නමේ මුල් අකුරට අනුව ජය දිශාව හඳුනා ගනිමු

මැයි 19, 2023

 

ගිය සතියෙහි ‘යෝනි’ හෙවත් යොන් අටක් ඇති බවත් එහි නාමත් අවසාන වශයෙන් අප හඳුනාගත් බව ඔබට මතක ඇතිවාට සැක නැත. මේ අටදෙනා ගුරුලා, බළලා, සිංහයා, දිවියා, නයා, මීයා, ඇතා සහ මුවා වශයෙන් හඳුනා ගැනෙන අතර ඔබ මේ අටදෙනාගෙන් එකෙකුගේ අයිතියට නතු වෙයි. මේෂ, වෘෂභ, මිථුනාදී රාශි දොළොසින් එක් රාශියක් ඔබේ ලග්නය වන්නේ යම් සේද පෙර කී යෝනි අටෙන් එකක් ඔබේ යෝනිය බවට පත්වේ. යෝනි හිමි දිශාව ජය ගෙන දෙයි.

 

කිසියම් සුබ කාර්යයක් සිදු කිරීමේ දී බැලිය යුතු සුබ දිශාව ජය දිශාව වෙයි. එය ජයග්‍රහණයේ මාවතයි. එය නන් අයුරින් භාවිත කළ හැකි ය. බෝධි පූජාවක් තැබීම, දේව වන්දනාවක් කිරීම කවරම හෝ දිශාවක සිදු කළත් එහි පින එසේම ලැබෙනු ඇත. එහෙත් ඔබේ යොනට අනුව හෝ අන් ක්‍රමයකින් තෝරාගත් ජයභූමිය තුළ සිදු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ඉක්මනින්ම ලැබෙනු ඇත. බොහෝ දෙනකු දන්නා හෝ අසා ඇති ‘කරණ’ නම් ගණිතයක් වේ. එහෙත් මෙහි මූලය ජයභූමි ශාස්ත්‍රය බැව් බොහෝ දෙනා නොදනිති. කරණ ගොවි කරණ, වක් කරණ, තිථි කරණ, ගිනි කරණ, දිය කරණ හෝරා කරණාදී වශයෙන් නොයෙකුත් ප්‍රභේද සහිතය. ගොවිපළෙහි ආරක්ෂාව සඳහා දිවි කරණයෙන් වැට ගසනු ලැබේ. මෙහිදී පළමු වැට ඉන්න සිටුවන දිශාව එහි ජය භූමිය වේ. පැමිණෙන සතාට හානිවන පරිදි හෝ ගොවිපළ රැකෙන පරිදි මෙන්ම පැමිණෙන සතාටද ගොවිපොළට ද හානි නොවන අයුරින් වැට ගැසීම ඇරඹිය යුතු ය. මෙසේ ජය භූමිය ජය දිශාව තෝරාගැනීම ඉතා වැදගත් ශාස්ත්‍රීය න්‍යායක් වේ.

මෙසේ ඉහත කී යෝනිවලට ජය ගෙනදෙන නෛසර්ගික දිශාවන් වේ. ඔබේ යෝනිය හඳුනා ගැනීමට ප්‍රථමයෙන් ඒ ඒ යෝනිවලට ජය ගෙනදෙන දිශා මෙසේ නම් කරනු ලැබේ.

1. ගුරුලු යොන හෙවත් ගුරුලු යෝනියට - නැඟෙනහිර දිශාව ඉතා යෝග්‍ය වන අතර නිරිත දිශාව ද්විතීක වශයෙන් ශුභඵල ගෙනදේ.

2. බළල් යෝනියට - ගිනිකොන දිශාව බොහෝ ගුණ සහිතය උතුරද යහපත් ඵල ගෙනදෙනු ඇත.

3. සිංහ යෝනියට - දකුණු දිශාව නෛසර්ගිකවම බල සහිතය. වයඹ දිශාවද ජය ගෙනේ.

4. දිවි යෝනියට - නැඟෙනහිර දිශාව සුබවන අතර නිරිත බොහෝ සුබ වෙයි.

