ඔබ ගැන කියන ද්විග්‍රහ යෝග

මැයි 19, 2023

ලග්න කේන්දරයක රාශි 12ක් ඇති බව අපි දනිමු. ඒ හැම රාශියක ම අධිපතියන් ඊට යාබදව ඇති රාශියේ අධිපතියන් සමඟ යෝග වීමෙන් පැන නඟින යෝග 12ක් වෙයි. මේ සමහර යෝග ශුභ පල, දෙන අතර, සමහර ඒවා අශුභපල ගෙන දෙයි. උදාහරණයක් වශයෙන් 9 සහ 10 අධිපතින් යෝග වීමෙන් පැන නඟින ධර්ම කර්මාධිපති යෝගය ශුභපල ගෙන දෙන යෝග විශේෂයක් වන අතර ලග්නාධිපති සහ 12 අධිපති යෝග වීමෙන් පැන නඟින චිත්තහානි යෝගය අශුභ පල ගෙන දෙන යෝග විශේෂයක් වන්නේ ය. ඒ අනුව ඉහත සඳහන් කළ යෝගවලින් ශුභ අශුභ පල ලැබෙන ආකාර පිළිබඳව කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

පුෂ්කල යෝගය

 

ලග්න භාවයේ අධිපති ඊට යාබදව ඇති දෙවැන්නෙහි අධිපති සමඟ යෝග වීමෙන් පුෂ්කල නම් යෝග විශේෂය යෙදෙයි.

මෙකී පුෂ්කල යෝගය ක්‍රම දෙකකට යෙදේ. එම ක්‍රම දෙක නම්, ලග්නාධිපති සහ දෙවැන්නාධිපති යෝග වීමෙන් යෙදෙන පුෂ්කල යෝගව සහ ලග්නාධිපති සඳු සමඟ යෝගය සිටියදී චන්ද්‍රයා සිටින රාශි අධිපති මිත්‍ර රාශියක කේන්ද්‍රස්ථානයක සිටීමෙන් යෙදෙන පුෂ්කල යෝගයයි. මෙකී යෝගය ලග්න කේන්දරයක යෙදීමෙන් කේන්දර හිමියා ධනය අතින් ආඪ්‍ය වන අතර රාජ්‍ය අනුග්‍රහය ලබයි. යන එන තැන ප්‍රධානත්වයක් උසුලයි. අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ. සුඛෝපභෝගි ජීවිතයක් ගත කරයි.

රාජ චින්තක යෝගය

 

දෙවැනි භාවයෙහි අධිපති තුන්වැනි භාවයෙහි අධිපති සමඟ යෝගවීමෙන් රාජ චින්තක යෝගය යෙදේ.

දෙවැන්නාධිපතියා තුන්වැන්නාධිපතියා සමඟ යෝග වීමෙන් රාජ චින්තක යෝගය යෙදේ. එකී යෝගය යම් කේන්දරයක වේද එම කේන්දර හිමියාට රජයේ සේවයෙන් ආදායම් ලැබීමට වාසනාව උදා වේ.

චම්පුක යෝගය

 

තුන් වැනි භාවයේ අධිපති හතර වැනි භාවයෙහි අධිපති සමඟ යෝග වීමෙන් චම්පුක යෝගය යෙදේ.

ජන්ම කේන්දරයක 3 සහ 4 භාවාධිපතියන් යෝග වීමෙන් ගොඩනැඟෙන යෝග විශේෂය මෙ නමින් හඳුන්වනු ලැබේ. මෙකී යෝගය යෙදුණු කේන්දර හිමියාට තුන් වැන්නෙන් පෙන්වන වික්‍රමයත් හතර වැන්නෙත් පෙන්වන භව භෝගවල දියුණුවත් මිශ්‍ර වීමෙන් යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේ ය.

