ඩ අපේ මේ සාස්තරේ ද පස්සට යන්නේ නැතුව ඔය අලුත් ලෝකෙද ගිහින් අපි කොරාපු කියාපු තැන්වල නවතින්නේ කියලා.”
සේනක දෑස් මහත් කරගෙන බලා සිටියේ ය. “ඔව් ඒකේ නැත්තකුත් නෑ නේද? ඔච්චර දියුණු තාක්ෂණේ එක්ක ඉන්නවා රොකට් හඳට යැව්ව ඉන්දියාවේ අගමැති ඊයේ පෙරේදා සේතු නගරයේ මුහුද යට ගිලිල තියෙන කෝවිලකට ගිහින් මොණර පිහාටු මිටියක් තියලා වැඳල ඇවිත් තිබුණේ. හැබෑට මිනිස්සු නෑ කීවාට හිත යටින් බයයි යක්කුන්ඩ.”
“දරුවෝ මොකද භාවනා කොරනවැයි. එහෙම නැතුව මෝදී එක්ක සවාරියක් ගියැයි.”
“හෑහ්.... ගුරුන්නාන්සේ සීයේ” ඔහුට සිටි තැනින් නැඟිට ගියේ ඉබේටමය. “කොහොමද සීයේ ඔයා ඒක කියුවේ.” ඔහු සිය දෑසින් විමතිය හැරගත නොහී අසරණව සිටියේ ය.
“ඇයි දරුවෝ ඔයා හිතන්නෙන් ඉස්සරහට ගිහින් නේද? මං නවතින්නේ පස්සට ගිහින් කීවම මට හිතුණා දරුවට ඒක ගැටලුවක් කියලා. එහෙම වුණාම අපි කරන්නේ ඒවා ඇත්තද කියලා බලන එක. ඉතින් මාත් ඔය කියන දේ ඇහුවා. එච්චරයි.”
සේනක තවත් යමක් අසන්නට නොගියේ ය. ඔහුට ගුරුන්නාන්සේගේ බලි තොවිල් පිළිබඳව ඇත්තේ සැකයකට වඩා එය පිළිගැනීමට ඇති මැළිකම නොවේදැයි සිතුණේ ය.
“හා එව්වා මෙව්වා ගියාවේ. දැන් ඔය දරුවට අපේ සාස්තරේ අවුරුදු ගැන මොනවද තියෙන්නේ කියලා නොවැ. ඇයි දරුවෝ මොකක්ද අවුරුද්ද කියන්නේ. හැබැයි ඉතින් ඔය අවුරුද්ද කියන එකත් මේ වෙනකොට අපේම දෙයක් නොවෙයි වෙලානේ ඕං ඔය හින්දුන්ගේයි, දකුණු ඉන්දියාවෙයි දේවල් කළවම් වෙලා.”
“ඕං හොඳට අහගන්ඩ මයෙ දරුවෝ. ඔය දරුවා ඇහුවෙ කවුරුවත් නෑහුව පුරස්නයක්නේ. අනික කවුරුවත් මේං මෙච්චර කාලයක් අපේ කංකරිවල අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට යමක් තියේද කියලත් නෑ නෙවැ හොයලා. ඕන් ඕක මෙහෙමයි වෙන්නේ.”
ගුරුන්නාන්සේ බුලත් කොළයක් තුන හතරට නවා මුව තුළට රිංගවද්දී සේනක අසල තිබූ පඩික්කම ඔහුගේ පුටුව අසළින් තැබුවේ ය. කපුටෙක් කරව් කරගෙන ගියේ ඒ අකාරය.
“ඕං සේනක දරුවෝ අද මෙහෙට නෑයෙක් එනවා කියලයි ඕං ඔය කපුටා කියාගෙන ගියේ.” ඔහු තමා අසල තිබූ පඩික්කම ගෙන කෙළ පහරක් මුදා හළේ සේනක දෙස බලමිනි.
“දැන් ඔය අවුරුදු චාරිත්‍ර කියන්නේ මොනවාද සේනක ළමයෝ
“ඇයි සීයේ, ගණුදෙනු කරන එක, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම වාගේ දේවල්නේ.”
“ඔව් එතකොට, නවසඳ බැලීම, ස්නානය, වැඩ ඇල්ලීම, ළිප ගිනි මෙලවීම, හිසතෙල් ගෑම, වැඩපලට යාම වාගේ චාරිත්තර එක්ක බලනකොට මොනවද අපිට පේන්නේ. ඒ ඔක්කොම පරිසරේ ඒ කියන්නේ වටාපිටාව එක්ක සම්බන්ධ වුණුදේවල් නේද? අනික මෙව්වා ඔක්කොම හිරු මුල් කරගෙන කරන වන්දනාමාන කියල ඔය දරුවට පේනවා ඇති. එතකොට අපේ සාස්තරේ. ඒකත් එහෙම පිටින්ම එකතු වෙලා තියෙන්නේ මේ වටා පිටාව ගහකොළ එක්කනේ. ඒ හන්දා අලුතින් ඔය නැකත් සාස්තරේයි මේ කංකාරියයි කියල වෙනම නැතිවුණාට දෙකම බලාගෙන යද්දි එකම දේක දෙපැත්තක් නොවැ දරුවෝ.”