5. නාග යෝනියට - බටහිර දිශාවද ඊසාන දිසාවද සුබඵල ගෙනේ.

6. මී යෝනියට - වයඹ සහ දකුණ යහපත ගෙනදෙනු ඇත.

7. ඇත් යෝනියට - උතුර සුබදායකය ගිනිකොන ඊළඟට සුබය.

8. මුව යොනට - ඊසාන දිශාව ජයභූමිය වෙයි. බටහිරද සුබඵල ගෙනදෙනු ඇත.

මෙසේ ඔබේ යෝනිය හිමි දිශාව බලා දෛනික සුබ කටයුතු කිරීම බෝධි වන්දනා සිදු කිරීම. බාරහාර වීම ආදිය සිදු කිරීමෙන් ඔබ සිතනවාට වඩා ප්‍රතිඵල ගෙනෙනු ඇත. එහෙත් ඔබ කවුරුත් දන්නා මරු සිටින දිශාවට පිටුපෑමට නිතරම කටයුතු කිරීම සුදුසු වේ. මරු ගැන අදහසක් ගෙන ඒමට පළමුව ඒ ඒ දවස්වල මරු සිටිනා දිශාවද මෙසේ සඳහන් කරනු ලැබේ.

ඉරිදා මරු උතුෙර්ය, සඳුදා වයඹේය, අඟහරුවාදා දකුණේය, බදාදා නිරිතේය, බ්‍රහස්පතින්දා දකුණේ ය. සිකුරාදා ගිනිකොනය, සෙනසුරාදා නැඟෙනහිර වශයෙන් දත යුතු ය. වර්තමානයේ ‘මරු’ වැනි සංකල්ප මිථ්‍යා සේ ප්‍රතික්ෂේප කරන ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් ද වේ. ඊට හේතුව ඒක හේතුක වාදයයි. මරු පමණක් පිළිබඳව ඇති දැනුමයි, ඉරිදා උතුරේ මරුය. මෙසේ කීවාට උතුර බලා කටයුතු කළ පළියට නරකක් ඇති නොවේ. ඉරිදා සම්පූර්ණ හැට පැයට හෝ ඉංගී‍්‍රසි පැය විසි හතරම මරුගේ බලය උතුරෙහි වුවත් මාර බලය ක්‍රියාත්මක කරන යතුර උතුරේ සිටිනුයේ ස්වල්ප කාලසීමා තුළ පමණි. ඉදින් මෙකී මරු සහ දළ වශයෙන් ප්‍රකාශිත උතුරු ශක්තිය එක්වූ අවස්ථා ඉතාමත් නරක ප්‍රතිඵල ගෙනදෙනු ඇත. ඉතින් සූක්ෂම බලය හඳුනා ගැනීමේ ඇති අපහසුව නිසා ඉරිදා උතුර සම්පූර්ණයෙන් බැහැර කරනු ලැබේ. එහෙත් ශාස්ත්‍රය මැනවින් දත් කෙනෙකු වේ නම් එය ජය භූමියක් කරගැනීමට ද ඔහුට හැකියාව වේ. කෙසේ නමුත් සාමාන්‍ය අවබෝධයක් ඇති අයෙකු මරු සිටින ප්‍රධාන දිශාව මඟහැර කටයුතු කිරීම යහපත් බව අප ගුරු මතයයි. එසේම ‘මරු’ නම් ශක්තිය ප්‍රායෝගිකවද අත්දැකීමට පර්යේෂණාත්මකව විමසා බැලීමට ද නොහැක්කේ නොවේ එහෙත් කිසිවක් ඒක හේතුක නොවේ.