 

අමාත්‍ය යෝගය

 

හතර වැනි භාවයෙහි අධිපති පස් වැනි භාවයෙහි අධිපති සමඟ යෝග වීමෙන් අමාත්‍ය යෝගය යෙදේ. හතර සහ පහ වැන්නාධිපතියන් එකතු වීමෙන් ගොඩනැඟෙන අමාත්‍ය යෝගය යම් ජන්ම පත්‍රයක වේද, එම ජන්මියාට ගුරු වෘත්තිය, උපදේශක රාජ්‍ය නායකත්වය සම්බන්ධ සේවාවලින් උසස් දියුණුවක් ලබා දෙයි.

 

දාරණ කර්ම යෝගය

 

පහ අධිපති හතර අධිපති සමඟ යෝග වීමෙන් දාරණ කර්ම යෝගය යෙදේ.

කේන්දරයක ත්‍රිකෝණ ස්ථානයක් වන 5 වැන්නෙහි අධිපති සහ දුෂ්ට ස්ථානයක් වන හය වැන්නෙහි අධිපතියා සමඟ යෝග වීමෙන් පැන නඟින මෙකී දාරණ කර්ම යෝගය යම් ජන්ම පත්‍රයක වේද එවන් ග්‍රහ යෝගයක් ඇති කේන්දර හිමියාට උගත්කම හා ඊට සරිලන උසස් රැකියාවක් කිරීමට භාග්‍ය ලැබේ. එසේ වීමට හේතුව නම් හය වැන්නාධිපති පස් වැන්නාධිපති සමඟ යෝග වීමෙන් හය අධිපතිකමේ දුෂ්ට භාවය අඩු වීමයි. අනෙක් හේතුව නම් මෙකී පස් වැන්නාධිපති ධර්ම ත්‍රිකෝණයට අයත් ග්‍රහයෙක් වීමත් හය වැන්න ආර්ථික ත්‍රිකෝණයට අයත් ග්‍රහයෙක් වීම හේතු කොට ගෙන එකී ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් ජන්මියාට ලෞකික ජීවිතයේ දියුණුවක් ගෙන දීමයි.

 

රාජ යෝගය

 

හය සහ හත අධිපතියන් යෝග වීමෙන් රාජ යෝගය පැන නඟියි.

6 සහ 7 අධිපතියන් යෝග වීමෙන් පැන නඟින මෙකී රාජ යෝගය බලවත් එකකි. මන්ද යත් ලග්නයක කේන්ද්‍ර ස්ථාන 4න් බලවත් කේන්ද්‍ර ස්ථානය වන්නේ 10 වැන්නයි. ත්‍රිකෝණ ස්ථාන තුනෙන් බලවත්ම ත්‍රිකෝණ ස්ථානය වන්නේ 9 වැන්නයි. ඒ අනුව එකී කේන්ද්‍ර සහ ත්‍රිකෝණ ස්ථානවලින් එනම්, 10 වැන්නෙන් 10 වැන්න වන 7 වැන්නෙහි අධිපතිත් ත්‍රිකෝණ ස්ථානවලින් 9 වැන්නෙනහි 9 වැන්න වන 6 වැන්නෙහි අධිපතිගේ යෝගය ඉතා බලගතු එකක් වන හෙයින් මෙකී ග්‍රහයන් දෙදෙනා යම් කිසි භාවයක යෝග වේද එකී භාවාධිපතියෙක්ට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබූ කල ජන්මියාට උසස් වරප්‍රසාද ලබන මඟ බලවතෙතක් බවට පත් වන්නේ ය.

පි‍්‍රය මෘත යෝගය

 

හත් වෙනි භාවයෙහි අධිපති අට වන භාවයෙහි අධිපති සමඟ යෝගවීමෙන් පි‍්‍රය මෘත නම් යෝග යෙදෙයි.

7 සහ 8 අධිපතින් යෝග වීමෙන් යෙදෙන මෙකී යෝගය පි‍්‍රය ඇසුරට විවාහයට අහිතකර ලෙස බලපාන අශුභ යෝගයකි. වැන්දඹු යෝගයකට හිමිකම් කියන යෝගයකි.

