ග්‍රහ ‍ෙල‍ාව මව සඳු ග්‍රහයා

පෙබරවාරි 3, 2023

 සෞරග්‍රහ මණ්ඩලයේ රවි ළඟට දීප්තිමත්ව පෙනෙන ග්‍රහ ලෝකය සඳුය. සඳු පෘථිවියට අයත් උප ග්‍රහයෙකි. පෘතුවියෙන් හතරෙන් පංගුවක් පමණ වේ යැයි ගණන් බලා ඇත.

 

තත්පර එක හමාරක දී සඳ කිරණයක් පෘථිවිය මතට වැටෙයි. එක් දිනකට සඳු අංශක 13ක් පමණ ගමන් කරන අතර දීප්තිමත් ග්‍රහයෙකි. ආලෝකය කෙරෙහි බලපාන ග්‍රහයෙකි. පෘථිවියේ ඇතිවෙන, තිබෙන සෑම දෙයකටම බලපෑම් කරන්නට සමත් වන්නේ සඳුයි. රාත්‍රී උපන් අයට සඳු මව වෙයි. පුර සඳු - අව සඳු ලෙස සඳුගේ පාර්ශ්ව දෙකකි. උතුම් මවු පදවියේ ගෞරවය පුර පක්ෂයේ සඳු ග්‍රහයා ජන්මියාට නිතරම ලබාදෙයි. පුර පක්ෂයේ සඳු බලවත් වන අතර අව පක්ෂයේ සඳු දුර්වල වේ. ජන්මියකුගේ හිතට අධිපති වන්නේ සඳුයි. සිතේ සතුට, සැනසුම මෙන්ම ඉගෙනුම ලබා දී හොඳ රැකියාවක් ලබාදීම, යහපත් වාසස්ථාන ලබාදීම, යහපත් විවාහයක් ලබාදීම හා විදේශගත වීම, වාහන ලබාදීම, සතුටින් සිටීමට ලැබීම හා මෙලොව හා පරලොව දියුණුවට යහපත් වූ පුණ්‍ය ක්‍රියාවන් කරමින් ජීවිතය යහපත්ව ගෙවීමට බලවත් වූ සඳ ජන්මියාව පොළඹවාලයි. සිත යහපත් ක්‍රියාවන්ටම යොමු කරවයි. සිතුවිලිවලට අධිපති සඳු සෞම්‍ය ගුණයෙන් අග තැන්පත් ස්ත්‍රී ග්‍රහයෙකි. පසළොස්වක දිනය සඳුගේ බලවත්ම දිනය වන අතර රාත්‍රී කාලයේදී සඳු බලවත්, දිවා කාලයේ දී සඳු දුබල වන අතර අමාවක පොහොය දිනයේදී වඩාත් දුබල වේ.

ජන්මියකුගේ රූපය, ලස්සන බව, පි‍්‍රයමනාප බවට සඳු විශාල මෙහෙයක් ඉටු කර දෙයි. පුර පක්ෂයේ බලවත් සඳු තම දරුවකු ආදරයෙන් රැකබලා ගන්නා මවක මෙන් ජන්මියාව ආරක්ෂා කරයි. දියුණුව යහපත, සිතේ සතුට ලබාදෙයි. උගත්කම හා ධනය ලබාදෙයි. නමුත් අවපක්ෂයේ දුර්වල පාප පීඩිත වූ සඳු ජන්මියාට දුක දීම, පීඩා ගෙනදීම, මනස අවුල් කිරීම, සෙම් රෝග ඇති කිරීම, සෙම නරක් වීම, හතිය ඇතිවීම, ඇදුම රෝග, පපුවේ සෙම් බව මතුවීම, මහා දුක දැනෙන සෙම් මගින් හට ගන්නා රෝග මඟින් සඳු ජන්මියාට දුක ලබාදෙයි. නිතරම දුක් කරදරම ලබාදෙයි. සඳුට අයත් නැකැත් රෙහෙණ, හත, සුවණ වේ.

සඳු වෘෂභ රාශිය තුළ මුල් අංශක 3 (තුන) දී උච්චභාවයට පැමිණෙයි. වෘෂභ රාශියේ අංශක 27 (විසිහත) සඳුට මුල ත්‍රිකෝණ බලය ලබාදෙයි. වෘශ්චික රාශියේ මුල් අංශක 3 තුළ සඳු ග්‍රහයා නීචභාවයට පත්වන්නේය. රවි- බු‍ධ ග්‍රහයන් සඳුට අති මිත්‍ර වන අතර කුජ - රාහු සතුරු වෙයි. මේෂ- ධනු - මීන රාශිවලට සුබ වන අතර කටකයට ස්වක්ෂේත්‍ර වෙයි.

සඳුට රාශියක් පසු කිරීමට ගත වන කාලය දින 2 1/2 කි. සඳු ආපෝ ධාතුවට හෙවත් ජලයට අධිපති වේ. ඉක්මන් ගමන් නිසා වංචල ගතිය වැඩි වේ. සඳුගේ දශා කාලය වර්ෂ 10 කි. සඳු කේනදරයේ හතරවැන්නට හෙවත් උතුරට බලවත්ය. වසන්ත සෘතුවේ බලවත්ය.

සඳු බලවත්ව සිටින අවස්ථාවක උපත ලද අය කාගෙත් ගෞරවයට පත් වන සමාජයේ කාගෙත් සිත් දිනාගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති ඕනෑම දෙයක් වහා අවබෝධ වන ඥාණයෙන් යුක්ත අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරයි. සඳු බලවත් වීමෙන් නව නිර්මාණ බිහිවීමට​ ජ්‍යෝතිෂ විද්‍යාව හැදෑරීමෙන් විපුල ඵල ලබා ගැනීමට ද හැකියාව ලැබේ. ඊට අමතරව ගව පාලනයේ යෙදෙන්නන්ට යුෂ ආශ්‍රිත පළතුරු වගාකරුවන් වතුර ආශ්‍රිත රැකියාවල යෙදෙන්නනට මෙන්ම තීන්ත නිෂ්පාදකයන්ට ද වාසි අත් වේ.

