කුජ මණ්ඩලය

අත්ලෙන් හෙළි වන ජීවිත රහස්
ජුනි 23, 2023

සිංහල අලුත් අවුරුදු උත්සව සඳහා අප හැමෝම වගේ සහභාගි වී ඇත. එහිදී ඔබ දැක ඇති තරග ඉසව්වක් වන කොට්ටා පොර තරගය මඳකට සිහියට නඟා ගන්න. බොහෝ අවස්ථාවලදී සමහර තරගකරුවන් ජයග්‍රහණය කරන්නේ ප්‍රති මල්ලවයාගේ ප්‍රහාරවලින් හැකි පමණ ආරක්ෂා වී ප්‍රහාරය දරාගෙන සිටය.

 

නමුත් සමහර අවස්ථාවලදී තරගකරුවකු ජයග්‍රහණය කරන්නේ එක දිගට අනික් තරගකරුවාට ප්‍රහාර එල්ල කිරිමෙනි. මේ අවස්ථා දෙකේදිම තරගකරුවෝ ජයග්‍රහණය කරති. එහෙත් ජයග්‍රහණය සඳහා යොදා ගන්නා ක්‍රමවේදයේ වෙනසක් ඇත. එක් තරගකරුවකු දරාගෙන සිටිමින් ජයග්‍රහණය කරයි. එහෙත් ඔහු එක දිගට ප්‍රහාර දෙන්න උත්සාහ ගන්නේ නැත. තවත් තරගකරුවකු ප්‍රහාර එක දිගට එල්ල කර ජයග්‍රහණය කරයි. මෙය සිදුවන්නේ කෙසේද? මෙය සිදු වන්නේ එක් එක් පුද්ගලයාට කුජ ග්‍රහයාගේ ඇති බලපෑම මතය. පුද්ගලයකුට කුජ ග්‍රහයාගේ ඇති බලපෑම යම් සේද එලෙසම ඔහුගේ ජවය ධෛර්යය සහ ප්‍රචණ්ඩත්වය වෙනස් වෙයි. ඒ අනුව පුද්ගලයා ක්‍රියාත්මක වන ආකාරයද වෙනස් වෙයි.

අත්ලක මණ්ඩල හතෙන් තවත් එක් වැදගත් මණ්ඩලයක් තමයි කුජ මණ්ඩලය. කුජ මණ්ඩලය ලෙස සලකන ස්ථාන දෙකක් අත්ලෙහි ඇත. බුධ මණ්ඩලයට පහළ චන්ද්‍ර මණ්ඩලයට ඉහළ අත්ලේ පිට දාරයට ආසන්න කොටස ඉහළ කුජ මණ්ඩලය හෙවත් නිෂේධාත්මක කුජ මණ්ඩලය ලෙසත් ජීවන රේඛාවට ඇතුළතින් සිකුරු මණ්ඩලයට ඉහළින් ගුරු මණ්ඩලයට පහළින් පිහිටි කොටස පහළ කුජ මණ්ඩලය හෙවත් නිශ්චිත කුජ මණ්ඩලය ලෙසත් හැඳින්වේ. පොදුවේ ගත් කල කුජ මණ්ඩලය බලවත් පුද්ගලයන් සටන්කාමි අදහස් ඇති නිර්භීත උද්යෝගිමත් අය වෙති. ඔවුන් ආරම්භ කළ වැඩක් අවසානය දක්වා කරන පුද්ගලයන්ය. මනා ශාරීරික ශක්තියෙන් යුතු වේ. එමෙන්ම ආත්ම විශ්වාසයෙන් වැඩකටයුතු කරන අය වේ. තවද මොවුන් සටන්කාමි වුවද සාධාරණ යුක්තිගරුක පුද්ගලයින් වේ. අයුක්තිය අසාධාරණය ඉදිරියේ නොඉවසන අය වේ. කුජ ප්‍රබල පිරිමි පුද්ගලයන් ආදරයට සහ ලිංගික ක්‍රියාවලට වැඩි ළැදියාවක් දක්වන නිසා විවාහ ජීවිතය විනෝදකාමීව ගෙවන අතර කාන්තාවන් සැමියාගේ කටයුතුවලට ආධාර කරමින් විවාහය සාර්ථක කර ගනියි. මොවුන්ට උෂ්ණධික රෝග වකුගඩු ආබාධ සහ උගුරේ ආබාධ බහුලව වැලඳිය හැකි බැවින් පරෙස්සම් විය යුතුය.

