ඔබේ හඳහනේ දෙවැන්නේ සිටින ග්‍රහයා අනුව සුබ-අසුබ

මාර්තු 25, 2022

රවි දෙවැන්නේ ගෝචර ගමන

පවුලේ අය අතර අඬ දබර ඇතිවේ. සැමියා බිරිඳ කියනදේ අහන්නේ නැත. බිරිඳත් සැමියාගේ කීම්වලට එතරම් කන් දෙන්නේ නැත. මෙම කාලය අත ඉතුරු කරගත් මුදල් පවා වැයවේ. සමහරවිට මුදල් ණයට ගැනීමක් සිදුවේ. එයත් කීප පලකට ගොස් රස්තියාදු වී සොයා ගැනීමට සිදුවේ. මුදල් අතින් ඉතා කරදර මාසයකි. මුදල් සම්බන්ධව පාඩු රැවටීම් මුලාවීම්වලට හසුවීමට ඉඩ ඇත. එනිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මුදල් අතුරුදහන් වීමක් හෝ සොරුන් පැහැර ගැනීමට හේතුයි. නිතර හිසේ කැක්කුමකින් පීඩා විඳීමට සිදුවේ. තමන් ණයට දුන් මුදලක් වංචාවෙන් නොදී මඟ හරී. ලැබීම් වෙනදාට වඩා අඩුවේ. දරුවන් වෙනුවෙන් අධික මුදල් වියදම් කිරීමට සිදුවේ.

චන්ද්‍රයා දෙවැන්නේ ගෝචර ගමන

චන්ද්‍රයා දෙවැන්නේ ගමන් කරන්නේ දින දෙක හමාරකි. ආදායම අඩුවේ. වෙළෙඳාමෙන් පාඩුවක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. මුදල් සොරා ගැනීමක් ගමනේ දී සිදුවේ. ණයට මුදල් ඉල්ලුවත් මෙම දින දෙකහමාර තුළ ලැබෙන්නේ නැත. මුදල් වියදම අධික වේ. එදිනෙදා නිවසේ පාවිච්චි කරන භාණ්ඩ කැඩී යයි. එයින් අධික පාඩු සිදුවේ. හිතවතුන් නිකරුනේ අමනාප වේ. දියුණුව තිබෙන මාර්ගයක් හිටි හැටියේ ඇන හිටී. රැකියාවේ වැඩ තහනමක් සිදුවීමට ඉඩ ඇත. කල්පනාවෙන් රැකියාව කරන්න. නින්දා අපහාසවලට ලක්වේ. දරුවකුගේ හිතුවක්කාර වැඩවලට මුදල් වැයවේ. චන්ද්‍රයා දෙවැන්නේ ගමන් කරනවිට අශුභ පාපි ග්‍රහයින්ගේ දෘෂ්ටි වැටීනම් අශුභඵල උදා කරයි.

කුජ දෙවැන්නේ ගෝචර ගමන

උත්පත්තියේ කුජ දෙවැන්න ගත අයට මෙම දෙවැන්නේ ගමන විපාක ලැබෙන්නේ අඩු වශයෙනි. මකර රාශිය දෙවැන්න වී ධනු ලග්නයෙන් උපන් අයට මෙම දෙවැන්න ගෝචර ගමන සුබඵල උසස් ලෙස ලැබේ. ධන ලාභ ගෙන දෙයි. ව්‍යාපාරවල යෙදෙන අයට ව්‍යාපාර දියුණුවේ. යානවාහන පවා ගැනීමට හැකිවේ. අවිවාහක අයට මංගල යෝග උදාකර විවාහයට පත්වෙන කාලයකි. ව්‍යාපාරය පාඩුවෙන් පවත්වාගෙන යන අයට එම ව්‍යාපාරය දියුණු කර ගැනීමට හැකිවේ. මුදල් ණය වූ අයට එම ණය මුදල ගෙවා දැමීමට අවස්ථාව උදාවේ. මිථුන ලග්නයෙන් උපතේ කුජ දෙවැන්න යෙදී ඇත්නම් ආර්ථිකය කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් උදාවී ආර්ථික දුෂ්කරතා ඇතිවේ. කරදරකාරී දිවි පෙවතක් ගත කරයි. නින්දා අපහාස රහස් කුමන්ත්‍රණ නිසා ආර්ථිකයට බාධා ඇතිවේ. මිල මුදල් ඉතිරි කිරීමට නොහැකි වේ. ළඟින් ඇසුරුකළ හිතවතා හෝ හිතවතියගේ මිතුරු දම කැඩි යන්නේ යළි මිතුරු නොවන ලෙසටයි.