ඉදින් පෙර පවසන ලද පරිදිම නාග යෝනිය හිමි දරුවකුගේ ඉගෙනීමේ දුබලතාවක්, අසනීපයක්, ග්‍රහ අපලයක් වැනි අවස්ථාවකට එහි ජය භූමිය වන බටහිර හෝ ඊසාන දිශාව බලා බාරහාරවීම වන්දනා කිරීම ආදී කටයුතුවලින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ගත හැකි ය. එහෙත් අඟහරුවාදා මරු බටහිර වන බැවින් කිසිවිටක සාමාන්‍ය පුද්ගලයා බටහිර බලා අඟහරුවාදා සුබ කටයුතු නොකළ යුතු ය. මෙවැනි ලිපි, තොරතුරු ඔබේ දැනුම බුද්ධි වර්ධනය පිණිස වුවත් වෛද්‍යවරයකු නොවී වෛද්‍ය ක්‍රියාකාරකම්වල යෙදීමේ අවදානමක් ද නොපවත්නේ යැයි නොසිතිය යුතුය. එහෙත් දළ නිගමනයන් මත සිට සාමාන්‍ය වශයෙන් අවදානම බාරගෙන අත්හදා බැලීම් සිදුකළ හැකිවේ. ‘මරු’ පිළිබඳ සංකල්පයකට අවධානය දීමෙන් අවදානම අඩුකරගත හැකි ය.

සෙත් කවියක් කියවන විටද මෙසේ මරු මඟහැර ඔබේ යෝනිය හිමි දිශාව තෝරා බේරාගෙන කටයුතු කළ හැකි ය. මෙහිදී තවත් විශේෂ රහසක් ඔබට හෙළි කරනු කැමැත්තෙමි. කිසියම් පුද්ගලයෙකුගේ නාම යෝනිය ‘නයා’ නම් ඔහු වාසය කරන ස්ථානයට සාපේක්ෂව බටහිර දිශාවේ ඇති පන්සලක්, පල්ලියක් ශාන්ති ස්ථානය ලෙස තෝරාගත හැකි ය. මේ පිළිබඳ වැඩිමනක් විස්තර මතුවට ගෙනෙන්නට අපේක්ෂා කරන අතර ඔබේ නමේ මුල් අකුර අනුව ඔබේ “යෝනිය” සොයාගන්නා ආකාරය දැන් පවසනු කැමැත්තෙමි. එම යෝනිය අනුව ඉහත කී ජය භූමිය, ජය දිශාව ඔබට තෝරා බේරා ගත හැකිවනු ඇත.

නාමාක්ෂර අනුව හිමි යෝනිය

1. අ, ඉ, උ, එ, ඔ හෝ ඒවායෙහි දීර්ඝ ආ, ඊ, ඌ, එ, ඕ යන අකුරුවලින් ඇරඹෙන අමල්, ඉමල්කා, ආකර්ශා වැනි අයට ජය භූමිය “ගුරුලු” යෝනි වේ. එහි දිශාව නැඟෙනහිර බව පෙර පවසන ලදි.

2. ක, ග අක්ෂර ප්‍රභේදවලින් නම කියැවෙන කමල්, ගිහාන්, ගුණදාස ආදී නම් ඇති අයට “බළල් යොනි” හිමිය.

3. ට, ජ අක්ෂර ප්‍රභේද වන ජයන්තා, ජෙනිටා, චමරි ආදී නම් නිදසුන්ය. එයට සිංහයා හිමිය.

4. ට, ඩ අකුරුවලින් ඇරඹෙන ටිරොන්, ඩේමියන්, ඩේසි ආදී නම් දිවි යෝනියට හිමිය.

5. නාග යෝනියට ත, ද, න අක්ෂරවලින් ඇරඹෙන නම් හිමිය. තාරුක, දුමින්ද, නයනා නිදසුන්ය.

6. මී යොනට ප, බ, ම අකුරු ආරම්භක නම් හිමිවේ. පීරිස්, මාලා, බ්‍රිජට් ආදී නම් නිදසුන්ය.

7. ඇත් යොන සඳහා ය, ර, ල, ව යන අකුරු සතරම අදාළය. පෙර පරිදි තොරතුරු විමසා ගත හැකි ය.

8. මුවා සඳහා ශ, ෂ, ස, හ යන අක්ෂර යෝජිතය. එම අකුරුවලින් යමෙකුගේ නමක් ඇරඹේද හේ මුව යෝනියට අයිති වූවකි.

යෝනිය සහ ජය භූමිය අතර තවත් සම්බන්ධතා ඊළඟ ලිපියෙන් බලමු.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ 

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.