සිකුරු රජවන විට තුලාවේ ලග්න දොළහට සුබ උදාවේ

නොවැම්බර් 24, 2023

 

නෛසර්ගික ශුභයෙක් වන සිකුරු ග්‍රහයා සෑම ලග්නයකටම ශුභව පිහිටි විට ශුභ ඵල ගෙන දෙන ග්‍රහයෙක් වන්නේය. මෙකී සිකුරු නොවැම්බර් මස 30 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 01.04ට තම ස්වක්ෂේත්‍ර මෙන්ම මුල ත්‍රිකෝණ බලය ඇති තුලා රැසට ගොස් පියුමකාර යෝග උදා කරන අතර, ඒ අනුව චර රාශි ලග්න වන මේෂ, කටක, තුලා, මකර යන ලග්නවලට මෙකී සිකුරු පියුමාකාර යෝගය සමඟ මාලවී නම් පංච මහා යෝගය උදා කරන්නේ ය.

එමෙන්ම මෙකී සිකුරු වෘශ්චික රැසෙහි ගෝචරය වන රවි ග්‍රහයා මුල් කරගෙන පැන නඟින උභයවාරි යෝගයකට ද සම්බන්ධ නිසා මෙකී සිකුරුගේ තුලා රාශි ගෝචරය බලවත් වන අතර, සෑම ලග්නයකටම ශුභ ඵලදානය කරන්නේය. ඒ අනුව මෙකී සිකුරු ග්‍රහයාගෙන් ශුභඵල ලැබීමට නම් මේෂ ආදී ලග්න 12න් උපන් ජන්මීන්ට සිකුරු ග්‍රහයාට අයත් මහා දශාවක් හෝ අන්තර් දශාවක් ලබා තිබිය යුතු අතර සිකුරු ග්‍රහයා උප්පතියේදී පාප පීඩිත නොවී බලවත්ව සිටිය යුතුය. රටක් වශයෙන් ගත් කල මෙකී සිකුරුගේ බලවත් තුලා රාශි ගෝචරය නළු නිළියන්ට මෝස්තර නිරූපිකාවන්ට සහ කලාව සම්බන්ධ රැකියා කටයුතුවල යෙදෙන්නන්ට සුබඵල ගෙන දේ.

රටක් වශයෙන් ගත් කල මෙකී සිකුරුගේ බලවත් තුලා රාශි ගෝචරය නළු නිළියන්ට, මෝස්තර නිරූපිකාවන්ට සහ කලාව සම්බන්ධ රැකියා ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නන් හට ශුභඵල ගෙන දෙන අතර, සිකුරු තුලා රාශි ගෝචරය වැඩි හරියක් දෙසැම්බර් මාසයේ පවතින හෙයින් දෙසැම්බරය නත්තල් මාසය වන හෙයිනුත් මෙ නත්තල් සමයේ සිකුරුගෙන් නිවේදනය වන රෙදිපිළි, සුවඳ විලවුන්, රූප ලාවණ්‍ය සම්බන්ධ භාණ්ඩ රස කැවිලි සුඛෝපභෝගි යාන වාහන වැනි භාණ්ඩවල මිල ගණන් අඩුවන හෙයින් ක්‍රිස්තු භක්තිකයන්ට මෙවර නත්තල ගිය වර නත්තලට වඩා පී‍්‍රතියෙන් සැමරිය හැකි වන්නේය. මෙකී සිකුරු තුලා රාශියේ ගෝචරය වන කාල සීමාව තුළ වෙනදාට වඩා රටතුළ උත්සවාකර්ෂණීය විවාහ මංගල උත්සවයන් පැවැත්වෙන අතර, තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩනැඟෙන කාල වකවානුවක් වන්නේය. ඒ අනුව මේෂ ආදී ලග්න 12යින් උපන් දැනට සිකුරු මහ දශා අතුරු දශා ගත කරන ජන්මීන්ට මෙකී සිකුරුගේ තුලා රාශිය ගෝචර බලපාන්නේ මෙසේ ය.

 

මේෂ ලග්නය

 

මේෂ ලග්න හිමියන්ගේ සිකුරු ග්‍රහයාට 7 වැන්න වූ තුලා රාශියේ ගෝචරය වන්නේ පියුමාකාර මෙන්ම මාලවී නම් පංච මහා පුරුෂ යෝගය උදා කරවමිනි. ඒ අනුව උප්පතියේදී සිකුරු තුලා රාශි ගහ දැනට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති මේෂ ලග්නයෙන් උපන් තරුණ තරුණියන්ට මෙකී කාල සිමාව තුළ රූමත් ධනවත් සහකරුවෙක් හෝ සහකාරියක් සමඟ යුග ජීවිතයට ඇතුල් වීමේ වාසනාව උදාවන අතර, විවාහක අයෙක් නම් හවුල් ව්‍යාපාරවලින් කලාවට සම්බන්ධ කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරුවන කාලසීමවක් වන්නේ ය.