බුධ දෙවැන්නේ ගෝචර ගමන

කතාවලට දක්ෂ වේ. නීති වෘත්තියේ නියැලී අයට වැඩ අධික කාලයකි. ධනය නොසිතුව අයුරු ලැබීමට වාසනාව උදාවේ. කතාවෙන් ධනය උපයයි. කථික තරගවලින් ද ජය ලැබේ. පුවත්පත් මුද්‍රණය කර බෙදා හරින අයට ආදායම සරු වේ. අලුතින් නව පුවත්පත් එළි දැක්වීමට පුළුවන. ලේඛන කලාවේ යෙදුණ අයට අලුතින් පොත් කීපයක් එළි දැක්වීමට වාසනාවක් උදාවේ. හිතවතුන් කීප දෙනකු ඇසුරට ලැබී තම ආර්ථිකය දියුණුවට ඔවුන් අත හිත දෙයි. පොත් මිලදී ගැනීමට හැකියාව ඇත. අධ්‍යාපනය ලබන අයට ඉතා යහපත් කාලයකි. අයුතු දෝෂාරෝපනයන්ට ලක්වේ. චරිතය ගැන සැලකිලිමත් වන්න. නින්දා අපහාසවලට ලක්වන්නේ කන්‍යා ලග්නයෙන් ඉපදි බුධ හත්වැන්න වන මීන රාශිගත නවයොවුන් විය ගත කරන අයටයි. විවාහක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම බොහොම කල්පනාවෙන් මෙම කාලය ගත කර තම චරිතය රැක ගන්න.

ගුරු දෙවැන්නේ ගෝචර ගමන

ගුරු දෙවැන්නේ ගමන් කරන කාලය තුළ දී ශරීර සෞඛ්‍ය යහපත් වී නිරෝගිව කල්ගෙවීමට කාලය උදාවේ. සුවවීමට නොවු තුවාල ඉක්මනින් සුව වේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයගේ ගුරු දෙවැන්න ගෝචර ගමන ඉගෙනීම්වලට දක්ෂ කාලයකි. හොඳ ධාරණ ශක්තියක් ලබයි. තරග විභාග ජයග්‍රහණ කිරීමට හැකිවේ. අලුත් දේ දැන ගැනීමට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. විදේශ ශිෂ්‍යත්ව පවා ලැබීමට මෙම කාලය තුළ අධ්‍යාපන කටයුතුවල නියැලි අයට උපකාරී වේ. ආගමික ජීවිතයක් ගත කිරීමට හිත යොමු වේ. වන්දනා ගමන් යෙදේ. නිවසේ පිරිත් පින්කම් දානමය පින්කම් කිරීමට පින පෑදේ. ගෙදර දොර වාසනාව ඇතිවේ. මෙම කාලයේ දී මව්වරුනට පින්වත් වාසනාවන්ත දූ පුතුන් ලැබේ. මංගල යෝජනා ගලා එයි. හොඳ විවාහයක් එයින් සිදුවේ. උපතේ ගුරු නීචව දෙවැන්නේ නම් මෙම කාලය අසුබයි.

සිකුරු දෙවැන්නේ ගෝචර ගමන

සිකුරු දෙවැන්නේ ගමන් කරන කාලය සිකුරු පහේ බලවත් නම් ඉතා යහපත් කාලයක් උදාවේ. නිවසට නවීන ලී බඩු විදුලි උපකරණ මිලදී ගැනීමට හැකිවේ. ඔබගේ වාහන සිහිනය සැබෑවේ. ඒ ගැන උනන්දුවන්න. පුරුෂයින්ට ස්ත්‍රී සමඟ මිතුරුකම් හාදකම් පැවැත්වීමට අවස්ථාව සැලසේ. එය විවාහයට හේතුවේ. මිතුරකු දියුණුවට මග පෙන්වයි. දියුණු ඔහු උපකාර කරයි. නිතර සිනාවෙන් කල් ගෙවයි. මුහුණ අලංකාරවේ. අවිවාහක කාන්තාවන්ට හොඳ මංගල යෝග උදාවේ. විනෝද ගමන් යාමට අවස්ථාව උදාවේ. අලුත් ලස්සන නිවාස සෑදීමට හැකියාව ලැබේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. ව්‍යාපාර දියුණුවෙනවා. කර්මාන්තයෙ යෙදෙන අයට යහපත් වේ.