සඳු නිසා බලවත් යෝග ගණනාවක් නිර්මාණය වී ඇත. යස යෝගය , ‘කුලීර’ යෝගය, චන්ද්‍ර අධි යෝගය, ගජකේෂරී යෝගය ප්‍රධාන වෙයි. සඳු කටක රාශිගත වීමෙන් කුලීර යෝගය උදා වන නිසා සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකිය. වාසනාවන්ත දරුවන් ඇතිවේ. ගුණ යහපත් කමින් යුක්තයි. සඳු වෘෂභ රාශියේ උච්ච වීමෙන් ‘සස’ යෝගය උදා වෙයි. රූපය-පෙනුම ප්‍රසන්නයි. මවගෙන් ධනය ලැබේ. දේපළ ගේ දොර ඉඩකඩම් වාහන ලැබීමේ භාග්‍ය ඇත. ස්ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍රයා උච්ච වීම උසස්ම ගුණයකි.

සඳුගේ අපල ද ඇති වේ. සඳු සෘජුවම ඇස නිරූපණය කරයි. සඳු නීච වූ විට එම ජන්මීන්ගේ වම් ඇස සැත්මකමතට භාජනය කරවයි. සඳු නීච වූ රාශියේ ඵල හානි කරයි. සඳුගේ අපල මඟ හරවා ගෙන ශූභ ඵල උදා කර ගැනීමට නම් මවු වරුන්ට ගරු සත්කාර කිරීම, මෙහෙණින් වහන්සේලාට දස සිල් මාතාවන් ඇතුළු සිල්වත් කාන්තාවන්ට ඇප උපස්ථාන කිරීම කළ යුතුයි. එසේම බුද්ධ පූජා බෝධි පූජා තබා පත්තිනි මෑණියන්ට පිං පැමිණ වීමෙන් සඳු අපලය දුර කර ගැනීමට පුළුවන. වතුරින් පරිස්සම් වීමට මතක තබා ගැනීම ඉතා වැදගත්ය. චන්ද පිරිත භාවිතය සුදුසුයි. මෛත්‍රී භාවනාව සුබ වේ. ග්‍රහ ලොව මව ලෙස හඳුන්වන සඳු ග්‍රහයා අනෙකුත් ග්‍රහයන් සමඟ සංයෝග වූ විට ජන්මීන්ට ලැබෙන සුබ අසුබ පල මෙලෙසයි.

 

චන්ද්‍ර-රවි

මෙම සංයෝගය සහිතව උපන් ජන්මීන් ප්‍රකට භාවයට පත් වෙයි. ස්ත්‍රීන්ගෙන් ගෞරව ලබයි. කරුණාවන්ත අයෙක් වෙයි. යහපත් ශරීරය වෙයි.

චන්ද්‍ර- කුජ

මෙම සංයෝගය සුබ තැනක පිහිටි විට ජන්මියාට සුබ පල දෙයි. නිර්භීතය. ත්‍යාගවන්තය. නිතර ප්‍රීතිවන්නට ආශා කරයි. යෙදෙන කටයුතුවලින් ජයග්‍රහණ අත්කරගනු ඇත. සැඟවීම් නොමැත. අසුබ ස්ථානයක මේ සංයෝගය ජනිත වූ විට අසුබපල ලැබේ. අයහපත් දේ සිදුවේ. විපත් ඇතිවේ.

චන්ද්‍ර - බුධ

මෙම සංයෝගය සුබ ස්ථානයක යෙදුණේ නම් භාෂණයේ නිපු‍ණ බවට පත් වූවෙක් වෙයි. සිහිබුද්ධියෙන් කටයුතු කරන්නෙක් වෙයි. හිත නිතර වෙනස් වන සුළුවෙයි. නරක ස්ථානයක හිටියොත් නරක වැඩෙහි නිරත වන භයානක කෙනකු වෙයි.

චන්ද්‍ර -ගුරු

මෙය සුබ තැනක යෙදුණ හොත් වාසනාවන්ත පිහිටීමකි. වස්තුව ලැබේ. ප්‍රසිද්ධ වෙයි. ගරු සැලකිලි ලැබෙයි. දියුණුව සැලැසෙයි. නරක ස්ථානයක හිටියොත් ඉහත කී දේවල් හි අසුබ පැතිකඩ සිදුවේ.

චන්ද්‍ර -ශුක්‍ර

ප්‍රීතියෙන් වාසය කිරීමට වාසනාව ගෙන දෙන සංයෝගයකි. වැඩි විපත්ති කරදර නොමැත. ප්‍රියමනාප කෙනකු වෙයි. අසුබ තැනක මේ සංයෝගය යෙදුණොත් අසත්පුරුෂයකු වෙයි. රෝගාබාධ ඇතිවෙයි.

චන්ද්‍ර -ශනි

මෙම සංයෝගය ජන්ම ඒරාෂ්ටක ලෙස හඳුන්වයි. සිතේ සැනසිල්ල අඩුවෙයි. කුඩා අවධියේ අනතුරකට ලක් නොවුණොත් ඉතාම සූරත්වයට පත්වෙයි. දියුණු වෙයි. නරකට හිටියොත් සියල්ල විනාශ වෙයි.

 

ජ්‍යෝතිෂවේදී ජී.ටී ආරියරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.