 

වෘෂභ ලග්නය

 

වෘෂභ ලග්න හිමියාගේ ලග්නාධිපති වන සිකුරු 6 වැන්න වූ තුලා රාශියේ ගෝචරය වන්නේ පියුමාකාර යෝගය මෙන්ම හර්ෂ නම් විපරිත රාජ යෝගය උදා කරමිනි. ඒ අනුව උප්පතියේදී මෙකී යෝගවලින් උපත ලබා ඇති දැනට සිකුරු මහ දශා අන්තර් දශා ගත කරන වෘෂභ ලග්න හිමියන්ට, ගෙවල්, වාහන සම්බන්ධ නඩු හබවලින් ජය අත්වන අතර, විසිතුරු මසුන් වැනි සුරතල් සතුන් සම්බන්ධ ව්‍යාපාරවල යෙදෙන වෘෂභ ලග්න හිමියාට එම ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ලාභ ලැබෙන්නේ ය.

 

මිථුන ලග්නය

 

මිථුන ලග්න හිමියන්ගේ මෙකී සිකුරු ග්‍රහයා ගෝචරය වන්නේ 5 වැන්න වූ තුලා රාශියේ පියුමාකාර යෝගය උදා කරමිනි. ඒ අනුව උප්පතියේ සිකුරු තුලා රාශි ගත දැනට සිකුරු මහ දශාව අන්තර් දශා ගත කරන මිථුන ලග්න කේන්දර හිමි තරුණ තරුණියන්ට මෙකී කාල සීමාව තුළදී විවාහයෙන් කෙළවර වන සාර්ථක ප්‍රේම සම්බන්ධතා ඇති වන්නේ ය. කලාව සම්බන්ධ අධ්‍යාපන කටයුතුවල යෙදෙන මිථුන ලග්න කේන්දර හිමිකරුවන් සහ හිමිකාරියන්ට මෙකී කාල සීමාව තුළදී එකී අධ්‍යාපන කටයුතු සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වන්නේය. මිථුන ලග්න ගර්භිණී මවුවරුන්ට මෙකී කාල සීමාව තුළ පින්වත් රූපත්, දරුවන් ලැබෙන්නේ. එමෙන්ම රූපලාවණ්‍ය සම්බන්ධ කටයුතුවල යෙදෙන කාන්තාවන්ට එකී කටයුතුවලින් වෙනදාට වඩා ධන ලාභ ලැබෙන්නේ ය.

 

කටක ලග්නය

 

කටක ලග්න හිමියන්ට මෙකී සිකුරු ගෝචරය වන්නේ කේන්ද්‍ර ස්ථානයක් වන සිවුවැන්න වූ තුලා රාශියෙහි මාලවී නම් පංච මහා පුරුෂ යෝගය මෙන්ම පියුමාකාර යෝග උදාකරමිනි. ඒ අනුව උප්පති කේන්දර සටහනේ 4 වැන්නෙහි සිකුරු යෙදුණු දැනට සිකුරු මහ දශාව අන්තර් දශා ගත කරන කටක ලග්න හිමියන්ට වටිනා සුඛෝපභෝගි යාන වාහන ගෙදරදොර, මල්වතු, පලතුරු වතු, මව සතු දේපළ ලැබී වෙනදාට වඩා ජීවිතය සැපවත් වන්නේ ය.

 

සිංහ ලග්නය

 

සිංහ ලග්නයෙන් උපන් ජන්මීන්ගේ සිකුරු ග්‍රහයා ගෝචරය වන්නේ උපවය භාවයක් වන 3 වැන්න වූ තුලාව රාශියේ පියුමාකාර යෝග උදාව කරමිනි. ඒ අනුව උප්පති කේන්දරයේ සිකුරු 3 වැන්නෙහි යෙදුණ දැනට සිකුරු මහ දශා අන්තර් දශා ගත කරන සිංහ ලග්න හිමියන්ට මෙකී සිකුරුගේ තුලා රාශි ගෝචරය කලක් පීඩා විඳිමින් සිටී. ලෙඩ රෝගවලින් සුවය ලැබීමටත්, බාල සහෝදරියන්ගෙන් සහ අසල් වැසියන්ගෙන් උදවු උපකාර ලැබීමටත් හේතුවන ග්‍රහ ගෝචරයක් වන අතර, 3 වැන්න කෙටි ගමන් බිමන් නිවේදනය කෙරෙන රැසක් වන හෙයින් කෙටි ගමන් බිමන් සඳහා සුඛෝපභෝගි යාන වාහන ලැබෙන කාල සීමාවක් වනවා සේම, කලා කටයුතු තුළ යෙදෙන සිංහ ලග්න හිමියන්ට කලා කටයුතුවලින් දියුණුවක් ඇතිවන කාලයක් වන්නේ ය.