අයහපත් කුජ මණ්ඩලයක් සතු පුද්ගලයා ඉහත කී යහපත් ගුණාංගවලට ඉඳුරාම වෙනස් ගති ගුණයන්ගෙන් යුක්ත වේ.

ඉහළ කුජ මණ්ඩලය ප්‍රබල අයකු හොඳ හෝ නරක ඕනෑම දෙයක් දරාගැනීමේ ශක්තිය හිමි හොඳ ආත්ම විශ්වාසයකින් වැඩ කරන පුද්ගලයන් වේ. උපාය කෞශල්‍යය හොඳින් පිහිටා ඇත. ඒ වගේම පිරිස අතර කැපී පෙනීමට කැමැති පුද්ගලයන් වේ. රූමත් යුවතියන්ට කැමතිය. ස්වකීය ආරක්ෂාව සපයා ගනිමින් සතුරන්ට ප්‍රහාර දෙයි. මොවුන්ගේ ඇති විශේෂ හැකියාව වන්නේ ඕනෑම පීඩනයක් දරා ගැනීමේ හැකියාවයි. එසේම ඉහළ කුජ මණ්ඩලය දුබල අයෙකු නම් රෝගවලට ඔරෝත්තු දීමේ හැකියාව අඩුය. සුළු කරුණකින් පවා අධෛර්යට පත්වේ. බොරු වීරකම් ඇත. මොවුන් බිය සුළුය. ඉච්ජාභංගත්වය නිසා සිය දිවි නසා ගැනීමට පෙලඹීමට පුළුවන.

ඉහළ කුජ මණ්ඩලයේ සිරස් රේඛාවක් පිහිටා ඇත්නම් ධෛර්යයෙන් වැඩ කටයුතු කර ගත හැකි අතර ඔබට අනතුරුදායක අවස්ථාවන් පවා අනතුරු රහිතව ප්‍රයෝජනයට ගතහැකි පිහිටිමකි. එසේම ත්‍රිකෝණය යහපත් මණ්ඩලයක නම් සුබ වන අතර අයහපත් මණ්ඩලයක නම් අසුබ පිහිටිමක් වේ. යහපත් ඉහළ කුජ මණ්ඩලයක තරු සලකුණක් නම් ඉතා හොඳින් ඉවසීමෙන් සහ උපායශීලීව දීප්තිමත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව පෙන්වයි. අයහපත් අතක තරු සලකුණක් නම් ඊර්ෂ්‍යාව සහ දුෂ්ඨ ගතිය නිසා දිවිමඟ අඩාළ කර ගන්නා පිහිටිමකි. සමහර විට මොවුන් සිය දිවි හානිකර ගැනීමට පවා පෙළඹීමට ඉඩ ඇත. රහස් සතුරන්ගෙන් ඇතිවන බලපෑම පෙන්වන්නේ මණ්ඩලය මත කතිර සලකුණක් තැබීමෙනි. ඉහළ කුජ මණ්ඩලයක දුපතක සලකුණ පිහිටා ඇත්නම් ආත්ම විශ්වාසය හීනවිම වගේම බිය සුළු බව ඇති වන බව පෙන්වන පිහිටිමකි. මොවුන් දියුණුවන්නට ඇති කටයුතු ඉදිරිපත් වීමට මැළි ස්වභාවයක් පෙන්වයි. දැල් සලකුණද ඉහළ කුජ මණ්ඩලයේ පිහිටා ඇත්නම් හදිසි අනතුරුවලින් මරණය සිදුවිය හැකි පිහිටිමකි. එම නිසා ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුය.

පහළ කුජ මණ්ඩලය හෙවත් නිශ්චිත කුජ මණ්ඩලය ප්‍රබල පුද්ගලයා කුමන හෝ අකාරයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට වෙහෙසෙන පුද්ගලයෙකි. ප්‍රබල සටන් කාමි බවකින් යුක්තය.ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පුද්ගලයෙකි. මොවුන් ආහාරපාන සඳහා ලොල් බවක් දක්වයි. නිතරම සාධාරණ පැත්තේ හිට ගනී. ආදරය කිරීමට සහ කාමුක ක්‍රියාවලට දැඩි රුචියක් දක්වනවා සේම විරුද්ධ ලිංගිකයාගේ කැමැත්ත සහ අනුමැතිය ඇතැත් නැතැත් කෙසේ හෝ පොළඹවා ගැනීම සිදු කරයි. මත්පැන්වලට යොමුවීම සහ අපරාධ කිරීමට පෙළඹීම මොවුන්ගේ අයහපත් ලක්ෂණ වේ.