අපේ සාස්තරෙන් කොරන්නේ, පැමිණිච්ච දුක් අන්තරා නැති කරල, පැමිණෙන්ට තියෙන අතෝරවලින් බේරලා, ඉන්න විදිය තවත් යහපත් කරවන එක නොවැ. ඉතින් ඔය නැකතට ඔය අවුරුදු චාරිත්‍ර කොරන්නෙත් ඒකම තමයි. හැමෝම එකම වේලාවකට එකම දෙයක් කරනවා. එතකොට ඔක්කොමල හිතන්නේ යහපත් දෙයක් කරන්නේ යහපත් දෙයක්. එහෙම වුණාම තියෙන අතුරු අන්තරා මෙත්තා ගුණෙන් නැතිවෙනවා. අපි බුදු ගුණ කියලා බලි ශාන්තියක් කොරනවා වාගේ. එතකොට පහුගිය කාලේ බිඳිච්චි හිත් යා කරගන්න පුළුවන්. ගනුදෙනුවලින්, බුලත් දීම්වලින්, එතකොට කැවිලි පිඟානක් දීලා කතා බහ කෙරිල්ලෙන්. දැන් බලන්ඩකෝ බලියක්, තොවිලයක් වෙද්දී එදා ඒ ගමම එකට එකතු වුණා නොවැ. කළමනා හොයන්ඩ, වැඩපළ කරන්ඩ, සංග්‍රහ කරන්ඩ. ඕං ඔව්වා ඉන්දියාවෙන් ආවත් අද අපි අපේ කරගෙන කරන්න ඔය හඳ බැලිල්ල, එතනින් ගියාම ගිනි මෙලවිල්ල ඔව්වා ඔක්කොම බමුණු ශාස්තරේ එක්ක බැඳිච්චා නොවැ. ඔතන තියෙන්නේ ගිනි දෙවියා පිදීමනේ. අනික අවුරුද්දට කලින් පරණ අවුරුද්දට ස්නානය කියන්නේ මොකක්ද? බමුණෝ කෝවිල් යන්ඩ කලියෙන් නා පිරිසුදු වෙලා කරාපු පේවිල්ල කරන්ඩ අපි යොදා ගත්තු දේ නොවැ. ඕන් බලන්ඩ ඔය අවුරුද්දේ සමහර චාරිත්තර වාරිත්තර අපේ නොවෙයි කියන්නෙ, කොයි ඔතන අපේ බුදුන්ට තැනක්. දැන් ඔය නොනගතේ කියල හදාගෙන ඒ වෙලේ ආගමානුකූලව ඉනන ටික නොවැ වෙන් කරල තියෙන්නේ. නැත්නම් අනිත්වා ඔක්කොම යක්කු, භූතයෝ ප්‍රේතයන්ගෙන් මිදිල දෙයියන් වැඳිල්ලක් නොවැ කරන්නේ. මේ ඔක්කොම පුරාණෙ අපේ ඇත්තෝ නොපෙනන ලොකු ලොකු දේවල්වලට වැන්දා වාගේ තමයි. සූර්යයා මුල් කරගෙන ගින්දර මුල්කරගෙන, වතුර මුල්කරගෙන, කෑම බලි පූජාවක් කරගෙන කරන්නේ. බලාන ගියාම දරුවෝ සිංහල හින්දු අවුරුද්ද කියල අද අපි කරන්නේ මේ යාග හෝම කංකාරියේ ඇදුරන්ගෙන් මිදිච්ච ගිහියන්ගේ පැත්ත.”
සේනකට සිහිපත් වූයේ අවුරුදු දා උදයේ වත්තේ ළිඳ වෙතට ගොස් ළිඳ ඇතුළට කාසි කීපයක් දමා, මිරිස් හා දෙහිගෙඩියක් දමා තුන් වරක් ළිඳට වැඳ වතු බාල්දියෙන් අදින අම්මාය. එම අම්මාගේ රුව පසුබිමින් ඔහු දුටුවේ කාල වර්ණ විසල් දේහයක් ඇති උඩුකය නිරාවරණය වූ මිනිසෙකු මහා පර්වතයක් හා ඒ අසළ ඇති දැවැන්ත ගසක වැඳ අහසට දෑත් ඔසොවා යමක් මුමුන අයුරුය.
ඒ අතරින් පොතක කියැවු වැදි මිනිසුන්ගේ කිරි කොරහ නැටීමේ රූ සටහන් ඔහුගේ මතකය පුරා මැවී ගියේ ය. එම රූප සමගම ඔහු බාලේ දී දුටු “පොර පොල්” ගැසීමේ උත්සවයේ දී තමන්ගේ පියා උඩුපිළ වී පහළ ගමේ අය යටි පිළ වී තාත්තා එවු පැසීගිය උල් හැඩති පොල් ගෙඩිය යටි පිළේ විදානේ මාමා විසින් බිඳ දැමූ ආකාර මැවුණි. නැඟිට ගිය ගුරුන්නාන්සේ කියු ශ්ලෝකයක් සමඟ ඔහු දැල් වූ හඳුන් කූරක දුම කැරකී කැරකී ඔහු සිටි දෙසට එමින් තිබුණේ ය.