 

කන්‍යා ලග්නය

 

කන්‍යා ලග්න හිමියන්ගේ යෝග කාරක ග්‍රහයාවන සිකුරු 2 වැන්න වූ තුලා රාශියේ ගෝචරය වන්නේ පියුමාකාර යෝගය උදාකරමිනි. ඒ අනුව උප්පත්තියේදී සිකුරු තුලා රාශි ගතව, දැනට සිකුරු ග්‍රහයාගේ මහ දශාව අන්තර දශාව ගත කරන කන්‍යා ලග්න හිමියන්ගේ තැන්පත් ධනය වැනි බැංකු වැනි මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති ධනයේ වැඩි වර්ධනයක් සිදුකරයි. ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ලාභ හිමිකරන අතර සුඛෝපභෝගි භාණ්ඩ මිලදී ගැනීමටද මුදල් වැය කරයි. රසවත් ආහාරපාන ලබා ගැනීමට හැකි කාලයක් වන අතර පවුලේ සතුට ඇති කරන කටයුතු කීපයක් යෙදේ.

 

තුලා ලග්නය

 

සිකුරු තුලා ලග්න හිමියාගේ ලග්නාධිපති වන හෙයින් සිකුරු ග්‍රහයා ලග්නයෙහි පියුමාකාර යෝගය සහ මාලවී නම් පංච යෝග උදා කරමින් ලග්නයෙහි ගෝචරය වන මෙම කාල සීමාව, උප්පතියෙදි සිකුරු තුලා රාශි ගත දැනට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර්දශාවක් ගත කරමින් සිටින තුලා ලග්න ජන්මීන්ට මෙකී සිකුරුගේ තුලා රාශි ගෝචරය අන් ලග්න හිමියන්ට වඩා ශුභඵල දෙන ග්‍රහ ගෝචරයක් වන්නේය. ඒ අනුව තුලා ලග්න හිමියන්ගේ ලග්නයේ ගෝචරය වන සිකුරු ඔවුන්ගේ පෙර පින් පෑදීමටත් අනාගත බලාපොරොත්තු ඉටු වීමටත්, සුඛෝපභෝගි යාන වාහන, ගේ දොර, ඇඳුම් පැලදුම් ලැබීමටත් ජීවිතය සැපවත් වීමටත් මෙකී සිකුරුගේ තුලා රාශි ගමන හේතුවන අතර, වෙනදාට වඩා සමාජ ආශ්‍රය නැඹුරුවීමටත් රූමත්, තරුණ තරුණියන්ගේ ආශ්‍රය ලැබීමටත් මෙකී සිකුරුගේ තුලා රාශි ගෝචරය හේතු වන්නේ ය.

 

වෘශ්චික ලග්නයට

 

වෘශ්චික ලග්න හිමියන්ගේ සිකුරු ග්‍රහයා 12 වැන්න වූ තුලා රාශියෙහි පියුමකාර මෙන්ම විමල නම් විපරිත රාජ යෝගය උදා කරමින් ගමන් කරන අතර, උප්පතියෙදි මෙකී සිකුරු 12 වැන්නෙහි පතිත දැනට සිකුරු ග්‍රහයාට හිමි මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති වෘශ්චික ලග්න හිමියන්ට හෝ උප්පත්තියෙදි සිකුරු 6, 8 යන භාවයක පතිතව ඇති වෘශ්චික ලග්න හිමියන්ට එකී විමල යෝගය ගෝචර ගමනේ දී සක්‍රිය වීමෙන් සමිති සමාගම්වල ව්‍යාපාරවල හෝ දේශපාලනයන්ට සම්බන්ධ කටයුතුවලදී අනපේක්ෂිත පදවි ලාභ හිමිවන අතර මෙහිදී මෙකී සක්‍රිය වී ඇත්නම් එතැනදී තුලා රාශිගත සිකුරුගෙන් පියුමාකාර යෝගයද යෙදෙන හෙයින් වෘශ්චික ලග්න හිමියන්ට එකී පදවි ලාභ මුදල් කොටගෙන සුඛෝපභෝගි යාන වාහන ගෙදර දොර ලැබී ජීවිතය සැපවත් වන්නේ ය.