භාග්‍යපි‍්‍රය යෝගය

 

අට වැනි භාවයෙහි අධිපති නව වැනි භාවයෙහි අධිපති සමඟ යෝග වීමෙන් භාග්‍යපි‍්‍රය නම් යෝගය යෙදේ.

7 සහ 8 යන භාවාධිපතියන් යෝග වීමෙන් සෑදෙන මෙකී යෝගය අශුභ යෝගයකි. මන්ද යත් මෙමකී යෝගය කේන්දරයක යෙදීමෙන් ජන්මියා කෙරෙන් භාග්‍ය වාසනාව පලා යන හෙයිනි.

 

ධර්ම කර්මාධිපති යෝගය

 

නව වැනි භාවයේ අධිපති දහ වැනි භාවයේ අධිපති සමඟ එක්වීමෙන් ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය යෙදේ.

9 වැන්න සහ 10 වැන්නාධිපතියන් යෝග වීමෙන් යෙදෙන මෙකී යෝගය ශුභ යෝගයකි. ඒ අනුව මෙකී යෝගය ලග්න කේන්දරයක 1, 2, 4, 5, 7, 9, 10, 11 යන භාවයක වේද ජන්මියාට වාසනාවන්තකම සෞභාග්‍ය ප්‍රසිද්ධිය, නායකත්වය ලබා දෙන්නේ ය.

 

භූමි ද්‍රව්‍ය යෝගය

 

දහ වැනි භාවයේ අධිපති 11 වෙනි භාවයේ අධිපති සමඟ යෝග වීමෙන් භූමි ද්‍රව්‍ය නම් යෝගය යෙදේ.

ජන්ම කේන්දරයක 10 සහ 11 වැන්නාධිපතියන් 1, 2, 4, 5, 7, 9, 10, 11 යන ශුභ භාවයක යෙදීමෙන් භූමි ද්‍රව්‍ය නම් යෝගය පැන නඟින අතර, ඒ අනුව එකී යෝගයෙන් උපන් ජන්මියාට එකී 10, 11 යන භාව අධිපතියන්ගේ මහ දශා අන්තර් දශාවලදී සෞභාග්‍ය දියුණුව භාව භෝග සම්පත් හිමි කර දෙන්නේ ය.

 

ඝෘණව්‍යය යෝගය

 

අය භාවයක් වන 11 වැනි භාවයේ අධිපති වැය භාවයක් වන 12 වැනි භාවයේ අධිපති සමඟ යෝග වීමෙන් ඝෘණව්‍යය නම් යෝගය යෙදේ.

ලග්න කේන්දරයක 11 වැන්නාධිපතියා 12 වැන්නාධිපතියා සමඟ යෝග වීමෙන් ඝෘණව්‍යය යෝගය යෙදේ. මෙය අශුභ යෝගයකි. මෙකී යෝගය යම් කේන්දරයක යෙදුණේද? එකී කේන්දර හිමියාට අගහිඟකම් ණය වීම් පාඩු වීම් වැනි අශුභ පල උදා කරයි.

චිත්තහානි යෝගය

 

12 අධිපති ලග්නාධිපති සමඟ යෝග වීමෙන් චිත්තහානි නම් යෝගය යෙදේ.

කේන්දරයක ලග්නාධිපතියා 12 වැන්නාධිපතියා සමඟ යෝග වීමෙන් පැන නඟින යෝග විශේෂය චිත්තහානි යෝගය යනුවෙන් හඳුන්වනු ලැබේ. අශුභ යෝගයක් වන මෙකී චිත්ත හානි යෝගය කේන්දරයක යෙදීමෙන් කේන්දර හිමියා කෙරෙන් ධනය නාස්ති වන අතර, වියදම් අධික වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.