ශනි දෙවැන්න ගෝචර ගමන

ශනි දෙවැන්නේ ගමන එතරම් යහපත් කාලයක් නොවේ. වරින් වර බාධා පමුණුවයි. රජයේ හෝ පුද්ගලික ආයතනවල සේවය කරන සමහර අය වැඩ තහනමට ලක්වේ. ධනය අතින් කරදර ඇතිවේ. මුදල් අනවශ්‍ය ලෙස වියදම් වේ. මුහුණෙ කුරුලෑ ඇවිත් මුහුණ අවලක්ෂණ වේ. හදිසි අනතුරුවලින් මුහුණට පීඩා කැළැල් ඇතිවේ. ගමනේ දී හදිසි අනතුරු ඇතිවීමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න.නිකරුණේ තැන් තැන්වල ඇවිද්දවයි. පවුලේ දියුණුවට මෙන් සාමයට බාධා ඇති වේ. අඹු සැමි අරගල උත්සන්නවේ. සැමියාගේ කරදර ඉවසන්න නොහැකිව බිරිඳ වෙන්වී යාමට ඉඩ ඇත. මෙම ග්‍රහ ගමන පවුලේ සමගියට බාධා පමුණුවයි. වියදම අධික වෙන නිස්ඵල ගමන් ඇතිවේ. දරුවන්ගේ රෝග පීඩා සඳහා මුදල් වැය කිරීමට සිදුවන අතර මුදල් ණයට ගැනීමට කටයුතු සැලසේ. ධනය පිළිබඳව කටයුතු සඳහා බාධා පැමිණ තමා පාවිච්චිකළ වාහන විකිණීමට සිදුවේ. සැප පහසු ගෘහ ජීවිතය බාධා පැමිණේ.

 

රාහු දෙවැන්න ගෝචර ගමන

නිකරුණේ නින්දා අපහාස අසන්නට ලැබේ. සමාජය ඔබව කොන් කරයි. තමන් නොකළ වැරැදි සඳහා නිකරුනේ නින්දා අපහාස ලබයි. ධනය ලැබීමේ මාර්ග ඇනහිටී. ලජ්ජාව පසෙක තබා මුදල් ණයට ඉල්ලා තැන් තැන්වල යාමට අවස්ථාව අකමැත්තෙන් වුවත් සැලසේ. තමන් සතු වටිනා රන් භාණ්ඩ සින්න වීමක් හෝ නැතිවීමක් පෙන්නුම් කෙරේ. රන්බඩු උගසට තැබීමට පෙර බේරාගන්න හැකිවේද කියා නැවත නැවත සිතා බලන්නට සිදුවේ. දරුවකුගේ හිතුවක්කාර විවාහයක් මව්පියන්ගේ බලවත් අකමැත්තෙන් සිදු වී මව්පියන්ට හිත් වේදනා ගෙන දෙයි. තම භාර්යාව හෝ තම සැමියා හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවේ. කොපමණ හොඳ කළත් මෙම කාලය තුළ හොඳක් අහන්නට බැරිවේ. පසුතැවීම උරුමයි. ණයට ගත් මුදලක් නිවසට ඒමට පෙර අතරමගදී නැතිවේ.

කේතු දෙවැන්නේ ගෝචර ගමන

විවාහක අයට අපල කාලයකි. සහකරුට හෝ සහකාරියට හදිසි විපත් ඇතිවේ. පලක් නැති ධන හානිය ගෙන දෙන නිෂ්ඵල ගමන් ඇතිවේ. විදේශ ගමන් අත්හැරීමට සිදුවේ. දරුවන් වෙනුවෙන් අධික වෙහෙසීමට පත්වේ. නිරෝගිකම ගිලිහී යයි. මෙම කාලය තුළ දියවැඩියාව වැනි දිගුකල් පවතින අසනීප සෑදේ. ඒවාට ප්‍රතිකාර සඳහා වියදම් කිරීමට සිදුවේ. වියදම් වැඩිවී ආදායම් ලැබීම නොසිතූ ලෙස හදිසියේ අඩුවීයයි. දේපල වාහන විකිණීමට හෝ ඉඩම් මායිම් සඳහා පවුලේ ඥාතීන් සමඟ අමනාපවීම, නඩුමගට යොමුවීම ඇතිවේ. බිරිඳ හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීම බොහෝ සෙයින් ඉඩ ඇත. තමාටත් සුළු සුළු රෝග බලපෑවත් ඒවා ගණන් නොගෙන තම දෛනික කටයුතු කර ගැනීමට හැකිවේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.