 

ධනු ලග්නය

 

ධනු ලග්න හිමියාට සිකුරු අය භාවය වන 11 වැන්න වූ තුලා රාශියෙහි පියුමාකාර යෝගය උදා කරමින් ගමන් කරන අතර, උප්පති කේන්දරයේ සිකුරු ග්‍රහයා තුලා රාශි ගත දැනට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ගත කරමින් සිටින ධනු ලග්න හිමියන්ට ගෝචරයෙන් උප්පතියේදී මෙන් තුලා රාශි ගතව සිටී. සිකුරුගේ බලය සක්‍රිය වී ශුභඵල ලැබෙන අතර ඒ අනුව ධනු ලග්න හිමියන්ට රැකියා ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ධන ලාභ ලැබෙන තම දියුණුවට අත හිත දෙන හිතවත් මිතුරු මිතුරියන් ලැබෙන්නේය. 11 වැන්න කාම ත්‍රිකෝණයට අයත් භාවයක් වන නිසා ධනු ලග්න හිමි යෞවන යෞවනියන්ට විවාහයෙන් කෙළවර වන ප්‍රේම සම්බන්ධතා ඇති වන අතර විවාහ වන වයසේ පසුවන ධනු ලග්න තරුණ තරුණියන්ට තමාට වඩා උසස් ධනවත් බලවත් සහකරුවෙක් හෝ සහකාරියක් සමඟ යුග ජීවිතයට ඇතුළු වීමේ වාසනාව උදා වන්නේය.

 

මකර ලග්නය

 

සිකුරු මකර ලග්න හිමියාගේ 10වැන්න වූ තුලා රැසෙහි ගෝචරය වන්නේ මාලවී නම් පංච මහා පුරුෂ යෝග සහ පියුමාකාර යෝගය උදා කරමිනි. ඒ අනුව උප්පතිය කේන්දරයේ සිකුරු ග්‍රහයා තුලා රාශිගතව ඇති දැනට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් ගත කරන මකර ලග්න හිමියන්ට අන් ලග්නවලට වඩා ශුභඵල උදා කරන ග්‍රහ ගමන් වන්නේ මෙකී සිකුරු මකර ලග්නයට යෝග කාරක ග්‍රහයා වෙමින් 10 වැන්න වූ තුලාවේ මාලවී නම් පංච මහා යෝග උදාකරමින් ගෝචරය වන නිසාය. ඒ අනුව මකර ලග්න හිමියන් 10 වැන්න වූ රැකියා ස්ථානයේ ගෝචරය වන මෙකී සිකුරු, මකර ලග්න ජන්මීන්ගේ රැකියා කටයුතුවල දියුණුවක් ඇති කරන අලුත් රැකියා ලැබෙන ග්‍රහ ගෝචරයක් වන හෙයින් මකර ලග්න ජන්මීන්ට මෙකී කාලසීමාව තුළ සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් තම ජන්ම නැකතට සීහෙන නැකතින් සුදු වස්ත්‍රයකින් සැරසී ලක්ෂ්මී, පත්තිනි, දේව මෑණියන් වැනි දේව මාතාවකට පහනක් දල්වා උතුර බලා සම්මුඛ පරීක්ෂණ සඳහා යෑමෙන් නව රැකියා අවස්ථා උදාකරගත හැකි වන්නේය. එමෙන් ඉහත විග්‍රහ කළ පරිදි රැකියාව මෙන්ම, බැංකුවල මුදල් තැන්පත් කිරීමෙන් නව වාහනයක් මිලදී ගැනීමෙන්, නව නිවාසයක පදිංචියට යෑමෙන් හා නිවසක් තැනීමෙන්, දරුවන් ලැබීම සඳහා සම්භෝගයේ යෙදීමෙන් එකී කාර්යයන්ගෙන් සිතුවාටත් වඩා ශුභඵල ලැබෙන්නේ ය.

 

කුම්භ ලග්නය

 

මකර මෙන්ම කුම්භ ලග්නයට ද සිකුරු ප්‍රබල යෝගකාරක ග්‍රහයා වන හෙයිනුත් සිකුරු භාග්‍ය ස්ථානය වන තුලා රැසෙහි පියුමකාර යෝගය උදා කරමින් ගමන් කිරීම, උප්පත්තියෙදී සිකුරු තුලා රාශි ගත දැනට සිකුරු මහා දශාව අන්තර් දශා ගත කරන කුම්භ ලග්න හිමියන්ට ශුභඵල ගෙන දීමට හේතුවන ග්‍රහ ගෝචරයක් වන්නේය.