එමෙන්ම පහළ කුජ මණ්ඩලය දුබල පුද්ගලයා ආත්ම ශක්තියක් නොමැති පුද්ගලයකු වේ.ප්‍රයෝග තුළින් තම අදහස් ඉටුකර ගැනීමට මාන බලන පළිගැනීමේ චේතනාව සහිත පුද්ගලයන්ය. මොවුන්ද සමාජ විරෝධි ක්‍රියාවලට යොමුවන දරුණු අපරාධ කරුවන්ය. මෙවැනි පුද්ගලයන් කුඩා කාලයේ සිටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් නිසි මඟට යොමු කර ගත හැකිය.පහළ කුජ මණ්ඩලයේ ත්‍රිකෝණ ලකුණක් පිහිටා ඇත්නම් ඔහු ඉතා ප්‍රබල යුද උපායේ දක්ෂ පුද්ගලයෙකි. ඔවුන්ගේ දියුණුව ඇතිවන්නේ හමුදා සේවයෙන් හෝ ක්‍රිඩාවෙනි. තරු සලකුණද සටන්කාමී බව වැඩි කරන ලක්ෂණයකි. එහෙත් යුදකාමී අදහස් හේතුවෙන් ජීවිතයේ දියුණුව අඩුවේ. එහෙත් හමුදාවේ සේවය කරයි නම් උසස් නිලතලවලට හිමිකම් කියන පිහිටිමකි. කතිර සලකුණ ප්‍රබල මණ්ඩලය දුබල කරන ලක්ෂණයකි. එය යහපත් පිහිටීමක් නොවේ. එවැනි පිහිටීමක් පුද්ගලයාගේ මරණය දිවි නසාගැනීමක් හෝ අඬ දබර නිසා සිදුවිය හැකි බව පෙන්වයි.

පුද්ගලයකුගේ කුජ මණ්ඩලය සහ ගුරු මණ්ඩලය ප්‍රබල නම් එය ඉතාමත් යහපත් පිහිටීමකි.ආත්ම ධෛර්යය සහ උනන්දුව වැඩි කරන ලක්ෂණයක් හෙයින් රැකියාව කුමක් වුවත් උසස් තනතුරුවලට ළඟා වේ. ඔහු ප්‍රසිද්ධියට පත්වන පුද්ගලයෙකි. කුජ මණ්ඩලය සහ චන්ද්‍ර මණ්ඩල ප්‍රබල නම් එය එතරම් යහපත් ලක්ෂණයක් නොවේ. මොවුන් ගන්නා තීන්දු තීරණ නිවැරැදි නොවේ. බලාපොරොත්තු වන සාර්ථකත්වය සිහිනයක් වෙයි. කුජ මණ්ඩලය සහ සිකුරු මණ්ඩලය ප්‍රබල නම් ඉතාම යහපත් ලක්ෂණයකි. සමාජයට ප්‍රිය පුද්ගලයෙක් බිහිකරයි. ඔවුන්ගේ කථා රටාව මෙන්ම හැසිරිම් රටාව ප්‍රිය උපදවන සුලුය. මණ්ඩල දෙක අයහපත් නම් ඉඳුරන් පිනවීමට සහ සුඛ විහරණයට වැරැදි ලෙස පෙලඹීමෙන් කරදරයට සහ අපහාසයට පත් වේ.

කුජ මණ්ඩලය සහ බුධ මණ්ඩලය ප්‍රබල නම් අවස්ථාව එනතුරු සිට තම අභිමතාර්ථයන් ඉතා හොඳින් සාර්ථක කර ගත හැකිය. එහෙත් මණ්ඩල දෙක අයහපත් නම් දරුණු අපරාධ කාරයෙක් බිහිවීමට පුළුවන. කුජ ශනි මණ්ඩල ප්‍රබල නම් කුජ මණ්ඩලයේ දරදඬු ගතිය දුර්වල කර මධ්‍යස්ථ පුද්ගලයකු බිහිකරයි.

ලබන සතියේ ශීර්ෂ රේඛාව ගැන කථා කරමු.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.