ඒ අනුව භාග්‍යස්ථානය හෙවත් 9 වැන්නෙහි බලය සක්‍රිය වීමෙන් කුම්භ ලග්න හිමියන් පෙර පින් පෑදීමට හේතුවන අතර, ගේ දොර, යාන වාහන, දරුඵල, පියා සතු වස්තුව ලැබීමට මෙකී සිකුරුගේ තුලා රාශි ග්‍රහ ගෝචරය හේතු වන්නේ ය. එමෙන්ම මෙකී සිකුරුගේ තුලා රාශියේ ගෝචරය වන කාල සීමා තුළ ලග්නය කේන්ද්‍රකොටගෙන ජන්ම ඒරාෂ්ඨක අපලයක් හෝ චන්ද්‍රයා කේන්ද්‍රකොට ගෙන පැන නැඟුනු කණ්ඨක ශනි ඒරාෂ්ඨක අපලයක් ලබා ඇත්නම් මෙකී ශුභ නොලැබී යාමක් හෝ එකී ශුභඵල අඩුවීමක් සිදුවිය හැකිය. එවැනි අපල තත්ත්වයක් ඇති කුම්භ ලග්න හිමියන් සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් පත්තිනී, ලක්ෂ්මී, ඉන්ද්‍රාණි,කතෝලික නම් දේව මෑණියන් වැනි දේව මාතාවකට පුද පූජා පැවැත්වීමෙන් හෝ භාර හාර වීමෙන් හෝ සිකුරාදාට දිනක සිකුරු හෝරාවෙන් උතුර බලා සුදු මැණිකක්, ඇල්ලූ මුදුවක් දකුණු අතේ මැද ඇඟිල්ලෙහි පැලඳීමෙන් හෝ දක්ෂ ඇදුරකු ලවා සිකුරා දිනෙක සිකුරු හෝරාවෙන් සිදම්බරය, ඊශ්වර මණ්ඩලය, මහා මාතාංගේශ්වරය යනාදි යන්ත්‍රයක් පැලඳීමෙන්, කුම්භ ලග්න හිමියන්ගේ සඳු ග්‍රහයා කේන්ද්‍රකොට පැන නැඟුණු ඒරාෂ්ඨක අපලය මර්දනය කර ගත හැකි වන්නේ ය.

 

මීන ලග්නය

 

මීන ලග්න කේන්දරයට සිකුරු දුෂ්ට භාවයක් වන 8 වැන්නට හා උපචය භාවයක් වන 3 වැන්න හිමිකම් කියන හෙයින් පාපියෙකි. ඒ නමුත් මීන ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ජන්මියකුගේ හඳහනක සිකුරු ග්‍රහයා 8 වැන්න වූ තුලා රාශියෙහි පතිතව ඇත්නම් ඒ තැනදී සරලා නම් විපරිත රාජයෝග යෙදෙන හෙයින් එසේ ග්‍රහ බලයක් ඇති මීන ලග්න ජන්මීන්ට දැනට සිකුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබීමට ඇත්නම් මෙකී සිකුරුගේ තුලා රාශි ගෝචර ගමනේදි එකී විපරිත රාජයෝගය සක්‍රියවීමෙන් මීන ලග්න ජන්මීන්ට අන්තිම කැමැති පත්‍ර මඟින් සුඛෝපභෝගි, යාන වාහන, නිවාස, සාප්පු, මල්වතු, පලතුරු වතු, මුදල් වැනි දෑ හිමි වී ජීවිතය සැපවත් වන්නේ ය.

ඒ අනුව යට විග්‍රහ කළ පරිදි උප්පතියෙදී සිකුරු තුලා රාශිගතව ඇති දැනට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති ජන්මීන් සිකුරාදා දින සිකුරු හෝරාවෙන් තම ජන්ම නැකතට සීහෙන නැකතකින් ශුභ තත්කාල ලග්නයකින් විචිත්‍ර හෝ සුදු වස්ත්‍රයකින් සැරසී, පත්තිනි, ඉන්ද්‍රාණි, ලක්ෂ්මී දේව මෑණියන් (ක්‍රිස්තු භක්තියන්) වැනි මාතාවකට පහනක් දල්වා උතුර බලා අදාළ කටයුත්ත ආරම්භ කිරීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වන්නේ ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.